
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
සිය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
කළු ගලේ ඔළුව ගහ ගන්න එපා ඔළුව චප්ප වේවි කියා හැමෝම අපිට අවවාද කරන විට අපි හිතුවක්කාර විධියට අවදානම නොතකා මාස අටක් නොකඩවා කළු ගලේ ඔළුව ගැහුව්වා. මෙන්න ඔළුව චප්ප වෙනවා වෙනුවට කළු ගල පුපුරා හැලෙන්න දැන් පටන් අරන් තියෙනවා. මේ පුංචි ඡන්දය ප්‍රතිඵලය පැහැදිලි කළ හැකි සරලම විධිය එයයි.
ආණ්ඩුව වැඩ වරද්දා ගත්තේ තමන් කළ පළමු පත්වීම වුණු ජනාධිපති ලේකම් පත්වීමෙන්. ඒත් එක්කම කළ තුන්වන පත්වීම වුණු මහජන ආරක්ෂක ලේකම් පත්වීමෙන්. ආණ්ඩුව පත් වෙලා සතියක් ගත වෙන්න කලින් අපි මේ පත්වීම් විවේචනය කලා. සමහරු අපට කිව්වේ ආණ්ඩුව කුණු වෙන තුරු ටික කලක් නිහඬව ඉන්න කියලා. නමුත් අපි තීරණය කලේ ආණ්ඩුවත් සමග රටත් කුණු වෙන්න දෙන්න බෑ. අපි ආණ්ඩුව වැරැද්දක් කළ වහාම ඒක පෙන්වා දෙනවා. ආණ්ඩුව නිහතමානි නම් වැරදි නිවැරදි කරගෙන ඉස්සරහට යාවි. ආණ්ඩුව උද්ධච්ඡ නම් වැරැද්ද රැක ගෙන තමන් විනාශ වේවි. ඒක ආණ්ඩුවේ තීරණයක්. විපක්ෂයේ වගකීම තමයි වැරදි පෙන්වා දෙන එක. අපි ඒක ඉටු කලා.
පසුගිය දෙසැම්බර් මාසයේ සිට අපි අඛණ්ඩව කියූ දෙයක් තමයි පුංචි ඡන්දයේ දී පළාත්පාලන ආයතන විශාල ගණනාවක බහුතර බලය කාටවත් ලැබෙන්නේ නෑ. ඒ ප්‍රතිඵලය විසින් විපක්ෂයට සමගි වෙන්න බල කරනවා කියලා. අද ඒ අනාවැකිය සැබෑ වෙලා පලාත්පාලන ආයතන 339න් 170ක කාටවත්ම බහුතරය ලැබිලා නෑ. ඒ වගේම අපි කිව්වා මාලිමාවේ ඡන්ද ප්‍රතිශතය බරපතල ලෙස පහත වැටෙනවා. බොහෝ දුරට ජනපතිවරණයේ මට්ටමට ඒවි කියලා. ඒ අනාවැකියත් සැබෑ වෙලා. ජනපතිවරණයේ දී 42%ක් ගත්තු මාලිමාව පාර්ලිමේන්තු මැතිවරණයේ දී 63%ක් දක්වා ඉහළ ගොස් මේ මැතිවරණයේ දී 43% ක් දක්වා පල්ලම් බැහැලා තිබෙනවා.
අපේ තුන්වන අනාවැකිය තමයි මාලිමාව ගැන ජනතාව කලකිරුණත් වෙනත් කිසිම පක්ෂයකට ජන ආකර්ෂණය ලැබිලාත් නෑ. ඒ නිසා මාලිමාව අත් හැරපු ජනතාව බහුතරයක් ගෙදර නතර වෙනවා. එහි ප්‍රතිඵලය වෙන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම බරපතල ලෙස පහත වැටෙනවා. ඒ අනාවැකියත් සැබෑ වුණා.
මාලිමාව පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලක්ෂ 68.65ක් නැති නම් ලක්ෂ 69ක් ලබා ගත්තා. දැන් ඒක පුංචි ඡන්දයේ දී ලක්ෂ 45 දක්වා ඇදගෙන වැටිලා තිබෙනවා. ඒ කියන්නේ මාස හයක් ගත වෙන්නත් කලින් ඡන්ද පදනම ලක්ෂ 24කින් අඩු වෙනවා. මාලිමාවේ මේ පසුබෑම ලෝක ඉතිහාසයේ වාර්තා වන දැවැන්තම දේශපාලන පසුබෑමයි. මීට කලින් කිසිම රටක කිසිම කලක මාස හයක් ඇතුලත තම ඡන්ද පදනම 1/3කින් නැතිනම් 34%කින් කඩා වැටීමක් වාර්තා වෙන්නේ නෑ. අපි වැරදි නම් මාලිමා නායකයින් “නෑ. අහවල් රටේ අහවල් පක්ෂයේ ඡන්ද පදනම මාස හයක් ඇතුලත මීටත් වඩා කඩා වැටුණා” කියලා අපට කියන්න. අපි නිවැරදි වෙන්නම්.
මාස හයකට ඡන්ද ලක්ෂ 24ක් අඩු වෙනවා කියන්නේ තව මාස හයකින් ඡන්ද පදනම ලක්ෂ 21 වෙනවා කියන එකයි. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3% දක්වා පහත වැටෙනවා කියන එකයි. ඒ නිසා මේ ආණ්ඩුව නිසි දේශපාලන අවබෝධයෙන් කටයුතු කරනවා නම් වහාම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි. එවිට අඩුම ගණනේ පලාත් සභා දෙක තුනක්වත් දිනා ගන්න හැකි වේවි. එහෙම නැති වුනෝත් මාලිමාවට ඉතිහාසයේ කාවදාවත් පළාත් සභාවක බලය ලබා ගන්න නම් අවස්ථාවක් උදා වෙන්නේ නෑ.
මාලිමාවේ පසුබෑමට හේතු පහක්
(1) ජනතාවගේ අභිමානයට කැලලක් වන අයුරින් බොරු කීම
මාලිමාවේ මේ බරපතල පසුබෑමට ප්‍රධාන හේතු පහක් බලපෑවා. පළමු හේතුව තමයි ජයග්‍රහණයට පෙර ලබා දුන් පොරොන්දු බොරු බවට කඩවුණු පොරොන්දු බවට පත්වීම. අපේ ජනතාව හරිම අභිමානවත්. තමන් මෝඩයින් පිරිසක් බත් කන හරක් පිරිසක් විධියට සලකලා කවුරු හරි කටයුතු කරනවා නම් ජනතාවට කේන්ති යනවා. බලයට එන්න බොරු කිව්වා මදිවාට බලය රැක ගන්නත් බොරු බේගල් ඇද බාන්න ගත්තා. ඒ මදිවට බොරු කීම ප්‍රජාතන්ත්‍රිය අයිතියක් කරලා බොරු කීම පාපයක් කියූ බුදු දහමට කිතු දහමට අභියෝග කළා. ඒ විතරක් නොවේ භික්ෂුන් වහන්සේලා කතෝලික පියතුමන්ලා මාධ්‍ය හමු තියලා ආණ්ඩුව වෙනුවෙන් බොරු කියන මට්ටමට ඒක ගෙනාවා. ඉතින් ජනතාව කලකිරෙන එක සාධාරණයි.
(2) පාතාලය හිස එසවීමෙන් ඇති වුණු අනාරක්ෂිත බව
මර්දනය කර තිබුණු පාතාලය පසුගිය මාස හයේ බරපතල ලෙස හිස එසෙව්වා. ආණ්ඩුවේ අවාසනාවට මැතිවරණයට පෙර අන්තිම සතියේ දිනපතාම වගේ වෙඩි තැබීම් මරා දැමීම් වාර්තා වුණා. ඒ වගේම ජවිපෙ කැරැල්ල සමයේ පාතාලය සමඟ සමීප සම්බන්ධයක් පැවැත්වූ බව ධර්මන් වික්‍රමරත්න වැනි ගත්කතුවරු සාක්ෂි සහිතව පෙන්වා දිලා තියෙනවා. සමහර මිනිමැරුම්වලට අත්තඩංගුවට ගත් අයගේ පාපෙච්චාරනවලත් ඒ බව සඳහන් වෙලා තියෙනවා. ඒ අනුව මේ පාතාලය දැන් බිය සැක නැතිව නිදහසේ හැසිරෙන්නේ ආණ්ඩුව සමඟ පවතින සමීප සබඳතාවය නිසාය කියලා ජනතාව සාධාරණ සැකයක් ඇතිවෙලා තිබෙනවා. ඒ වගේම පසුගිය ජනවාරි මාසයේදී කන්ටේනර් 323ක් පරික්ෂා නොකර නිදහස් කිරීමට ආණ්ඩුව කටයුතු කලේ ඒවා තුල අවි ආයුද ගෙනා නිසා බවටත් පාතාලය හදිසියේ සක්‍රිය වුණේ තමන් අතට ආයුද සහ මුනිස්සම් ලැබුණු නිසා බවටත් ජනතාව අතර විශ්වාසයක් ඇති වුණා. ඒ නිසා තමන්ගේ ජීවිත ආරක්ෂා නොකිරීම ගැන ඇති වුණු ජනතා කෝපය තමයි 6දා දෝර ගැලුවේ.
(3) ඉන්දියානු ගිවිසුම් පිළිබඳ ඇති වුණු සැකය
නිදහස් ලංකාව ප්‍රථම වරට වෙනත් රටක් සමග ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරනවා. ඉන්දියාව සමග අත්සන් කළ ආරක්ෂක ගිවිසුමෙන් රටට වන හානිය අපි පැහැදිලි කරලා ඒක ප්‍රසිද්ධ කරන්න කියලා බල කළා. එතකොට කිව්වේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලා සිටියොත් ලබා දෙන්නම් කියලා. එහෙම ඉල්ලුවාමත් දුන්නේ නෑ. අවසානයේ දී නලින්ද ජයතිස්ස ඇමතිතුමා කිව්වේ ඉන්දියාවේ අවසරයකින් තොරව ඒක ප්‍රසිද්ධ කරන්න බෑ කියලා. ඒ නිසා ජනතාවගේ සැකය තවත් වැඩි වුණා.
මේ ගිවිසුම අත්සන් කරලා සති දෙකක් ගත වන විට ඉන්දියාව පකිස්තානයට එරෙහිව යුද ප්‍රකාශ කලා. ගිවිසුම අපි දැකලා නැති නිසා මේ යුද්ධයේ අපිත් පැටලේවි කියන සාධාරණ බිය ජනතාවට ඇති වුණා. අපේ වරාය සහ ගුවන් තොටුපොල ඉන්දියාවේ හමුදාවන්ට භාවිතා කරන්න දේවි ද? අත්සන් කළ ආරක්ෂක ගිවිසුම නේටෝ ගිවිසුම වගේ ආරක්ෂක ගිවිසුමක් නම් අපටත් ඉන්දියාවේ සහයට හමුදා යවන්න වේවි ද ලංකාවේ ඉන්දියානු අවි ගබඩා කලොත් පකිස්තානය ලංකාවටත් ගුවන් ප්‍රහාර එල්ල කරයි ද වැනි සාධාරණ ප්‍රශ්න තොගයක් ජනතාවගේ සිත් තුල මතු වුණා. ඒ වගේම කිසිම රාජ්‍ය නායකයෙකු නොකළ අයුරින් ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමෙන් රාජ්‍ය පාලනයේ අනවබෝධය ජනතාවට ප්‍රදර්ශනය වුණා.
(4) දළදා වහන්සේ දේශපාලනිකරණය
මේ රටේ ජනතාව සතු උතුම්ම වස්තුව වගේම රාජ්‍යයත්වයේ සංකේතය වන්නේත් දළදා වහන්සේ. ආගම කුමක් වුවත් මේරටේ රාජ්‍යත්වයට පත් වුණු නායක්කාරවංශික රජවරුන් වේවා කාලංගවංශික රජවරුන් වේවා ඉංග්‍රිසීන් වේවා දළදා වහන්සේට නිසි ගෞරවය ලබා දිම තමන්ගේ වගකීමක් විදියට සැලකුවේ. ඒක උඩරට ගිවිසුමට පවා ඇතුළත් කෙරුනා. හැබැයි වර්තමාන ආණ්ඩුව තමන් බෞද්ධ විරෝධි ආණ්ඩුවක් කියන සමාජ මතය තුරන් කරලා පුංචි ඡන්දයෙන් දේශපාලන වාසි ගන්න දළදා ප්‍රදර්ශනයක් අප්‍රේල් මාසයේ පැවැත්වීම හරහා බෞද්ධ ජනතාවට ඇති වුණේ කේන්තියක්. ඒ වගේම ආණ්ඩුව කරගෙන ගිය අධිප්‍රචාරණය හේතුවෙන් දවසට පැය පහකට සීමා වුණු දළදා ප්‍රදර්ශනයට දරා ගන්න බැරි විශාල ජනතාවක් මහනුවරට රොක් වුණා. ඒ ජනතාවට අවශ්‍ය පහසුකම් සපයන්න නොහැකි වීමෙන් මහනුවර විශාල මහනුවරක් වුණා. කැලි කසල කඳු හැදුනා. හය දෙනෙකු මිය ගියා. විශාල පිරිසක් රෝගී වුණා. දළදා වහන්සේට කළ මෙම අපහාසය නිසා බෞද්ධ ජනතාව තුල ඇති වුණු කේන්තියත් මැතිවරණයෙන් ප්‍රකාශයට පත් වුණා.
(5) ආදරය දිගුකාලිනයි. කේන්තිය කෙටිකාලිනයි
මේ හේතු සියල්ලටම වඩා මාලිමාව තේරුම් ගත යුතු තිත්ත ඇත්තක් තිබෙනවා. ඒ තමයි ආදරය කියන්නේ දිගුකල් පවතින හැඟීමක්. නමුත් කේන්තිය කියන්නේ කෙටිකාලයකින් අවසන් වන හැඟීමක්. ඒ නිසා ආදරයට වගේම තර්කයක් ඒත්තු ගැනීමෙන් දිනා ගන්නා පාක්ෂිකයා දිගු කල් රැඳුනත් කේන්තිය ජනිත කරලා දිනා ගන්නා ඡන්දදායකයා දිගුකල් රැඳෙන්නේ නෑ.
Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
