
“සල්ලි නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. මගෙන් බෙහෙත් අරගෙන යන්න පුළුවන්" - රටක්ම කතා කරන හිත හොඳ බදුල්ලේ දොස්තර මහත්තයා
වෛද්‍ය සමන්තගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය රාජකාරී වෙලාවෙන් පසුව ඕනෑම විටක අසරණ රෝගීන් වෙනුවෙන් විවෘතව ඇති බව ඔහු පවසයි.
“සල්ලි නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. මගෙන් බෙහෙත් අරගෙන යන්න පුළුවන්” යැයි පැමිණෙන ඕනෑම රෝගියකුට වෛද්‍ය සමන්ත පවසයි. මම මේ වන විට වැඩ කරන්නේ බදුල්ල මහ රෝහලේ. මට මේ වැනි අදහසක් ආවේ ඇටැම්පිටිය ප්‍රාදේශීය රෝහලේ වැඩ කරන කාලයේ. එහිදී මම ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කළා. හවස 4න් පසුව රෝහලේ බාහිර රෝගී අංශය වහලා. ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලෙස මට වගකීමක් තියෙනවා; මිනිස්සුන්ගේ ජීවිත ගැන. මේ මිනිසුන්ට පිහිට වෙන්න අවශ්‍යයි කියන සිතුවිල්ලම තමයි මට තිබුණේ. 4න් පසුව ඒ අයට පිළිසරණක් ලෙසයි මම මගේ පෞද්ගලික ඩිස්පැන්සරියේ මෙහෙම බෝඩ් එකක් දැම්මේ. ඒ රෝගීන්ට ඇටැම්පිටියේ ඉඳලා බදුල්ලට, වැලිමඩට සහ බණ්ඩාරවෙලට සෑම පැත්තකින්ම වගේ නගරවලට කිලෝමීටර් 16ක් තියෙනවා.
හවසට ප්‍රතිකාරයක් ගන්න යනවා කියන එක ඒ ගමේ අයට අතිදුෂ්කර වැඩක්. ඒ නිසා මම නොමිලේ බෙහෙත් දුන්නා. බදුල්ල නගරය ආසන්නයේ නිවෙසක අපි දැන් ඉන්නේ. නගරයට ආසන්නයේ වුණත් මේ රෝහලට ආවාට පස්සෙත් මම මගේ නිවස ඉදිරිපිට මේ පුවරුව දැම්මා. එයට හේතුව මේ පළාතෙත් ඇතැම් අය ළඟ සල්ලි නැහැ. බෙහෙත් ගන්න විදියක් නැහැ. එහෙම අය එනවා අපේ ළඟට. මිනිසුන්ට බයක් නැතිව බෙහෙත් ටිකක් ගන්න පුළුවන් මගෙන්. මම දන්නවා දුප්පත් මිනිසුන්ට එය සැනසීමක්. අපි කවුරුත් හැමදාම ජීවත් වෙන්නේ නැහැ. අපි ඉගෙන ගත්ත දෙයින් වැඩ කරන තැනට සේවයක් කරනවා. අපි ඉගෙන ගත්තේ මේ රටේ මිනිසුන්ගේ සල්ලිවලින්. පසුගිය කාලයේ මිනිසුන්ට ලොකු අර්බුදවලට මුහුණ දෙන්න සිදු වුණා. මිනිසුන්ට රස්සාවල් නැති වුණා. බඩු මිල වැඩි වුණා.
බෙහෙත් මිල වැඩි වුණා. මමයි මගේ බිරියයි කතා කරලා මේ දේවල් කරන්නේ. මගේ බිරියත් වෛද්‍යවරියක්. ඇයත් මට සහය වෙනවා. මම සල්ලි ගත්තත් විශාල මුදලක් ගන්නේ නැහැ. මිනිසුන්ට දරාගන්න පුළුවන් සුළු මුදලක් ගන්නේ. බොහෝ වෙලාවට රෝගීන් ලබා ගන්න බෙහෙත්වල වටිනාකම බෙහෙත් සඳහා අය කරන මුදලට වඩා වැඩියි. අපි මුදලට ලබා ගන්න බෙහෙත් තමයි නොමිලේ ලබා දෙන්නේ. අලාභයත් අපි සතුටින් විඳ දරා ගන්නවා. මුදල් ගෙවා යන පිරිසකුත් ඒ අතර ඉන්නවා. මම මේ දේ කරන්නේ සතුටෙන්. මම වෙන්නප්පුව දංකොටුවේ හැදුණේ වැඩුණේ. බදුල්ලට පත්වීම් ලබා ආවාට පස්සේ මම බදුල්ලේ පදිංචි වුණා. මගේ බිරියගේ ගම බදුල්ලේ. අපි බදුල්ලේ ජීවත් වෙන්නෙ සතුටින් යැයි ඔහු පවසයි.
දංකොටුව යෝගියානේ උපත ලබන රාමනායක මුදියන්සේලාගේ අනුර සමන්ත රාමනායක නම් වන මේ වෛද්යෙවරයාගේ පියා හරිස්චන්ද්‍ර රාමනායක ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්මිකයෙක් ලෙස සේවය කළේය. සමන්ත උසස් පෙළට සුදානම් වන අවදියේදි පියා මෙලොව හැර ගියේය. මව පද්මා රණසිංහයි. වෛද්‍ය සමන්තගේ පවුලේ සාමාජිකයෝ තිදෙනෙකි. වැඩිමලා සමන්තය. ඔහු කටුකෙන්ද මහ විද්‍යාලයෙන් විශිෂ්ට ලෙස සාපෙළ සමත්ව උසස් පෙළ සඳහා තෝරාගනු ලැබුයේ වෙන්නප්පුව ජොසප් වාස් විද්‍යාලයයි. ඉන් අනතුරුව ඔහු රාගම වෛද්‍ය පීඨයට තේරී පත් විය. කුඩා අවදියේ සිටම සමන්ත ඉගැනුමට දක්ෂය. රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය ඉහළින් සමත් වන ඔහු ඉන් අනතුරුව මීගමුව මහ රෝහලෙන් සීමාවාසික පුහුණුව ලබාගන්නා ලදී.
වෛද්‍ය වෘත්තිය වෙනුවෙන් කැප වූ ඇතැම් ජීවකයන් පිළිබඳ කතාව පුරාවෘත්තයක් බවට පත්ව මිනිසුන්ගේ මතකයෙන් දුරස්ව ඇතත් මේ නූතන ජීවකයා පිළිබඳ ඇගැයිය යුතු බව නොකිවමනාය. බදුල්ල මහ රෝහලේ කලක් සේවය කරන ඔහුට ඉන් අනතුරුව බදුල්ලේ සිට කිලෝමීටර් 16ක් පමණ දුරින් ඇති සුන්දර ගම්මානයක් වන ඇටැම්පිටිය රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස මාරුවීමක් ලැබෙයි. ඒ රෝහල ජීවිතයේ පරිවර්තනීය අවදියක් සනිටුහන් කර ඇත. නොමිලයේ ඖෂධ ලබාදීම ආරම්භය හෙවත් මේ සමාජ සත්කාරයේ මුල් අවදිය ආරම්භ වූයේ ඇටැම්පිටිය රෝහලේ සේවය කරන කාලයේදීය. ඒ නිසා සමන්ත රාමනායක නම් මේ ඩි.එම්.ඕ. මහත්තයා පිළිබඳව ඇටැම්පිටිය ගම්මානයේ මිනිසුන්ට නම් කිසිදු දිනයක අමතක නොවෙන බව සහතිකය. එයට හේතුව ඔහු ඇටැම්පිටිය දුෂ්කර ගම්මානයේ රෝගීන් සහ රෝහල වෙනුවෙන් කරන ලද අමිල මෙහෙවරයි.
ජීවිතයේ සුවිශේෂ අත්දැකීම් සමුදායක් ඔහුට එක් කරන්නේ 2005 වසරේ සිට 2012 දක්වා ඔහු සේවය කළ එම ප්‍රාදේශීය රෝහලයි. ඔහු එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරීයා ලෙස සේවය කළේය. වෛද්‍ය සමන්ත එම රෝහලට පැමිණි වසරේදීම එනම් 2005 වසරේදීම ජාතික ඵලදායීතා සම්මානය වෙනුවෙන් ඇටැම්පිටිය ප්‍රාදේශීය රෝහල වෙනුවෙන් අයැදුම්පතක් ඉදිරිපත් කරන ලදී. එම රෝහල විධිමත් ක්‍රමවේදයකට අනුව සකස් කිරීමට වෛද්‍ය සමන්තට ප්‍රදේශයේ ජනතාව සහය නිතැතින් ලැබිණි.
“ ඇටැම්පිටිය රෝහලට මම ගියේ 2005දියි. ඒ වසරේදීම මම ජාතික ඵලදායිතා සම්මානය අයැදුම්පතක් ඉදිරිපත් කළා. එහිදී සමස්ත ලංකා තෙවැනි තැන එම රෝහලට හිමි වුණා. ඉන්පසු වසරේ දී හොඳම රෝහල්වල දෙවැනි තැනට පැමිණියා. සෞඛ්‍ය විශිෂ්ටතා සම්මාන තරගාවලියේ දෙවැනි තැන 2012 වසරේද තවද ඵලදායිතා සම්මාන 6ක් ඵලදායිතා සම්මානය සමස්ත ලංකා දෙවන (කුඩා පරිමාණ) ඌව ඵලදායිතා සම්මානය පළමු ස්ථානය (කුඩා පරිමාණ) සෞඛ්‍ය විශිෂ්ටතා සම්මානය දිවයින 2 ස්ථානය හිමි වුණා. ඒ කාලයේදී ගමේ පිරිසත් සමඟ එකමුතු වී මම රෝහල විධිමත්ව සකස් කළා. දුප්පත් දරුවන්ට ඉගැනීමේ කටයුතුවලට උදව් උපකාර කළා. මුදල් නැතිනම් නොමිලේ ප්‍රතිකාර කිරීම මම ආරම්භ කළේ ඇටැම්පිටිය රෝහලේ ඉන්න කාලයේදී. ඇටැම්පිටිය රෝහලේ 4න් පසුව බාහිර රෝගී අංශය විවෘත වී නැහැ.ඒ නිසා මම ප්‍රධාන වෛද්‍යවරයා විදිහට ඒ ජනතාව වෙනුවෙන් එම සේවය කළා. මම දන්නවා ඒ මිනිස්සුන්ට හතරෙන් පස්සේ බෙහෙත් ටිකක් ගන්න නගරයට යන්න හරිම දුෂ්කරයි කියලා.
මගේ බිරිය චන්දිමා ජයසිංහත් වෛද්‍යවරියක්. වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ අපි මුණ ගැසුණේ. අපිට එක් දියණියක් ඉන්නවා. දුවගෙ නම සදලි. ඇයට අවුරුදු 19යි. දුව ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරලා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නෙ. අංජු සහ අකිල නමින් අපිට 18 හැවිරිදි නිවුන් දරුවන් දෙදෙනෙක් ඉන්නවා.
මිනිසුන්ගේ ජිවිත සම්බන්ධයෙන් සුළුකොට තකන බොහෝ මිනිසුන් අතර ඔහු උතුම් මිනිසෙකි. ගම්වල දුෂ්කර දිවිපෙවතකට උරුමකම් කියන මිනිසුන්ගේ දුකට පිහිට වීමට ඔවුන් සොයා ඔහු දුෂ්කර ගමන් ගියේය. ඇටැම්පිටිය ප්‍රාදේශීය රෝහල ඵලදායිතාව කරාගෙන ඒමේ මහා මෙහෙවරට නායකත්වය දෙමින් ඒ සියලු කාර්යයන්හි ඉදිරිපස සිටි ඒ සුන්දර මිනිසා ඔහුය. වසර ගණනක් එවැනි දුෂ්කර සේවාවක නිරත ව සිටි ඔහු අසරණ රෝගීන් සුවපත් කිරීමෙන් විසල් සතුටක් ලැබුවේය. සමන්ත රාමනායක නම් මේ වෛද්‍යවරයා පිළිබඳව ඇටැම්පිටිය ගම්මානයේ සහ හිදගම ගමේ මිනිසුන්ට නම් කිසිදු දිනයක අමතක නොවෙන්නේ ය. දිවි ගමනේ මැදි විය එළැඹෙමින් සිටින මේ කරුණා බර හදවතක් ඇති වෛද්‍යවරයාගේ අතීත මතකය ඉතා සුන්දර කතන්දර පෙළක්සේ මෙනි.
“දෙවියන් වැනි මිනිසුන් ඇත.”
(සිළුමිණ පුවත්පතෙන්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
