News Category
From Date
To Date
Maximum Number of Result

දරුවා අනතුරුදායක වැල්පාලමෙන් ආරක්ෂිතව ඉදිරියට ගත්තා... හුණුවටය නාට්‍යයේ අසඩක් වගේ නිවැරදි තීරණ ගන්න - ජනපති රනිල් සුබ ආරංචියෙන් ඉල්ලයි

Jun 27, 2024 at 06:18 AM
|

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජාතිය අමතා සිදු කරන ලද විශේෂ ප්‍රකාශය…

"අද අපේ රටේ මෑත ඉතිහාසයේ වැදගත් දවසක්. සුවිශේෂී සංධිස්ථානයක්. පසුගිය කාලය පුරාම අප වෙහෙසුණු කාර්යයක යහපත් ප්‍රතිඵල දැන් අපේ රටට ලැබිලා තිබෙනවා. අද පෙරවරුවේ පැරිස් නුවරදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹුණා. ඒ වගේම චීනයේ එක්සිම් බැංකුව සමඟත් අප අද බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට පැමිණියා. මීට අදාළ වන විධිමත් ක්‍රියා පටිපාටීන් මේ වන විට සිදුකෙරෙමින් පවතිනවා. රටට සැබැවින්ම ආදරේ අයට මේක සුබ ආරංචියක්.Sri Lanka Won …. !!

ද්වීපාර්ශ්වික ණය හිමියන් සමඟ මෙවැනි එකඟතාවකට එළැඹීම සඳහා අප පසුගිය වසර දෙක පුරාම වෙහෙසුණා. දීර්ඝ ලෙස සාකච්ඡා කළා. පසුගිය කාලය තුළ ලබා ගත් ආර්ථික සාර්ථකත්වය මේ සාකච්ඡාවලදී අපට ලොකු ශක්තියක් වුණා.මේ සාකච්ඡා සාර්ථක කර ගැනීම සඳහා අපේ ණය හිමියන් වන චීනය සහ චීනයේ එක්සිම් බැංකුවත්, නිල ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපතිත්වය දරන ඉන්දියාව, ජපානය සහ ප්‍රංශයත්, ඒ කමිටුවේ අනෙකුත් සාමාජිකයන් සහ පැරිස් සමාජයීය ලේකම් කාර්යාලයත් අපට ලබා දුන් සහාය පිළිබඳව මම කෘතඥ වෙනවා. මේ සාකච්ඡාවලට එක්වු ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් රටවල නියෝජිතයන් සහ අපට උපදෙස් ලබා දුන් ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් ආයතන නිලධාරීන්ටත් ස්තූතිවන්ත වෙනවා.

මේ එකඟතාවන් සමඟම විදේශ රටවල සියළු ද්විපාර්ශ්වික ණය වාරික ගෙවිම් 2028 වසර දක්වා කල් දමා ගැනීමට අපට හැකි වේවි. ඉන් පසු සහනදායි කොන්දේසි මත සියළු ණය ගෙවා අවසන් කරන්නට 2043 දක්වා දිගු කාලයක් ලබා ගන්නටත් අපට අවස්ථාව ලැබේවි. 2023 වසරේ අප දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අවසන් කළා. දැන් විදේශීය රටවල ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සාර්ථකව අවසන් කර ගැනීමට අපට හැකි වී තිබෙනවා.

ඊළගට අපට තිබෙන්නේ විදේශීය බැදුම්කර හිමියන් ද ඇතුළත් වාණිජ ණය හිමියන් සමඟ එකඟතාවකට එළැඹීම. මේ මාර්ගයේම ඉදිරියට යාමෙන් අපට එම එකඟතාව ඇති කර ගන්න පුළුවන්. ඒ පිළිබඳ සාකච්ඡා අප අඛණ්ඩවම පවත්වාගෙන යනවා.

අද අප ඇතිකරගත් එකඟතාවන් නිසා අපේ ආර්ථිකයට හුස්මක් ගන්නට පුළුල් අවකාශයක් ලැබෙනවා. 2022 අවුරුද්දේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.2%ක ප්‍රමාණයක් විදේශ ණය ගෙවීම් සඳහා වැය කිරීමට අපට සිද්ධ වුණා. 2027 සිට 2032 දක්වා කාලය තුළ ණය ගෙවීම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%කටත් අඩු ප්‍රමාණයක පවත්වාගෙන යාමට දැන් අපට ඉඩ සැලසේවි.

2022 දී රජයේ වාර්ෂික දළ මූල්‍ය අවශ්‍යතාව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 34.6ක්. මේ එකඟතාවයන් නිසා එය 2027 – 2032 කාලය වන විට මෙම අවශ්‍යතාවය සියයට 13කට වඩා අඩු වේවි. 2022 අප්‍රේල් මාසයේ  ශ්‍රී ලංකාව ලංකාව ණය ගෙවන්න බැරි බව නිල වශයෙන් ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශයත් සමඟම ලෝකයේ රටවල් අපත් සමඟ ගනුදෙනු කිරීම නවතා දැමුවා. ණය ගෙවන්න බැරි තරමට බංකොලොත් වුණු රටක් සමඟ මූල්‍ය සම්බන්ධතා පවත්වන්න කිසිම රටක් ඉදිරිපත් වන්නේ නැහැ. ණය ලබා දෙන්නේ නැහැ. අඩු තරමින් ණයවර ලිපියක් පවා පිළිගන්නේ නෑ. මේ පසුබිම මත විදේශීය ණය ආධාර මත අපේ රටේ ක්‍රියාත්මක වූ සියලු ව්‍යාපෘති නැවතුනා. ඒ රටවල් සිය ව්‍යාපෘති කාර්යාල වසා දමා තම තමන්ගේ රටවලට ආපසු ගියා. සංවර්ධන කටයුතු මුළුමනින්ම ඇණ හිටියා.

නමුත් දැන් මේ අප ණය ප්‍රතිව්‍යුහගත කාර්යයේ වැදගත්ම පියවර සාර්ථක කරගත් නිසා විදේශ අරමුදල් යොදාගෙන සිදු කළ ඒ සියලු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ඒ ඒ රටවලට නීත්‍යානුකූල අවකාශය උදා වෙනවා. කටුනායක ගුවන් තොටුපොළ සංවර්ධනය, සැහැල්ලු දුම්රිය මාර්ගය, අධිවේගි මාර්ගය ඇතුළු ව්‍යාපෘති ගණනාවක් යළි ආරම්භ වෙනවා. ඒ විතරක් නොවෙයි අලුත් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් අපට ලබා ගැනීමට පුළුවන්.

ද්විපාර්ශ්වීය ණය හිමියන් අප සමඟ එකඟත්වයට පැමිණීම නිසා අපේ රට පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය වැඩි වැඩියෙන් තහවුරු වෙනවා. මෙය එක්තරා අන්දමක ජාත්‍යන්තර සහතිකයක්. අපේ ණයවර ලිපියක් පවා පිළිගන්නේ නැතිව සිටි ජාත්‍යන්තරය දැන් අපට විශ්වාසය පිළිබඳ සහතිකය ලබා දෙන තත්ත්වයට පත්ව සිටිනවා.

අද අප ඇතිකරගත් මෙම එකඟතාවන් දෙකම අප පාර්ලිමේන්තුව හමුවේ තබනවා. අපේ අගමැතිතුමා ලබන ජූලි 02 වනදා පාර්ලිමේන්තු විශේෂ සභා වාරයකදී එම එකඟතාවන් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා. එය අනුමත කරන්න කියා පාර්ලිමේන්තුව නියෝජනය කරන රටට ආදරය කරන සියලු කණ්ඩායම්වලින් මම ඉල්ලා සිටිනවා.

අප මෙතෙක් ආවේ ලෙහෙසි පහසු ගමනක් නොවෙයි. පසුගිය කාලයේදී ද දුෂ්කර හා කටුක මාවතක අප ගමන් කළා. අපේ ඇමතිවරු, නිලධාරින් මේ කාර්යය වෙනුවෙන් වෙහෙසුණා. අපේ රටේ බහුතර ජනතාව ඉවසීමෙන් යුතුව අපට සහාය වුණා. අප සියලුදෙනාම විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා. අසීරුතාවන්ට මුහුණ දුන්නා. තවමත් මුහුණ දෙනවා.

සුළු පිරිසක් මේ ඉදිරි ගමන කඩාකප්පල් කිරීමට උත්සාහ කළා. තවමත් කරනවා. හැබැයි මේ ගමන නැවැත්වීමට ඔවුන්ට බැහැ. අනාගතයේ දවසක ඔවුන්ට රටට ද්‍රෝහී වීමේ හේතුව මත තම තමන්ගේ දූ දරුවන් ඉදිරියේත් ලැජ්ජාවට පත් වෙන්න සිදුවේවි.

ආර්ථිකය යහපත් වෙන්න, වෙන්න අප සහන ලබා දුන්නා. ඒ සහන ලබා දුන්නේ ආර්ථිකයට හානියක් නොවන ආකාරයටයි. ඉදිරියටත් එහෙමයි. නිවැරදි මාර්ගයේ ගියොත් ආර්ථිකය ශක්තිමත් වෙද්දි, වර්තමානයේ විදින දුෂ්කරතා දවසින් දවස අපට අඩු කර ගන්න පුළුවන්. දැන් අප දරන බර ක්‍රමයෙන් අඩු කර ගන්න පුළුවන්. වර්ජනවලින්, තර්ජනවලින් මේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න බැහැ. අප සියලුදෙනා එක් වී ආර්ථිකය ශක්තිමත් කරන්න, කරන්න අපට විසදුම් මෙන්ම සහනත් ලැබෙනවා.

මීට අවුරුදු දෙකකට පෙර රට භාරගත් අවස්ථාවේ අපට ගමන් කරන්න තිබෙන්නේ අතිශය දුෂ්කර මාර්ගයක බව මම පෙන්වා දුන්නා. සතියෙන්, දෙකෙන්, මාස තුන හතරකින්, අවුරුද්දකින් මේ ප්‍රශ්න විසඳන්න බැරි බව මම කිව්වා. අපට යන්න තිබෙන්නේ පතුල නොපෙනෙන දරුණු ආගාධයක් උඩින් වැටුණු වැල් පාලමේ ගමනක් බව “හුණුවටයේ කතාව” නාට්‍යය උදාහරණ කර ගනිමින් මම අවධාරණය කළා. එදා අපේ රට ආර්ථික අපායකට වැටිලා තිබුණෙ.

රට එතැනින් ගලවා ගැනීමට ඉදිරිපත් වෙන්න බොහෝ දෙනෙක් මැලි වුණා. බය වුණා. “නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටයකුයි, තවත් ටිකකුයි ඕන” කිව්වා වගේ එක එක හේතු කිව්වා. මුළු ආණ්ඩු බලයම දෙනවා නම් අප රට භාර ගන්නවා කියලා එක් පිරිසක් කිව්වා. ඇමති මණ්ඩලයට තමන්ගේ අය පත් කරන්න දෙනවා නම් භාර ගන්නම් කියලා තවත් පිරිසක් කිව්වා. ජනාධිපතිකම දුන්නොත් භාරගන්නවා කියලා තවත් අය කිව්වා.

හැබැයි මම කිසිම කොන්දේසියක් නොමැතිව මේ අභියෝගය භාරගත්තා. අපේ රට, අපේ රටේ ජනතාව ආර්ථික ආගාධයෙන් ගලවා ගන්න ශක්තිය මට තිබුණා. වැඩ සැලැස්මක් මට තිබුණා. මේ වගේ අවස්ථාවලින් රටවල් ගොඩ ආපු විධි ක්‍රම ගැන අවබෝධයක් සහ අත්දැකීම් මට තිබුණා. ඒ වගේම මගේ සැලැසුම් සහගත ප්‍රතිපත්තිවලින් හා කැපවීමෙන් ආර්ථිකය ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. ඒ සඳහා ජාත්‍යන්තර සහයෝගය දිනා ගන්න මට පුළුවන් බව මම දැනගෙන හිටියා. මට තිබුණේ එච්චරයි. මටම කියා මන්ත්‍රීවරු හිටියේ නැහැ. මටම කියා ඇමති මණ්ඩලයක් හිටියේ නැහැ. මටම කියා ආණ්ඩුවක් තිබුණෙත් නැහැ. නමුත් මම එම අභියෝගය බාරගත්තා.

ඒ වෙලාවෙ මට මතක් වුණේ ලෝක ප්‍රකට නිර්මාණවේදී වෝල්ට් ඩිස්නිගේ කියමනක්. “යමක් ආරම්භ කිරීමේ නිවැරදි ක්‍රමය, කයිවාරුව නවතා වැඩේට අත ගැසීමයි! මම බය නැතුව වැඩේට අත ගැහුවා.2022 අගෝස්තු 03 වෙනිදා පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමේ කතාවේදී මම කඩා වැටී තිබුණු ආර්ථිකය යළි ගොඩනැංවීම සඳහා අනුගමනය කරන සිව් වැදෑරුම් සැලැස්ම රටට ඉදිරිපත් කළා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කොට විස්තීරණ ණය පහසුකම් ලබා ගැනීම සහ රට තුළ මුල්‍ය විනයක් ඇති කිරීම.

ජාත්‍යන්තර මුල්‍ය හා නීති විශේෂඥයන් වන ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස් ආයතන සමඟ එක්වී ණය ස්ථාවර කරලීමේ සැලසුම සකස් කිරීම හා ණය හිමියන් සමඟ සාකච්ඡා කොට එකඟත්වයකට එළැඹීම

විදේශ ආයෝජන තහවුරු කර ගැනීම හා අපනයන ආර්ථිකය ශක්තිමත් කරලීමට අවශ්‍ය ප්‍රතිපත්ති, නීති රීති සහ වැඩසටහන් සම්පාදනය කිරීම සහ ඩිජිටල් හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීම

මේ වැඩපිළිවෙල ඔස්සේ 2048 වෙද්දි ණය බරින් තොර දියුණු ආර්ථිකයක් නිර්මාණය කිරීම සහ සංවර්ධිත දේශයක් බවට පත්වීම

මම එදා සඳහන් කළ වැඩ සැලැස්ම පිළිබඳවත්, එය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබදවත් සියළු තොරතුරු මම විටින් විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ කිසිදෙයක් අප රහසිගතව කළේ නෑ. සියල්ල සිදු කළේ පාරදෘශ්‍ය භාවයෙන්.සිව් වැදෑරුම් වැඩපිළිවෙලේ මුල් කරුණු තුනම දැන් සාර්ථකව ඉදිරියට ගමන් කරනවා. එයින් සනාථ වන්නේ අපේ වැඩ සැලැස්මත්, අප ගමන්ගත් මාර්ගයත් නිවැරදි බවයි.ණය ගෙවාගන්න බැරුව, බංකොලොත් ලේබලය වැදී සිටි රටක් හැටියට, වසර දෙකක් තුළ මෙවැනි ප්‍රගතියක් ලබා ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක්,

අපි වගේම ආර්ථික ආගාධයකට වැටී තිබුණු අනෙක් රටවල්වලට මෙවැනි සාධනීය තත්ත්වයක් ඇති කර ගැනීමට දීර්ඝ කාලයක් ගත වුණා. මෑත ඉතිහාසයේ ලෝකයේ කිසිම රටක් කෙටි කාලයක් තුළ මේ වගේ සුවිශේෂි ජයග්‍රහණයක් ලබාගෙන නැහැ.අපේ ආර්ථිකය වැටී තිබුණු ආගාධය ගැන පැහැදිලි අවබෝධයක් අපට තිබුණා. ඊට ලබා දිය යුතු නිවැරදි විසඳුම් අප දැන සිටියා. අපේ දැක්ම, සැලැස්ම සහ කැපවීම නිසා මේ තත්ත්වය උදාකර ගැනීමට අපට පුළුවන් වුණා.

ඉතින් මේ මාර්ගයේම ගියොත් හතරවැනි කරුණ, එනම් 2048 වන විට සංවර්ධිත දේශයක් බවට පත්වීමත් සාර්ථක කර ගන්න පුළුවන් බව දැන් පැහැදිලි වෙලා තිබෙනවා.2022 වසර වෙද්දි පතුලටම ඇද වැටී ආර්ථික ආගාධයක තිබුණු රටක වර්තමාන තත්ත්වය මොකද්ද?එක දිගට කාර්තු 6ක් හැකිලෙමින් තිබුණු අපේ ආර්ථිකය 2023 වසරේ තුන්වැනි කාර්තුවේ සිට වර්ධනය වෙන්න පටන් ගත්තා.2022 අප්‍රේල් වෙද්දි පත්ලටම හිඳී නන්නත්තාරව තිබුණු අපේ විදේශ සංචිත දැන් ඩොලර් මිලියන 5500 ක් දක්වා ඉහළ නැංවී තියෙනවා. රුපියල ශක්තිමත් වෙලා. බැංකු පොළී අනුපාත අඩුවෙලා.2022 සැප්තැම්බරයේ සියයට 70 ක්ව පැවති උද්ධමනය දැන් සියයට 0.9ක් දක්වා පහළ වැටිලා. අය වැය ප්‍රාථමික ගිණුමේ ශේෂය, අතිරික්තයක් ලෙස පරිවර්තනය කිරීමට හැකි වෙලා.

ඒ වගේම ගිය අවුරුද්දේ අපේ විදේශ ගිණුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති කරගන්න අප සමත් වුණා. මෙසේ අතිරික්තයක් ඇති කරගන්නට අප සමත් වුණේ 1977න් පස්සෙ මුල් වතාවට. මේවා යහපත් ආර්ථික කළමණාකරණයක් ඔස්සේ බංකොලොත්භාවයෙන් මිදීම සඳහා අප අත්පත් කරගත් ජයග්‍රහණ.මේ ජයග්‍රහණ නිසාත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපේ නිල ණය හිමියන් එකඟත්වය පළ කළ නිසාත් දැන් යළිත් ජාත්‍යන්තර විශ්වාසය අප වෙත ලැබී තිබෙනවා. මේ සමඟම අප මෙතෙක් පැමිණි ගමන් මඟ නිවැරදි බව යළි යළිත් සනාථ වෙලා තිබෙනවා. එය ජාත්‍යන්තරය ද පිළිගෙන තිබෙනවා.

එදා මේ වැඩපිළිවෙළ පාර්ලිමේන්තුව හමුවේ තබමින්, රට ගැන සිතා මේ වැඩ පිළිවෙළට එක්වෙන්න කියලා සියළු දේශපාලන පක්‍ෂ සහ කණ්ඩායම්වලට මම ආරාධනා කළා. සමහර දේශපාලන පක්ෂ ඒ ආරාධනාව පිළිගෙන අදත් මා සමඟ එකට එක්ව මේ ගමනට සහාය දක්වනවා. හැබැයි තවත් සමහර දේශපාලන පක්‍ෂ විවේචනය කර කර ඉන්නවා. මේ විවේචන ගැනත් යමක් සඳහන් කිරීම වැදගත්.ගෝඨාභය ජනාධිපතිතුමා ඉන්න කාලෙ අයිඑම්එෆ් එකෙන් තොර විසඳුමක් නෑ කියලා පම්පෝරි ගහපු අය දැන් කියන්නෙ අයිඑම්එෆ් එපා කියලා.

ජනතාව දුෂ්කරතා විඳිද්දි ආර්ථිකය දියුණු කරලා වැඩක් නැහැ කියපු අය දැන් කියන්නේ, ඒ අය බලයට ආවාම කිරි තේ වෙනුවට කහට බොන්න වෙනවා කියලා.මේ සමහර අය කරන්නේ ජනප්‍රිය දේශපාලනය, නැත්නම් ඉස්කොල දේශපාලනය. ඔවුන්ගෙ දේශපාලන, ආර්ථික සහ රාජ්‍ය ධර්ම දැනුම ප්‍රාථමික පංතියෙන් ඉහළට ගිහින් නෑ.කොහොම වුණත් මේ අර්බුදය ඇතිවුණු අවස්ථාවේදීම මම මේ ප්‍රශ්නයේ දිග පළල ගැඹුර තේරුම් ගත්තා. පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයෙක් හැටියට මම මේ ගැටළුව ගැන කතා කළා. විසඳුම් පෙන්වා දුන්නා.

නමුත් සමහර අයට තාමත් මේ බරපතලකම සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට බැරි වෙලා තියෙන්නේ. මම මේ රට බාර ගත්තාට පස්සෙ රට ගොඩ නැංවීමට පියවර ගණනාවක් ගත්තා. ඒ පියවර නිවැරදියි කියලා තේරුම් ගන්න මේ අයට අවුරුදු දෙකක පමණ කාලයක් ගත වුණා. වර්තමානයේ මම ගන්නා පියවර නිවැරදියි කියලා තේරුම් ගන්නත් ඔවුන්ට තව අවුරුදු කීපයක් ගත වේවි.නිවැරදි දේ තේරුම් යන තුරු ඔවුන් කරන්නේ කෑ ගහන එක. එහෙම කයිවාරු ගහන අය දිගටම කයිවාරු ගහයි. පම්පෝරි ගහන අය දිගටම පම්පෝරි ගහයි. ඒ ගැනත් මම ඔබට යමක් කියන්න කැමතියි.අපේ රට අයිඑම්එෆ් සහාය ලබා ගත් පළවෙනි වතාව මේක නෙවෙයි. මීට කලින් 16 වතාවක් අපේ රට අයිඑම්එෆ් සහාය ලබාගෙන තිබෙනවා. ඒ හැම වතාවෙම  ශ්‍රී ලංකාව ලංකාව අසාර්ථක වුණා. ඇයි, අපි කොන්දේසි කැඩුවා. පොරොන්දු වූ දේවල් කළේ නෑ. මූල්‍ය විනය රැක්කේ නැහැ.

අපේ රටේ ඉතිහාසයටම අයිඑම්එෆ් වැඩ සැලැස්මක් සාර්ථක කරගත් මුල්ම අවස්ථාව මෙයයි. කලින් 16 වතාවෙම අප අයිඑම්එෆ් සහය ඉල්ලුවේ ණය ගෙවා ගන්න බැරි රටක් විදියට නෙවෙයි. නමුත් බංකොලොත් ලේබලය වැදී තිබුණ රටක් හැටියට සහාය ඉල්ලා එවැනි සාර්ථකත්වයක් ලැබූ අවස්ථාවට නායකත්වය දීම පිළිබඳ මම සතුටු වෙනවා.අවසානය මෙතැන නෙවෙයි. මේ අපේ ගමනේ සංධිස්ථානයක් පමණයි. මෙතැනින් අප අලුත් ආරම්භයක් ලබා ගත යුතුයි. දැන් අපට ජාත්‍යන්තර සහතිකය ලැබී තිබෙනවා. යළිත් ජාත්‍යන්තර විශ්වාසය ලැබී තිබෙනවා. අපි එයින් ප්‍රයෝජන ගෙන දියුණු ආර්ථිකයක් කරා ගමන් කළ යුතුයි. පූර්ණ සාර්ථකත්වය ලබා ගත යුතුයි. අපි පූර්ණ සාර්ථකත්වය ලබා ගත්තොත් ආයෙ කවදාවත් අපේ රටට අයිඑම්එෆ් යන්න අවශ්‍ය වෙන්නේ නෑ. මම වෙහෙසෙන්නේ අන්න ඒකටයි.

මම වෙහෙසෙන්නෙ නැවත කිසි දිනෙක අයිඑම්එෆ් යන්න අවශ්‍ය වෙන්නෙ නැති, ශක්තිමත් සහ විනයානුකූල දියුණු ආර්ථිකයක් මේ රටේ බිහි කිරීමටයි.ඒ සඳහා අප වැඩ කරනවා. මමත්, අපේ ඇමති මණ්ඩලයත්, අපේ ආණ්ඩුවත් වැඩ කරනවා. වැඩ කරනවා විතරක් නෙවෙයි ඒවායේ ප්‍රතිඵලත් අප පෙන්නනවා.අපව විවේචනය කරන සමහර කණ්ඩායම්වලට අවශ්‍ය දේශපාලන බලය ලබා ගැනීම පමණයි. අනාගතයේ බලයට පැමිණීමට අපේක්ෂා කරන මේ දේශපාලන කණ්ඩායම් මේ වන විට ජනාධිපතිවරු පත් කරගෙනත් ඉවරයි.

සමහරු මේ දිනවල ගැඹුරෙන් සාකච්ඡා කරන්නේ බලයට පත් වූ විට පත් කරන ඇමති මණ්ඩලය ගැනයි.තවත් අය දැනටම ඇමතිකම් බෙදා ගෙන. එහෙම සමහර සිහින ඇමතිලා තමන්ගෙ ඇමතිකම බිරිඳට ලබා දෙන විදිය ගැනත් සැලසුම් කරන බව අපට ආරංචියි.සිහින ඇමතිකම් වලින් ඔළුව කුරුවල් කරගත්තු අය කීදෙනෙක් අද මම මේ කරන ප්‍රකාශය ගැන රටට මොන තරම් බොරු කිව්වාද? පුවත්පත් සාකච්ඡා පවත්වමින් බොරු කිව්වා. අද මම මේ කරන කතාව සම්බන්ධයෙන් ඔවුන් කියූ සියල්ල බොරු බව දැන් රටම දන්නවා.රටට කිසියම් ජයක් ලැබෙන එකට ඒ අය මේ තරම් කුපිත වෙන්නේ ඇයි? රටට ලැබෙන සුබ ආරංචියක් ඔවුන් අසුභ විදියට දකින්නේ ඇයි? හැම දෙයකින්ම දේශපාලන වාසි ලබා ගන්න ඔවුන් උත්සාහ කරන්නේ ඇයි? බලය ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් රටට ද්‍රෝහි වෙන්නේ ඇයි? මෙවැනි අවස්ථාවාදී දේශපාලන සංස්කෘතියක් ඔවුන් නඩත්තු කරන්නේ ඇයි?

මෙන්න මේකයි හේතුව.ඒ අය ජනාධිපති තනතුර වෙනුවෙන් වෙහෙසෙනවා. අපි රට වෙනුවෙන් වෙහෙසෙනවා.ඒ අය තමන්ට ලැබෙන තනතුරු සහ පට්ටම් ගැන හීන මවනවා. අපි රටේ දියුණුව ගැන හීන මවනවා.ඒ අය ඇමතිකම් බෙදා ගන්න සැලසුම් කරනවා. අපි රට ගොඩනංවන සැලසුම් හදනවා. ඒ අය  ලංකාව පුරා ඇවිදිමින් බලය ඉල්ලනවා. ඉස්කෝල ගාණේ ගිහින් බලය ඉල්ලනවා. ලෝකය පුරා සංචාරය කරමින් බලය ඉල්ලනවා. දිවා රෑ නොබලා බලය වෙනුවෙන් වෙහෙසෙනවා.

මම දිවා රෑ නොබලා රට වෙනුවෙන් වෙහෙසෙනවා.  ලංකාව පුරා ඇවිදිමින් ජනතා අවශ්‍යතා ඉටු කරනවා. ආර්ථිකය ශක්තිමත් කරලීමේ වැඩ සටහන් දියත් කරනවා. මම ලෝකය පුරා යමින් අපේ රට දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට කටයුතු කරනවා.

එවන් පසුබිමක මම ඔබෙන් මෙන්න මේ ප්‍රශ්නය අහන්න කැමතියි.මුලදීම ප්‍රශ්නය තේරුම්ගෙන ඊට ප්‍රායෝගික විසඳුම් ලබා දී ප්‍රතිඵල පෙන්වූ මා සමග එක්වී රට ඉදිරියට ගෙනයනවාද? එහෙමත් නැත්නම්, තවමත් ප්‍රශ්නය තේරුම් ගෙන නැති, අඳුරේ අතපත ගාමින් බලය වෙනුවෙන් වෙහෙසෙන කණ්ඩායම් සමඟ එක් වෙනවාද? මෙතෙක් පැමිණි නිවැරදි මාර්ගයේම ඉදිරියට ගොස් ඔබේත්, රටේත් අනාගතය යහපත් කරගන්නවාද? නැතිනම් මාර්ගය වෙනස් කරනවාද? වැරදි පාරකට හැරුණොත් නැත්නම් පාර වරද්දා ගත්තොත් එහි භයානකකම අප සියලුදෙනා දන්නවා. ඒ නිසා නිවැරදි තීරණය ගන්න. ඒ තීරණය ගැනීමේ පූර්ණ අයිතිය සහ නිදහස ඔබට තිබෙනවා.

ඔබ ගන්නා තීරණයෙන් තීන්දු වෙන්නේ රනිල් වික්‍රමසිංහගේ අනාගතය නෙවෙයි. රටේ අනාගතයයි. ඔබේ අනාගතයයි. ඔබේ දුවා දරුවන්ගේ අනාගතයයි.බංකොලොත්ව, ආර්ථික ආගාධයකට ඇද වැටී තිබුණු රට මම ගොඩ ගත්තේ මගේ පක්ෂයට බලය තිබූ පාර්ලිමේන්තුවක් සමඟ නෙවෙයි. මම පත් කළ රාජ්‍ය නිලධාරීන් සමඟ නෙවෙයි. මම පත් කළ ඇමති මණ්ඩලයක් සමඟ නෙවෙයි.

ඒත් ඒ කිසිවක් නැතුව අවුරුදු දෙකක කාලයක් තුළ ලෝකයම විස්මයට පත් කරන ආකාරයට ආකර්ශනීය ස්ථාවර මට්ටමකට රට ගොඩගන්න මට පුළුවන් වුණා.ටිකක් හිතන්න. මීට අවුරුදු දෙකකට කලින් පාරට බැස්සාම අපි දැක්කෙ මොනවාද? අද අපි පාරට බැස්සාම දකින්නේ මොනවාද? මම එදා ඔබට පොරොන්දු වුණා වගේම ලංකා මාතාව කියන දරුවා අනතුරුදායක වැල්පාලමේ මෙතෙක් ආරක්ෂිතව ඉදිරියට ගෙන එන්නට මට පුළුවන් වෙලා තිබෙනවා.

දැන් වෙලා තියෙන්නෙ මොකද්ද? හුණුවටයේ කතාව නාට්‍යයේ වගේම අසීරු අවස්ථාවේ දරුවා රැක ගන්න බය වුණු කණ්ඩායම්, දරුවා රැක ගන්න කිසිදු සහයෝගයක් නොදුන් කණ්ඩායම් දැන් මේ දරුවාගේ අයිතිය ගන්න සටන් කරනවා. වැල් පාලමෙන් එගොඩ වෙන්න කලින්ම දරුවාව අයිති කරගන්න වෙහෙසෙනවා. දරුවාව දෙපැත්තට විතරක් නෙවෙයි, හැම පැත්තටම අදින්න හදනවා.හැබැයි අප දන්නා හුණුවටයේ කතාව අවසානයේ දරුවාගේ හිමිකම සැබෑ මව් ගුණය ඇති අම්මාටම ලැබෙනවා.

නාට්‍යයේ පොතේ ගුරු මෙන්න මෙහෙම කියනවා.“දෙයක් වේ නම් යම් – සුදුස්සාටම ලැබිය යුතු ය..රියකරු මනාවූ ලැබිය යුතු වූ සේම අස්රිය…..”ඉතින් හුණුවටය නාට්‍යයේ විනිසුරු අසඩක් වගේම ඔබ නිවැරදි තීරණය ගන්න.එතකොට සුදුස්සාට සුදුසු දේම ලැබේවි. අපේ රටට දීප්තිමත් අනාගතයක් උදාවේවි.ස්තුතියි."


සම්බන්ධිත පුවත් | Related News

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.
"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21) සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්
ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.
වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.