මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්රකාශයක්..
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සමයේ, ජනාධිපතිවරයා ගමන්කරන ගුවන් යානයට මිසයිල ප්රහාරයක් එල්ලකළ හොත් රටේ පාලනය වෙනස් කොට රටේ ප්රශ්න අවසන් කළ හැකි බව ප්රගීත් එක්නැලිගොඩ තමන් සමඟ පැවසූ බව හිටපු LTTE සංවිධාන සාමාජිකයෙකු වූ මුරලි නමැත්තා අධිකරණයේදී අද (16) හෙළි කළේය.
ඒ ප්රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළ බවට වන චෝදනාවේ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ය.
එමෙන්ම තමා කොටි සංවිධානයේ සාමාජිකයෙක්ව සිටි සමයේ එක්නැලිගොඩ සහ තමා සහෝදරයන් මෙන් ආශ්රය කළ බවත් තම ඇසුර තමිල් සෙල්වම් ඇතුළු සංවිධානයේ ඉහළ නායකයන් පවා දැනසිටි බවත් සාක්ෂිකරු අද අධිකරණයේදී කියා සිටියේය.
මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන සිද්ධියට අදාළ නඩු විභාගය කොළඹ 7 විජේරාම මාවත ප්රදේශයේ ස්ථාපිත කර ඇති ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණයේ සිදු කෙරෙයි.
ඒ සභාපති විනිසුරු නයනා සෙනවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන ස්ථිර ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේය.
මෙහි පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස සාක්ෂි ලබාදීම සඳහා පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව දැනට රැඳවුම් භාරයේ සිටින රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාව අද එම අධිකරණයට රැගෙන එනු ලැබීය.
ඒ දැඩි ආරක්ෂක රැකවල් මධ්යයේය.
මෙහි පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවමින් නියෝජ්ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා විමසා සිටියේ සුරේෂ් සලේ මහතා යුද්ධ හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ ලෙස කටයුතු කරන ලද්දේ කවර සමයකද යන්නය.
2012 වසරේ අගභාගයේ සිට 2016 අගභාගය දක්වා යැයි ඊට සලේ මහතා පිළිතුරු ලබාදුනි.
නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා පසුව විමසුවේ ගිරිතලේ සන්නාහ සන්නද්ධ බුද්ධි බළකාය පිළිබඳ දන්නේ ද යන්නය.
ඊට පිළිතුරු දුන් සලේ මහතා තුන් හතර පාරක් ගිහින් තියෙනවා යැයි ප්රකාශ කළේය.
පසුව නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා විමසුවේ ප්රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් විමර්ශනයකට අදාළව තොරතුරු ලබාදුන් බවට මතකද යන්නය.
විමර්ශනයක් සිදුවූයේ යැයි තමන්ට මතක බවත්, ඊට අදාළව දුරකථන තොරතුරු වාර්තා ලබාදුන් බවද සාක්ෂිකාර සලේ මහතා පැවසීය.
වැඩිදුර ප්රශ්න කිරීම් හමුවේ සලේ මහතා මෙසේ සඳහන් කළේය,
"ස්වාමිනි වසර 38ක මගේ සේවා කාලය තුළ මම CID එක සමඟ බොහෝ අවස්ථාවලදී කිට්ටුවෙන් කටයුතු කරලා තියෙනවා. කටඋත්තර ගණනාවක් දීලා ඇති. ලේඛන ගණනාවක් දීලා ඇති. මේ සිදුවීමට අදාළවත් Court of Inquiry එකක් වුණා. ඒකට අදාළ තොරතුරු භාරදුන්නා. නමුත් දැන් මේ සිදුවීමට වසර 10කටත් වඩා කාලයක් ගෙවිලා තියෙනවා. ඒ නිසා මේ සිදුවීමට දුන් ප්රකාශ සහ ලේඛන පිළිබඳ හරියට කටඋත්තරය බලන්නේ නැතුව කියන්න බැහැ."
සාක්ෂි ලබාදීමෙන් පසු සුරේෂ් සලේ මහතා යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගියේය.
මේ අතර මෙම නඩුවේ පැමිණිල්ලේ සිව්වන සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් මුරලි යන අයගෙන් 09 වැනි විත්තිකරුවෙක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන මහතා අදත් හරස් ප්රශ්න ඇසීම් සිදු කළේය.
"තමුන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සමාජිකයෙකුව සිටින සමයේ ප්රගීත් එක්නැලිගොඩ කියන පුද්ගලයා සහෝදරයෙකු ලෙස ආශ්රය කරපු කාලයක් තිබ්බා නේද?"
ඊට සාක්ෂිකාරු "ඔව් " ස්වාමිනි යැයි පිළිතුරු දුනි.
"එහිදී ඔහු සමඟ යුද්ධ පිටියේ ඔබේ අත්දැකිමූත් බෙදාගත්තා නේදැයි " නීතිඥවරයා යළි විමසීය.
ඊටද සාක්ෂිකරු 'ඔව්' යනුවෙන් පිළිතුරු දුනි.
පසුව නීතිඥවරයා යළි විමසුවේ "ඔබ ප්රගීත් එක්නැලිගොඩ සමඟ පැවති සම්බන්ධතාවය පිළිබඳ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක ප්රභාකරන්ට කිව්වාද" යැයි ප්රශ්න කළේය.
සාක්ෂිකාර මුරලි ඊට 'නැත' යනුවෙන් පිළිතුරු දුනි.
පෙරළා යළි ප්රශ්න කළ නීතිඥවරයා "එක්නැලිගොඩ සමඟ ඔබේ පැවති සම්බන්ධතාවය තමිල් සෙල්වම් කියන ත්රස්තවාදියාට සහ එල්.ටී.ටී.ඊ. පුපුරණ ද්රව්ය ප්රධානියාව සිටි ඥානවේල්ට පවසා තිබුණාද? "
ඔවුන් දෙදෙනාටම ඒ පිළිබඳ පවසා තිබුණු බවට සාක්ෂිකරු කියා සිටියේය.
"පොට්ටු අම්මාන් නේද මිනීමරු කොටි සංවිධානයේ බුද්ධි අංශ ප්රධානියා සහ ස්වයං ඝාතක බෝම්බකරුවන් මෙහෙයවූ තැනැත්තා" යැයි නිතිඥවරයා ප්රශ්න කළ අතර සාක්ෂිකරු ඊට පිළිතුරු දෙමින් ඒ ගැන මම දන්නේ නැහැ යැයි පිළිතුරු දුනි."
එහිදී නැවතත් ප්රශ්න කළ නීතිඥ අසිත් සිරිවර්ධන, "තමුන් එක්නැලිගොඩ එක්ක තිබ්බ සහෝදර බැදීම්, යාළුකම් ගැන පොට්ටු අම්මාන් කියන ත්රස්තවාදියාට කියා තිබුණාද? " යැයි ප්රශ්න කළේය.
සාක්ෂිකාර සුරේෂ් කුමාර හෙවත් මුරලි පිළිතුරු ලබාදුනි.
"ඔබ දඹුල්ල, හඹරණ වත්ත නැමැති ස්ථානයේ එක්නැලිගොඩ හමුවූ අවස්ථාවේ ඔහු මිසයිලයක් ගහලා එවකට රටේ රාජ්ය නායකයා ඝාතනය කළ යුතු බව තමුන්ට කියූ බවට ප්රකාශයක් දී තිබෙනවා නේද" යැයි නීතිඥවරයා යළි ප්රශ්න කළේය.
ඊට සාක්ෂිකරු ඔව් යනුවෙන් පිළිතුරු දුන් විට නීතිඥවරයා පෙරළා ප්රශ්න කළේ "එවකට රාජ්ය නායකයාව සිටියේ මහින්ද රාජපක්ෂ නේද" යන්නයි.
සාක්ෂිකාර මුරලි "ඔව්" යනුවෙන් පිළිතුරු දුනි.
ඔබ එක්නැලිගොඩ සමඟ තිබූ සම්බන්ධය ගැන පොට්ටු අම්මාන්ට කිව්වේ, එක්නැලිගොඩ අර ප්රකාශය කරන්න පෙරද? පසුද? යැයි නීතිඥවරයා යළි ප්රශ්න කළ අතර ඊට පෙර යනුවෙන් සාක්ෂිකරු පිළිතුරු දුනි.
ඉන්පසු ඔහුගෙන් ප්රශ්න කළේ නියෝජ්ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතාය.
"ඔබ හමුදාවට භාරවීමට පෙර එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ සමඟ ගිහින් හබරණදී එක්නැලිගොඩ හමුවුණා කියලා අද විත්තියෙන් හරස් ප්රශ්න විමසද්දි කිවුවා. එහිදී රාජ්ය නායකයා ඝාතනය කිරීමක් ගැන එක්නැලිගොඩ කිව්වා කියලත් කියවුණා. නමුත් ඔබගෙන් මීට පෙර දිනයක පළමු විත්තිකරු වෙනුවෙන් ඔය සිද්ධිය ගැන අහපුවාම ඔබ කිව්වා නේද ඒක උදාහරණයක් හැටියට කියපු එකක් කියලා. එක පැහැදිලි කරන්න පුළුවන්ද? "
එහිදි සාක්ෂිකාර සුරේෂ් කුමාර හෙවත් මුරලි මෙසේ පැවසීය.
"මමයි, නාදන් මහත්තයයි, එක්නැලිගොඩ මහත්තයායි හබරණ වත්තේ කතාකරමින් සිටියා. මමයි නාදන් මහත්තයායි කිව්වා දැන් යුද්ධය ඉවර නිසා නිදහසේ ජීවත්වෙන්න පුළුවන් කියලා. එවිට එක්නැලිගොඩ කිව්වා යුද්ධය ඉවර වුණාට සියලු ප්රශ්න එහෙම්මමයි කියලා. පස්සේ මමයි නාදනුයි කිව්වා ඒවා ඉවරකරන්න, වෙනස් කරන්න බැහැ. මේ පාලනය තව වසර 20ක් වත් තියෙයි කියලා. එතකොට එක්නැලිගොඩ කිව්වා ඒක අද හිතුවොත් අද වෙනස් කරන්න පුළුවන් කියලා. අපි ඇහැව්වා කොහොමද කියලා. ඔහු කිව්වා ජනාධිපති Flight එකේ යනවා. ඒකට මිසයිලයක් ගැහුවොත් ඔක්කෝම වෙනස් වෙනවා කියලා."
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්රකාශයක්..
ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්
දූෂිත අමාත්යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. - ජාතික සංවිධාන කියයි
යුක්රේනයට සැපයූ මිසයිල “විවෘත වෙළෙඳපොළේ” විකුණා දමලා – ට්රම්ප්ගෙන් චෝදනාවක්!
ඩොලර් මිලියන 130ක සෞදි කොහුබත් ගනුදෙනුව අහිමි වූ හැටි මෙන්න..
ඥානසාර හිමිගේ නිදහස පතා මහ සඟරුවන ජනපති කාර්යාලය අසළ රැය පහන් කරති..
මාලිමාවට ඡන්දය දුන්න එම ගැන කණගාටු වෙනවා.. තඹුත්තේගම වීරයා බන්ධනාගාර කොමසාරිස්ට කළින්ම පැන්නා.. - මහාචාර්ය පූජ්ය පාතේගම ඤානිස්සර හිමි
ආණ්ඩුව බෞද්ධ උරුමය විනාශ කරනවා කියලා ජාතික සංවිධාන එකමුතුව බිල්ලෙක් මවන්න හදනවා.. අනුරාධපුර ඇතුල් නගරයේ ජනතාව නැවත පදිංචි කරන්න අක්කර 200ක් වෙන්කරලා තියෙන්නේ.. - ඇමති වසන්ත සමරසිංහ
ඥාණසාර හිමි නිදහස් කරන තුරු විරෝධය අඛණ්ඩව..
මැදපෙරදිග බල තුලනය වෙනස් කරමින් සවුදිය චීනයේ සහාය පතයි.. - ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
එක්සත් රාජධානියේ නව රැකියා පහකින් හතරක්ම විදේශිකයන්ට – වාර්තාවක් පවසයි
ඉන්දීය දේශසීමා උපාය නිසා චීන–ඉන්දීය සබඳතා නැවතත් අර්බුදයකට.. ස්ථාන නාම වෙනස් කිරීමට චීනයෙන් දැඩි විරෝධයක්..
ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරන්න යෝජනාවක්.. - ජ්යෙෂ්ඨ නීතිඥ කල්යානන්ද තිරාණගමගෙන් විශේෂ හෙළිදරව්වක්
ලාල් විජේනායක කමිටු වාර්තාවේ ව්යවස්ථා ප්රතිසංස්කරණ යෝජනා වර්තමාන ආණ්ඩුවේ ක්රියාමාර්ගවලින් තහවුරු වෙන්නේ මෙහෙමයි.. නිරාගමික රාජ්යයකට යන ගමන..
සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන අද කොළඹට..
ඉන්දියානු උවමනාවට රුවන්වැලි මහා සෑයට යකඩ වැටක්.. ජේතවනාරාමය අසල රාම කෝවිලක්.. - වෛද්ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක් (වීඩියෝ)