මහාචාර්ය සේනක බිබිලේ නම් වූ ‘යුගයේ මිනිසා’ සොයා යාම
ඒ, 1990 දශකයේ මුල් භාගයයි. එවක “විදුසර” පුවත්පතේ පළවූ ලිපි පෙළක් හේතුවෙන් එම පුවත්පත සතිපතා අතට පත්වන තුරු අප සිටියේ මහත් නොඉවසිල්ලෙනි. “යුගයේ මිනිසා” නමැති එම ලිපි පෙළ විදුසරට ලියනු ලැබුවේ දෙනගම සිරිවර්ධන මහතා විසිනි. ඒ, “යුගයේ මිනිසා” අන් කිසිවකු නොව, මහාචාර්ය සේනක බිබිලේය. අපේ රටේ සාමාන්‍ය ජනතාව වෙතින් සැඟවී තිබූ, මෙම ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයාගේ කතා පුවත මෙරට ජනතාව වෙත අනාවරණය කිරීම, දෙනගම සිරිවර්ධන මහතා විසින් මාධ්‍යවේදියකු වශයෙන් ඔහුගේ වගකීම ඉහළින්ම ඉටු කිරීමකි. පසුව එම ලිපි පෙළ “යුගයේ මිනිසා” නමින් ග්‍රන්ථයක් ලෙසද ප්‍රකාශයට පත්විය.
“මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ ජාතික සංවිධානය” විසින් 2005 සැප්තැම්බර් 29 වන දින කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ වැඩසටහනක් පවත්වන ලද අතර, එහිදී දෙනගම සිරිවර්ධන මහතා විසින් ඔහු පිළිබඳව දේශනයක් පවත්වන ලදී. එම දේශනය ඇසුරෙන් සකස් කළ සටහනක් මෙසේ ඔබ හමුවේ තබන්නේ, මෙම සැප්තැම්බර් මස 29 වන දිනට, මහාචාර්ය සේනක බිබිලේ අබිරහස් ලෙස මියගොස් වසර 49ක් පිරෙන බැවිනි. මහාචාර්ය සේනක බිබිලේ යනු කවුද, ඔහුගේ භූමිකාව කුමක්වීද යන්න නොදන්නා වර්තමාන සමාජයේ බොහෝවුන්ට, ඒ පිළිබඳව හඳුනාගැනීම පිණිස මෙම සටහන සප්‍රයෝජනවත් වනු ඇත.
1977 සැප්තැම්බර් 29 වන දා උදෑසන 9.00ට ඒ විරෝදාර පුරුෂයා මරණය හමුවේ සිට “අර බෙහෙත මට දෙන්න” යැයි සිය බිරිඳගෙන් ඉල්ලා සිටියේය. ඔහු ඒ වන විට නවාතැන් ගෙන සිටියේ ඝානා දේශයේ හෝටලයකය. ඔහු ඉතා අසාධ්‍ය ලෙස රෝගී වී සිටියේය. ඒ අවස්ථාවේ ඔහු රෝහලට ගෙන යා යුතුව තිබිණි. නමුත් කිසියම් බලවේගයක් ඔහුට රෝහලට ඇතුළු වීමට බාධා කළේය. ඔහු නවාතැන් ගෙන සිටි හෝටලය අසල වෙනත් දිනවල ලෝක සෞඛ්‍ය සංවිධානයට අයත් ජීප් රථ, ගිලන් රථ විශාල ගණනක් තිබුනත් ඒ මොහොත වන විට ඉන් එකක්වත් නොතිබිණ. ඒ සියල්ල අතුරුදන් වී (අතුරුදන් කර?) තිබිණි. ඔහු තදබල ලෙස හෘදයාබාධයකට ගොදුරු වූ මොහොතේවත්, ඒ හෝටලයේම නවාතැන් ගෙන සිටි හෘද රෝග විශේෂඥ මහාචාර්යවරයා ඔහුගේ අසනීපය ගණන් ගත්තේ නැත. ඔහුගේ රෝගී තත්ත්වය දරුණු වන්නට වූ විට, ඝානා දේශයේ ඖෂධ සංස්ථාවේ සභාපති, චීන ජාතික ගස් ලී ඔහු රෝහලට ගෙන යාම සඳහා වාහනයක් එවීය. ඒ පරණ කසිකබල් වාහනයේ නැඟී ඔහු රෝහලට යාමට පිටත් විය. ඒ යන අතරේත් ඔහු සිය බිරිඳගේ උකුලේ හිස තබාගෙන “අර බෙහෙත මට දෙන්න” යැයි නැවත නැවතත් ඉල්ලා සිටියේය. අඩු මිලට හොඳ බෙහෙත් ජනතාවට ලබාදෙන්නට සිය ජීවිතය කැප කළ, ඒ නිසාම බහුජාතික සමාගම් නමැති මකරාට ගොදුරු වූ මහචාර්ය සේනක බිබිලේ ඉල්ලා සිටි ඒ බෙහෙත නොලැබීම නිසා ඔහු මිය ගියේය. ඒ, 1977 සැප්තැම්බර් 29 වනදාය.
එදායින් පසු, තමන්ට අවශ්‍ය ඖෂධ ලබාගත නොහැකිව මිය ගිය, මිය යන ලක්ෂ සංඛ්‍යාත අසරණ රෝගීන් පිළිබඳ පුවත් අසන හැම විටෙකම මට සිහිවන්නේ බෙහෙත් නැතිව මිය ගිය මහාචාර්ය සේනක බිබිලේය. කැරිබියන් දූපත් රටවල් 13ක ඖෂධ ප්‍රතිපත්ති පිළිබඳව මහාචාර්ය බිබිලේ විසින් සකස් කෙරුණු වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කරන්නට නියමිතව තිබුණේ 1977 සැප්තැම්බර් 30 වන දා ය. ඔහු එම වාර්තාව ඉදිරිපත් කළා නම්, එම රටවල් තුළ දී ඖෂධ සමාගම් සිදු කරනු ලබන බරපතළ වැරදි, ගසාකෑම් ජනතාවට හෙළිදරව් වන්නට ඉඩකඩ තිබිණි. එහෙත් ඊට පෙර දින, එනම් සැප්තැම්බර් 29 වන දා ඔහු අබිරහස් මරණයකට ගොදුරු වූයේය. කිසිදු පරීක්ෂණයකින් තොරව, ඒ උතුම් මනුෂ්‍යයා දරාගත් ශරීරය ඝානා වෙරළේ කපුරු දර ගොඩක් මත දැවී ගියේය. එය එසේ සිදු වූයේ නමුදු, කපුරු දර ගොඩත් සමග ඔහුගේ ජනතාවාදී ඖෂධ ප්‍රතිපත්තිය දැවී නොගියේය.
ඔහුගේ මරණය සිදුවී වසර 15කට පසුව 1992 දී පිලිපීනයේ මැනිලා නගරයේ පැවති, ජනතාවාදී ඖෂධ ප්‍රතිපත්තියක් පිළිබඳ වෛද්‍යවරුන්ගේ හා මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සම්මන්ත්‍රණයකට මට සහභාගී වන්නට අවස්ථාව ලැබුණි. ජනතාවාදී ඖෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන රටවල් 13ක වෛද්‍යවරු එම සම්මන්ත්‍රණයට සහභාගී වී සිටියහ. එදා ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මගේ හදවත මහත් දුකකින් හා මහත් ආඩම්බරයකින් පිරී ගියේය. එක් එක් වෛද්‍යවරු අපට හඳුන්වා දෙනු ලැබූහ. “මේ තමයි බංග්ලාදේශයේ සේනක බිබිලේ” කියමින් වෛද්‍ය චෞද්රි අපට හඳුන්වා දෙනු ලැබිණි. “මේ තමයි මැලේසියාවේ සේනක බිබිලේ” කියමින් වෛද්‍ය බාලසුබ්‍රමනියම් හඳුන්වා දෙනු ලැබිණි. “මේ තමයි ඕස්‍ට්‍රේලියාවේ සේනක බිබිලේ” කියමින් වෛද්‍ය හාවි හඳුන්වා දෙනු ලැබිණි. ඒ ආකාරයට, රටවල් 13ක වෛද්‍යවරුන් ඒ ඒ රටවල සේනක බිබිලේ නමින් අපට හඳුන්වා දෙනු ලැබීය. ඝානාවේදී ඔහු අභිරහස් ලෙස මිය ගියද, ඔහු රටවල් 13ක ඉපදී සිටිය හැටි එදින අපට දැනිණ. “සේනක බිබිලේ රටවල් 13ක පුනරුත්පත්තිය ලබලා!” මගේ දෑස කඳුළින් පිරිණි. ඔහුගේ හඬ, ඔහුගේ මඟ, ඔහුගේ දර්ශනය ලෝකය පිළිගත් ආකාරය එදා මම දුටුවෙමි.
ඒ සම්මේලනයේදී “බංග්ලාදේශයේ සේනක බිබිලේ” හෙවත් වෛද්‍ය චෞද්රි කී කතාවක් මට සිහිපත් වේ. එවක බංග්ලාදේශ ජනාධිපති එර්ෂාඩ්, සිය රටට ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා එරට වෙද්‍යෙවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වීය. එම සාකච්ඡාවේදී වෛද්‍ය චෞද්රි විසින් ලංකාවේ ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීමේ කාර්යයේදී මහාචාර්ය බිබිලේ මුහුණ දුන් දුෂ්කරතා, බහුජාතික සමාගම්වලින් එල්ල වූ තර්ජන ආදිය පිළිබඳව ජනාධිපති එර්ෂාඩ් දැනුවත් කරනු ලැබිණි. එවිට ජනාධිපතිවරයා පවසා තිබුණේ, මහාචාර්ය සේනක බිබිලේගෙන් පාඩම් ඉගෙන ගෙන ඒ දුෂ්කරතා මතු නොවන ආකාරයට බංග්ලාදේශයේ ජනතාවාදී ඖෂධ ප්‍රතිපත්තියක් සකස් කරන ලෙසය.
1970 දශකයේදී මහාචාර්ය බිබිලේ ලංකාවට ඖෂධ ප්‍රතිපත්තියක් සකස් කරන්නට පටන්ගත් දා සිටම ඔහුට අනේකවිධ බාධාවන්ට මුහුණ පාන්නට සිදු විය. එහෙත් ඔහු ඒ කිසිවකින් සැලුනේ නැත. ඔහු එම කාර්යයෙහි යෙදුණේ තමන්ගෙන් ජනතාවට ඉටු විය යුතු යුතුකමක් සේ සලකමිනි. එවැනි උදාර, බෝසත් චරිතාංග ඔහු තුළ රෝපණය වූයේ කෙසේදැයි සොයමින් මම ඔහුගේ ගමට - බිබිලේ - ගියෙමි. ඔහු ඇසුරු කළ අය මුණ ගැසුණෙමි. ඔහුගේ මව, නංගි සහ මල්ලිලා, ඔහුගේ බිරිඳ හා ඔහුගේ ශිෂ්‍යයන් මම මුණ ගැසුණෙමි. එමෙන්ම ඖෂධ සංස්ථාව බිහි කිරීමට මුල් වුණු උපසේන ජයරත්න සහෝදරයා වැනි සහෝදරවරුන් මට මුණගැසිණ. ඔවුන් සියලු දෙනාගෙන්ම ලද තොරතුරු ඇසුරු කරගෙන “යුගයේ මිනිසා” නමින් සේනක බිබිලේගේ කතාව මට ලියන්නට පුළුවන්කම ලැබිණි. ඇත්තටම මා “සේනක බිබිලේ” ගැන ලියන්නට පටන්ගත්තේ මා “විදුසර” විද්‍යා සඟරාවේ සේවය කරන අවධියේදී රැකියාවේ අංගයක් වශයෙනි. නමුත් සේනක බිබිලේ ගැන තොරතුරු සෙවීමට තුන් හතර දෙනකු සමග කතාබහ කරන විට එය මගේම කතාවක්, මගේම වැඩිමහලු සහෝදරයකුගේ කතාවක් ලෙස මට හැඟුණි. මට හමුවූ බොහෝ ගොවීන් වයස අවුරුදු 90 පසුකළ උදවියය. “එතුමා බෝධිසත්ත්වයෙක්. එතුමා බෙහෙත් සමග අපේ මන්දපෝෂණය නැති කරන්න කටයුතු කරපු හැටි අපට මතක් වෙනවා...” යැයි එම ගොවි ජනතාව මා සමග කීය. වයස්ගත හාමුදුරුවරු සේනක ගැන මා සමග බොහෝ දේ පැවසූහ. අපූරු දෙය වූයේ, සේනක ගැන කතා කළ හැම කෙනෙකුම සිය කතාව නැවැත්වූයේ තම කඳුළු පිසිමින් වීමය.
මේ ආකාරයට, මේ ශ්‍රේෂ්ඨ මිනිසාගේ උප්පත්තියේ පටන් තොරතුරු සොයාගන්නට මට හැකි විණි.
සේනක, 1920 පෙබරවාරි 13 වන දා ගාල්ලේ කතලුවේ උපත ලැබීය. ඔහුගේ පියා “රටේ මහත්තයා” නමින් හැඳින්වුණු නිලධාරියෙක් විය. ඔහුගේ ගම බිබිලය. “බිබිලේ රටේ මහත්තයා” සුද්දාගේ ආණ්ඩුවේ නිලධාරියකු වුවත්, ඔහු දැඩි අධිරාජ්‍ය විරෝධියකු විය. උග්‍ර අධිරාජ්‍ය විරෝධියකු වූ අනගාරික ධර්මපාලතුමාගේ හඬ ඔහුගේ කණට වැටී තිබිණි. ධර්මපාලතුමාගේ අධිරාජ්‍ය විරෝධී හඬ ඌවෙහිද පැතිරිණි. “බිබිලේ රටේ මහත්තයා” ඒවාට සවන් දුන්නේය. සේනක ගාල්ලේ ඉපිද, මාස දෙකකට පසු ගමට - බිබිලට - ගෙන ගියේය. බිබිලේ ජනතාව මේ පුංචි බිළිඳා සමග සම්බන්ධ වූ සැටි කියැවෙන්නේ අපූරු කතාවකිනි. සේනකගේ මවට ටික දිනකින් සේනකට දෙන්නට කිරි නොමැති විය. එහෙත් ඒ නිවස අවට සිටි දිළිඳු හේන් ගොවි පවුල්වල අම්මලා බිළිඳු සේනකට තමන්ගේ තනවලින් කිරි දෙන්නට පෝලිමේ ආහ. රටේ මහත්තයාගේ රදළ නෑදෑයින්ගේ විරෝධතා මැද, මේ දරුවාට වැඩ කරන පංතියේ අහිංසක හේන් ගොවි කාන්තාවන්ගේ කිරි ලැබිණ. සේනක මුල් මාස කිහිපයේ වැඩුණේ ඒ කිරිවලිනි. පසුකලෙක දී ඔහු මේ සිදුවීම ඉතාම සතුටින් හා ආඩම්බරයෙන් සිහිපත් කළේය. ඔහුට විශාල යුතුකමක් තිබිණ. “මම වැඩ කරන ජනතාවගේ කිරිවලින් වැඩුණු කෙනෙක්. වැඩ කරන ජනතාවට මම අනිවාර්යයෙන්ම සේවය කළ යුතුයි.” යන හැඟීම ඔහු තුළ ඇති වී තිබිණ.
ඔහු අධ්‍යාපනය ලැබුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේය. නිවාඩු කාලයේ ගමට එන සේනක, ගම පුරා ඇවිදිමින් ගමේ දිළිඳු ගොවි ජනතාව සමග කතාබහ කරන්නේය. මේ සිදුවීම් සිහිපත් කරන සේනකගේ මව මා සමග මෙබඳු කතාවක් කීවාය. ඒ, එවක සේනක කී කතාවකි. “අම්මේ... මේ මිනිස්සු අපිත් එක්ක හිනා වෙනවා. නමුත් මේ මිනිස්සුන්ගේ ගෙවල් මතක් වෙන කොට මට ඒ හිනාව පේන්නේ අඬනවා වගේ. මේ මිනිස්සුන්ට හොඳ ජීවිතයක්, හොඳ ගෙයක්, හොඳ කෑම, ලෙඩට බෙහෙත් ලැබෙන හොඳ කාලයක් ඒවිද?” පුතාගේ සිතේ තිබෙන කරුණාව දකින අම්මාගේ දෑස තෙමිණ.
සේනක ගමට ගිය විට, බිබිලේ බොධිරුක්ඛාරාම අධිපති ටැංගොඩ නායක හාමුදුරුවෝ මුණ ගැසෙයි. උන්වහන්සේ සේනකගේ පියාගේ හිතවතෙක් වූහ. ටැංගොඩ නායක හාමුදුරුවෝත් ධර්මපාලතුමාගේ ශ්‍රාවකයෙකි. දැඩි අධිරාජ්‍ය විරෝධියෙකි. ඒ ඉංග්‍රීසි යටත් විජිත යුගයයි. ටැංගොඩ නායක හාමුදුරුවෝ සේනකගේ සිතට සුද්දන්ට විරුද්ධ අදහස් ඇතුළු කළහ. 1818 වසරේ බිබිලේ ප්‍රදේශයට, වෙල්ලස්සට සුද්දා විසින් කරන ලද විනාශය උන් වහන්සේ සේනකට කියා දුන්හ. “අපි මේ රට නිදහස් කරගන්න ඕන. වෙල්ලස්ස විනාශ කරපු සුද්දො තාමත් මේ රට පාලනය කරනවා. මේ දරුවො ලොකු වෙලා අපේ රට නිදහස් කරගන්න ඕන...” උන්වහන්සේ සේනකගේ සිතට අධිරාජ්‍යවිරෝධී අදහස් ඇතුළු කළහ.
ත්‍රිත්ව විද්‍යාලයේ උගනින සමයේ සේනක තම යහලුවන්ගේ නිවෙස්වලට යයි. ඒ මිතුරන්ගේ තාත්තලා වතුහිමි ධනපතියෝ වූහ. ඒ ධනපතියන්ගේ නිවාසත්, ඔවුන්ගේ වතුවල වැඩ කරන කම්කරුවන්ගේ ලැයින් කාමරත් සේනකට පෙනිණ. මේ වතු කම්කරුවනුත්, බිබිලේ හේන් ගොවීනුත් අතර කිසිදු වෙනසක් නැතැයි සේනකට සිතිණ. වැඩ කරන පංතිය හැම තැනකදීම දැඩි පීඩනයකට හසුවී තිබෙන ආකාරය ඔහුට පෙනිණ.
සේනක පාසලේ විශ්ව විද්‍යාල ප්‍රවේශ පංතියේ උගනින කාලයේ සේනකගේ පියා මියගියේය. සිය දරුවන්ගේ ඉගෙනීමේ බර කරට ගන්නට සේනකගේ මවට සිදුවිය. අම්මා ගන්නා වෙහෙස සේනකට දැඩිව දැනිණ. “අම්මේ මට කෘෂිකර්ම නිලධාරී තනතුරක් ගන්න පුළුවන්. ඒ මුදලින් නංගිල මල්ලිලාට උගන්වමු. අම්මා ඒ බර කරට ගන්න එපා...”යි සේනක සිය මවට කීවේය. නමුත් සේනක අධ්‍යාපන කටයුතු අතහැර රැකියාවකට යනවාට මව කැමති නොවීය. මේ දුෂ්කරතා විඳ දරාගෙනම අධ්‍යාපනය ලැබූ සේනක, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළු විය. විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු වශයෙන් ඔහු ගත කෙළේ දුෂ්කර ජීවිතයකි. අම්මා එවන සුලු මුදලින් ඔහුට යැපෙන්නට සිදු විය. ඔහුට සිය හිතවතුන්ගෙන්ද සුලු ආධාර ලැබිණි.
මේ අතර අහම්බෙන් සේනකට “කොමියුනිස්ට් ප්‍රකාශනය” කියවන්නට ලැබිණි. වෛද්‍ය ශිෂ්‍යයකු වුවත් ඔහුගේ සිතෙහි, බිබිලේ හේන් ගොවීනුත් වතුකරයේ කම්කරුවනුත් ඒ අසීමිත පීඩාවන්ට ගොදුරු කෙරුණු මේ සමාජ ක්‍රමය පිළිබඳ දැඩි වෛරයක් හා නුරුස්නා ගතියක් විය. “කොමියුනිස්ට් ප්‍රකාශනය” කියවන විට ඔහු තුළ දැඩි පිබිදීමක් ඇති විය. “එහෙනම් මේ ලෝකයෙ තිබෙනවා, වැඩකරන ජනතාව සූරාකෑමෙන් මුදා ගැනීමේ දර්ශනයක්!” ඔහුට වැටහිණි. ඔහු ඊට පසු කාල් මාක්ස්ගේ “ප්‍රාග්ධනය” කියවීය. ඉන් පසු එම හැඟීම ඔහු තුළ වඩාත් තහවුරු විය. ඔහු දිගින් දිගටම මාක්ස්වාදය හදාරන්නට පටන්ගත්තේය. වැඩකරන ජනතාව සූරාකෑමෙන් මුදාගත හැකි දර්ශනය, වැඩපිළිවෙළ මාක්ස්වාදය බව වටහාගත් ඔහු ඒ ගැන දිගින් දිගටම අධ්‍යයනය කළේය. සේනක උත්තම මානව ප්‍රේමියෙක් වූයේ ඔහු මාක්ස්වාදියෙක් වුණු නිසාමය. සිය පියාගෙන් හා ටැංගොඩ නායක හාමුදුරුවන්ගෙන් ලැබුණු අධිරාජ්‍යවිරෝධී හැඟීමත්, බිබිලේ ගොවි ජනතාව ඇසුරෙන් ලබාගත් ජන ජීවිතය පිළිබඳ අවබෝධයත් කාල් මාක්ස්, එංගල්ස් හා ලෙනින් කියැවීමෙන් දේශපාලනය හා සමාජය පිළිබඳව ලබාගත් ඥානයත් නිසා සේනක බිබිලේ මේ අයුරින් ගොඩනැඟිණ. මේ අසාධාරණ සමාජය විනාශ කර අලුත් සමාජයක් ගොඩනඟන්නට විප්ලවයක් අවශ්‍ය යැයි ඔහු කීවේය. පසු කලෙක ඔහු කොළඹ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරයකු වූවාට පසුව වෛද්‍ය සිසුන්ගේ දේශනවලට අමතරව, තෝරාගත් වෛද්‍ය ශිෂ්‍යයින්ට මාක්ස්වාදය උගැන්වීය.
1954 වසරේ කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ දෙපාර්තමේන්තුව ඇරඹිණි. මහාචාර්ය සේනක බිබිලේ එහි ප්‍රධානියා ලෙස පත් කෙරිණ. එතැන් පටන් ඔහු ඖෂධ සමාගම්වලින් ජනතාව ගසාකෑමට එරෙහිව විසඳුම් සොයන්නට පටන්ගත්තේය. 1956 බණ්ඩාරනායක මහතා අගමැති ධුරයට පත් වීමෙන් පසු ජනතාවාදී ඖෂධ ප්‍රතිපත්තියක් රටට අවශ්‍යය යන මතය මතුව ආවේය. එම ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරිය වූ විමලා විජයවර්ධන, සේනක බිබිලේව කැඳවූවාය. “ඔබ ඖෂධ ප්‍රතිපත්තියක් ගැන කතා කරන කෙනෙක්. දැන් ඒ සඳහා අවස්ථාව උදා වී තිබෙනවා. පුළුවන්නම් යෝජනා ඉදිරිපත් කරන්න.” සෞඛ්‍ය ඇමතිවරිය කීවාය. සේනක සිය යෝජනා ඉදිරිපත් කළේය. නමුත් එම යෝජනා ක්‍රියාත්මක කිරීමේ ශක්තියක් සෞඛ්‍ය ඇමතිවරියට නොවීය. 1960 වසරේදී සෞඛ්‍ය ඇමති බදි උද්දීන් මොහොමඩ් මහතාද බිබිලේට කතා කෙළේය. “ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න දැන් අවස්ථාව තිබෙනවා. පුළුවන්ද කියලා බලන්න...” ඔහු සේනකට කීවේය. සේනක යළිත් යෝජනා ඉදිරිපත් කෙළේය. නමුත් එම යෝජනා ඉදිරියේ එම සෞඛ්‍ය ඇමතිවරයාද සැලුණේය. බහුජාතික ඖෂධ සමාගම් සමග අරගලය ගෙනයාමට මඟක් නොවීය. ඒ නිසා එය අඩපණ විය. නමුත් ඉතා සුලු සේවයක් එමගින් සිදුකෙරිණ.
1970දී සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ නායකත්වයෙන් යුතුව සමගි පෙරමුණ බලයට පත්විය. ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ගොඩනඟන්නට දැන් අවස්ථාව පැමිණ තිබෙන බවට විශ්වාසයක් ඇති විණි. බණ්ඩාරනායක අගමැතිවරිය මහාචාර්ය සේනක බිබිලේ සහ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ කැඳවා ඖෂධ ප්‍රතිපත්තියක් ගොඩනඟන්නට යෝජනා ඉදිරිපත් කරන ලෙස කීවාය. ඔවුහු යෝජනා 5ක් ඉදිරිපත් කළහ.
1. ලංකාවට අනවශ්‍ය ඖෂධ ගෙන්වීම නවත්වන්න.
2. රාජ්‍ය ආයතනවලත්, පෞද්ගලික අංශයේත් ඖෂධවලට ඖෂධීය නාමය හෙවත් නිල නාමය පමණක් යොදන්න. වෙළෙඳ නාමය ඉවත් කරන්න.
3. මේ රටට ඖෂධ ගෙන්වීම හා රට තුළ ඖෂධ බෙදාහැරීම රජයේ ආයතනයකට පවරන්න.
4. ලංකාවේ ඖෂධ නිපදවීම, තත්ත්ව පාලන අංශය සහ පර්යේෂණ අංශ දියුණු කරන්න.
5. ඖෂධ පිළිබඳ විද්‍යාත්මක කරුණු විශ්වාස කටයුතු ලෙස වෛද්‍යවරුන්ටත්, ඖෂධ සම්බන්ධ සේවාවන්හි යෙදෙන අයටත්, මහජනයාටත් ලබා දී ඔවුන්ගේ දැනුම පුළුල් කරන්න.
මෙම යෝජනා 5 ආණ්ඩුව පිළිගත් අතර, ඒවාට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිණ. ඒ අනුව 1971 සැප්තැම්බර් 20 වන දින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පිහිටුවන ලදී. මහාචාර්ය බිබිලේ එහි සභාපතිවරයා ලෙස පත් කෙරිණ. 1971 - 1976 අතර කාලයේදී එම යෝජනා සාර්ථක ලෙස ක්‍රියාත්මක කළ හැකි විය.
ඖෂධ සංස්ථාව පිහිටුවීමත් සමග, සේනක බිබිලේ නමැති මනුෂ්‍යයා තුළ වූ සැබෑ මනුෂ්‍යකම් වඩාත් ඉස්මතු විය. එම සංස්ථාව බිහි කිරීමට මහාචාර්ය බිබිලේට හවුල් වෙමින් ඔහුගේ සෙවණැල්ල මෙන් සිටි සංස්ථාවේ පළමුවන සේවකයා වූයේ උපසේන ජයරත්න මහතාය. “අපේ සංස්ථාවට අවශ්‍ය කාර්යාලය, ඒවාට අවශ්‍ය උපකරණ, වැටුප් ක්‍රම ජයරත්න සහෝදරයා සකස් කරන්න...” මහාචාර්ය බිබිලේ, උපසේන ජයරත්න මහතාට භාර දුන්නේය. ඒ අනුව අනෙකුත් සංස්ථාවල වැටුප් පිළිබඳව සොයා බලා ඒ අනුව ඖෂධ සංස්ථාවේද සාමාන්‍ය සුලු සේවකයින්ගේ පටන් ඉහළ නිලධාරීන් දක්වා වැටුප් සකස් කොට අවසානයේ සභාපතිවරයාගේ වැටුපද ජයරත්න මහතා සකස් කළේය. ඉන්පසු මහාචාර්ය බිබිලේ වෙත ගිය ඔහු වැටුප් සකස් කළ බවත්, සභාපතිතුමාගේ වැටුපත් සකස් කළ බවත් දන්වා සිටියේය. මහාචාර්ය බිබිලේ සභාපතිවරයා වශයෙන් තමන්ගේ වැටුපට අදාළ සංඛ්‍යාව දුටුවේය. “මට වෛද්‍ය පීඨයෙන් වැටුපක් ලැබෙනවා. මට ඒක ජීවත් වෙන්නට හොඳටම ප්‍රමාණවත්. ඒනිසා මට සංස්ථාවෙන් වැටුප් අවශ්‍ය නැහැ.”යි මහාචාර්ය බිබිලේ කීවේය. “මේක වෛද්‍ය පීඨයෙන් ලැබෙන වැටුප වගේ දෙගුණයක්. ඔබතුමා මේක පිළිගන්න.” උපසේන ජයරත්න මහතා නැවත කීය. එහෙත් මහාචාර්ය බිබිලේ එය බැහැර කළේය. ඒ මෙසේ කියමිනි. “මට අවශ්‍ය පටි සපත්තු කුට්ටමක්, කමීසයක්, කලිසමක් එකක් දෙකක් විතරයි. මම මහනුවර ගෙදර ඉඳල කොළඹට එන්නේ කෝචිචියෙන්. ඊට පස්සේ එතැන ඉඳලා සංස්ථාවට නිල රථයෙන් එන්නේ පොඩි දුරක්. ඉතිං මේ නිසා මට මෙතරම් වැටුපක් අවශ්‍ය නැහැ. නමුත් අනෙක් සේවකයින් සියලු දෙනාටම හොඳ වැටුපක් ලැබිය යුතුයි.” මහාචාර්ය බිබිලේ ඖෂධ සංස්ථාවේ සභාපති ධුරය වසර 6ක් තිස්සේ දැරුවේ සතයක්වත් ලබාගන්නේ නැතිවය.
එමෙන්ම තවත් බොහෝ සිදුවීම් මහාචාර්ය බිබිලේ සම්බන්ධව ඖෂධ සංස්ථාවෙන් අසන්නට ලැබිණි. සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට වෙන් කරන කෑම් බීම් ගැන ඔහු මෙසේ කියා තිබිණ. “අපි තවම දුප්පත් රටක්. අපේ සංස්ථාවත් දුප්පත්. අපි පෝසත් වුණාම හොඳට කමු. බොමු. ඒ නිසා වඩේ සහ ප්ලේන් ටී විතරයි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ගේන්නට ඕන.” එම නියෝගය ඔහු සිටි වසර 6 තුළම ක්‍රියාත්මක විය. එමෙන්ම ඔහු සිය මේසය මත තිබෙන කාර්යාල කාර්ය සහායකවරයා කැඳවන සීනුව හඬවන්නට කැමති නොවීය. “මං මෙතැන සීනුව ගහනව. අර කොහේද ඉන්න මනුස්සයෙක් දුවගෙන එනව මෙතෙන්ට. මේක හරිම නරකයි. එක මිනිහෙක් තවත් මිනිහෙක්ව තමන්ගේ දෙපා ළඟට ගෙන්වා ගන්නේ ඇයි? මට පුළුවන්කම තිබෙනවා. මම ටයිප් රයිටරය ගෙනැවිත් මගේ මේසය උඩ තියාගෙන ටයිප් කරනවා...” මේ සිදුවීම් සියල්ලෙන්ම පෙනෙන්නේ මහාචාර්ය බිබිලේ තුළ වූ උතුම් මානව භක්තියය. ඒ මානව භක්තිය ඖෂධ ප්‍රතිපත්තියටද මිශ්‍ර වී තිබිණ. ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට මහාචාර්ය බිබිලේට පරිපාලනමය වශයෙන් හැකි වූයේ ඖෂධ සංස්ථාවේ සේවකයින් සියලු දෙනාම “මේ අපේ සංස්ථාව” යන හැඟීමෙන් වැඩ කළ නිසාය. ඔහු සමාජවාදී රාජ්‍යයක ආකෘතියක්, ඖෂධ සංස්ථාව තුළ ගොඩ නංවා තිබිණ.
නමුත් 1975 අග වන විට රටේ තත්ත්වය වෙනස් වන්නට විය. ඒ වන විට ඇමරිකානු ඖෂධ සමාගම් මෙරට ආණ්ඩුවට දැඩි ලෙස බලපෑම් කරන්නට පටන්ගෙන තිබිණි. ඊට පෙරත් බලපෑම් කෙරුණු අතර, 1975 වන විට එම බලපෑම් වර්ධනය වී තිබිණි. ලංකාවේ “ඇත්ත”, “ජනදින”, “ජනවේගය” හා “ලේක්හවුස්” පුවත්පත් හැර, අනෙකුත් සියලුම පුවත්පත් මහාචාර්ය බිබිලේටත් ඔහුගේ ඖෂධ ප්‍රතිපත්තියටත් එරෙහිව මහා කුමන්ත්‍රණයක් දියත් කළහ. රට තුළ ඖෂධ හිඟයක් ඇති බව මවා පාමින් ජනතාව තුළ ඖෂධ සංස්ථාව කෙරෙහි කළකිරීමක් ඇති කළහ. 1975 වසරේදී රට පුරා කොළරා වසංගතය උත්සන්න විය. ඒ වන විට ලංකාවේ ඖෂධ නිෂ්පාදනය කරන්නට පටන්ගෙන තිබූ “ෆයිසර්” නමැති බහුජාතික ඖෂධ නිෂ්පාදන සමාගමෙන් කොළරා රෝගයට අවශ්‍ය ඖෂධ තමන් ගෙන්වා ඇති බවත්, ඒවා කරල්වලට දමා දෙන ලෙසත් රජය ඉල්ලීමක් කළේය. නමුත් ඒ සමාගම ඒ ඉල්ලීම ඉතාම අකාරුණික ලෙස ප්‍රතික්ෂේප කළේය. ඉතා දරුණු ලෙස රට පුරා කොළරාව පැතිරෙන්නට පටන් ගෙන තිබුණි. ඒ තත්ත්වය පිළිබඳ කෙතරම් පැහැදිලි කළ නමුත් “ෆයිසර්” සමාගමේ කර්මාන්තශාලාවෙන් වැඩක් ගන්නට මහාචාර්ය බිබිලේට හැකි නොවීය. මේ අවස්ථාවේදී ඒ කර්මාන්තශාලාව රජයට පවරා ගන්නා ලෙස ඉල්ලමින් කම්කරුවෝ වැඩ වර්ජනයක් දියත් කළහ. අගමැතිවරිය මහාචාර්ය බිබිලේව කැඳවීය. ඒ වන විට ඇමරිකන් තානාපතිවරියත් අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණ සිටියාය. “ෆයිසර්” සමාගමට කිසිම බලපෑමක් නොකරන ලෙස ඇය මහාචාර්ය බිබිලේට දැඩිව කියා සිටියාය. “සේනක එදා තරම් දුක්මුසුව මුහුණ අඳුරු කරගෙන සිටි දවසක් තවත් නැහැ...!”යි ලීලා බිබිලේ මහත්මිය මා සමග කීවාය.
ඖෂධ සංස්ථාවේ සිටීමෙන් ඵලක් නොවන තත්ත්වයකට වැඩ කටයුතු සිද්ධ වෙමින් පැවතිණි. එහෙත් මහාචාර්ය බිබිලේ තවත් වසරක් ඉවසාගෙන වැඩ කළේය. 1976 වසරේදී නොබැඳි ජාතීන්ගේ සමුළුව පැවැත්වුණේ ලංකාවේදීය. ඒ අවස්ථාවේ, ලංකාවේ සාර්ථකව ක්‍රියාත්මක වන ඖෂධ ප්‍රතිපත්තිය ගැන දැනගන්නට නොබැඳි රටවලට අවශ්‍ය විය. මහාචාර්ය බිබිලේ සමුළුවට ගොස් ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳව පැහැදිලි කළේය. ඔවුහු මහත් සතුටට පත් වූහ. මෙරටේ සිටි පාලකයින් එදා බහුජාතික ඖෂධ සමාගම්වලට බියෙන් මහාචාර්ය බිබිලේට ධෛර්යය සැපයූවේ නැතත්, නොබැඳි රටවලට අයත් අනෙක් රටවල නායකයෝ මහාචාර්ය බිබිලේව අගය කළහ. “ඔබට ලංකාවේ ඉඳගෙන වැඩ කරන්න බැරි බව පේනවා. ඔබ අපේ රටට එන්න...” එම රටවල නායකයෝ මහාචාර්ය බිබිලේට ආරාධනා කළහ. අවසානයේ මහාචාර්ය බිබිලේ ලංකාවෙන් පිටව ලෝකයේ සෙසු රටවල ජනතාව වෙත තම සේවය ලබා දෙන්නට තීරණය කළේය. ඔහුට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඖෂධ ප්‍රතිපත්ති සම්පාදක තනතුර ලැබිණි. 1977 මාර්තු 31 වන දා ඔහු සිය බිරිඳ සමග ලංකාවෙන් පිටත්ව ගියේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ වී වැඩ කරන්නට ගිය විට ඔහුට ප්‍රබල බහුජාතික ඖෂධ සමාගම්වල තර්ජන වැඩි වැඩියෙන් එන්නට පටන් ගත්තේය. එහෙත් ඔහු ඒවායින් නොසැලිණ. කැරිබියානු කලාපයේ රටවල් 13ක් තෝරාගෙන ඒ රටවල ඖෂධ ප්‍රතිපත්ති සකස් කරන්නට මහාචාර්ය බිබිලේට භාර දෙන ලදී. ඔහු සකස් කළ අවසන් වාර්තාව ඉදිරිපත් කරන්නට නියමිතව තිබුණේ 1977 සැප්තැම්බර් 30 වන දාය. එහෙත් සැප්තැම්බර් 29 වන දා ඔහු අබිරහස් මරණයකට ගොදුරු විය.
මහාචාර්ය සේනක බිබිලේ අද අප අතර නැතත්, ඔහුගේ ඖෂධ ප්‍රතිපත්තිය ලෝකය පුරා ජනතාවගේ ඉල්ලීමක් වී තිබේ. අපේ රට තුළ ඒ ප්‍රතිපත්ති වැලලීමට ගන්නා වෑයම ඉඳහිට සාර්ථක වුවත් ඒ ප්‍රතිපත්ති මුළුමනින්ම යටපත් කර දමන්නට නොහැකිය. ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ සේනක බිබිලේගේ හඬ ලොව සෑම රටකම වාගේ පැතිරිණි. ධනේශ්වර රටවල ආණ්ඩු පවා මහාචාර්ය බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තිය පිළිගෙන තිබේ. එංගලන්තයේ පුරවැසියන්ට වෛද්‍ය රක්ෂණය ගෙවනු ලබන්නේ ඖෂධීය නාමය සහිත ඖෂධ භාවිත කළහොත් පමණක්වීම ඊට එක් උදාහරණයකි. ඒ රටවල ජනතාවට ඖෂධ භාවිතයේදී සහන ලැබුනත් ඒ රටවල ඖෂධ සමාගම් අපේ වැනි රටවල්වලදී ඉතා ම්ලේච්ඡ ලෙස ජනතාව ගසාකති.
මේ මහා ගසාකෑමට, රැවටිල්ලට අපගේ රෝගීන් ගොදුරු කරනු ලබන්නේ වෛද්‍යවරුන් විසිනි. ඔවුහු ඉහළ මිලක් සහිත වෙළෙඳ නාමයෙන් යුතු ඖෂධ රෝගීන්ට නිර්දේශ කරති. ඊට අඩු මිලක් යටතේ එම ඖෂධය මිල දී ගැනීම වළක්වති. ඒ නිසා වෛද්‍යවරුන් සැබෑ මනුෂ්‍යයින් බවට පත්වන තුරු මේ ඖෂධ ප්‍රතිපත්තිය නිවැරදිව ක්‍රියාත්මක කරන්නට ලැබෙන්නේ නැත. බහුජාතික ඖෂධ සමාගම් විසින් අපගේ වෛද්‍යවරුන්ට නොයෙකුත් තෑගි බෝග ලබාදෙමින්, විදේශ සංචාර ලබාදෙමින් ඔවුන් ජනතා ද්‍රෝහීන් බවට පත් කරනු ලැබ තිබේ. මේ තත්ත්වය තුළ ඖෂධ ප්‍රතිපත්තියක් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කළ නොහැකිය. එසේ නම් කළ යුතුව තිබෙන්නේ වෙළෙඳ නාමය නොව, ඖෂධීය නාමය පමණක් ඇතිව ඖෂධ විකුණන ලෙසට දැඩි නීතියක් පැනවීමය. මහාචාර්ය බිබිලේ 1971 ඉදිරිපත් කළ වාර්තාවේ මේ බව සඳහන් වේ. වෙළෙඳ නාමය පමණක් ඇති ඖෂධ විකිණීම තහනම් කළ යුතුයි. ඖෂධීය නාමය ඇති ඖෂධ පමණක් ලංකාවේ විකිණිය යුතුයි. එහෙත් ඒ සඳහා බහුජාතික ඖෂධ සමාගම් ඉදිරියේ නොනැවෙන කොන්ද කෙළින් තබාගත් රජයක් අවශ්‍යය. එබඳු රජයක් එනතුරු මෙම ඖෂධ ප්‍රතිපත්තිය නිවැරදිව ක්‍රියාත්මක කළ නොහැකිය.
ඖෂධ සමාගම් විසින් නටවනු ලබන නිලධාරීන් හඳුනාගෙන ඔවුන් පළවා හරින්නට සමත් ශක්තිමත් නායකත්වයක් රටට අවශ්‍යය. සේනක බිබිලේගේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවිය හැක්කේ එබඳු රජයක් යටතේ පමණි. ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවන ඖෂධ, ඖෂධ සංස්ථාව මගින්ම බෙදාහැරීමේ ක්‍රමයක් කලින් පැවතිණ. එහෙත් අද එය සිදු කෙරෙන්නේ ඖෂධ සංස්ථාවේ නියෝජිතයින් මගිනි. මේ නිසා ඖෂධවල මිල වැඩි වේ. ඖෂධ මිල අඩු කිරීමට නම් පෙර පරිදිම, ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවන ඖෂධ, ඖෂධ සංස්ථාව මගින්ම බෙදා හැරිය යුතුය. මහාචාර්ය බිබිලේට ගරු කළ හැක්කේ එබඳු කටයුතුවලින් පමණි. එසේ නොමැතිව අප කෙතරම් ඔහු ගැන කතා කළත්, උපහාර උත්සව පැවැත්වූවත් එවායින් ඵලක් නොවන්නේය.
ඒ ශ්‍රේෂ්ඨ මානව හිතවාදියාට, ඔහු ඉදිරිපත් කළ ඒ ජනතාවාදී ඖෂධ ප්‍රතිපත්තියට අපි හිස නවා ගරු කරමු.
සටහන -
ප්‍රභාත් චින්තක මීගොඩගේ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුරෝපයේ හමුදාමය සූදානම හමුවේ රුසියාවෙන් අනතුරු ඇඟවීමක්.. ඇමෙරිකාව සහ යුක්‍රේනය සම්බන්ධයෙන් ස්ථාවරයත් හෙළි කරයි.. - එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී රුසියානු විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රබල ප්‍රකාශයක්
කතානායකට එරෙහිව විශ්වාසභංගයක්.. චෝදනා 46ක්..
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම නාමල්ගෙන් ප්‍රකාශයක් ලබා ගනී..
"කොපමණ සම්බාධක දැමුවත් රටේ ස්වෛරීභාවය පාවා දෙන්නේ නෑ" – කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාලෝස් ෆර්නැන්ඩස් ගෙන් අමෙරිකාවට එරෙහිව දැඩි ප්‍රකාශයක්
යුරෝපය සමඟ යුද්ධයක් රුසියාවට අවශ්‍ය නැහැ – පුටින්
බිනර පුර පසළොස්වක පොහොය අදයි..
තිලීපන්ගේ උපවාසය සහ සැමරුම් පිළිබඳ නැවතත් කතාබහක්: ඉතිහාසයේ සැබෑ තත්ත්වය සහ දේශපාලන භාවිතය පිළිබඳ ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝගෙන් අනාවරණයක්..
ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම යන්නේ එකම පාරේ.. ආණ්ඩුව තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්න ව්‍යවස්ථා සංශෝධන ගේනවා.. ඒකත් පැරණි ක්‍රමයම තමයි.. - උවිඳු විජේවීර
"සියලු අභියෝග මැද චීන-ශ්‍රී ලංකා සබඳතා තවත් ශක්තිමත් කරනවා" – චීන තානාපති වේ හුආශියැං
රුසියානුවන් පුටින් පාලනයට යළි රට භාරදුන්නේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් සුවිශේෂී අනාවරණයක්..
ක්‍රිෂ් නඩුව ගැන නාමල්ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ගන්න අල්ලස් කොමිසමට අධිකරණයෙන් අවසර දෙයි..
''අමෙරිකාවට දණ නමන්නේ නෑ''- ජගත් මහා මණ්ඩලයේ දී ඉරාන ජනපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්..
අමෙරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටනයට..
අභියෝග හමුවේ නොසැලුණු චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයට නව ජවයක්.. - 77 වන ජාතික දිනයේදී චීන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
22 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසු ජනාධිපතිගේ පොරොන්දුවලට සහ ආණ්ඩුවට අත් වන ඉරණම ගැන අනාවරණයක්..
22 ගැන විවාදය අද..