නව චීනය සහ ශ්‍රී ලංකා - චීන මිත්‍රත්වයේ විවිධ ස්වරූප..
ඊයේ (2026 සැප්තැම්බර් 23 වැනි දා), ශ්‍රී ලංකා - චීන සංගමය (Sri Lanka China Society) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී සමරු උත්සවයක් පැවැත්තුවා. චීන මහජන ජනරජය ස්ථාපනය කරලා අවුරුදු 77 ක් සම්පූර්ණවීමත් ශ්‍රී ලංකා - චීන සංගමය ආරම්භ කරලා අවුරුදු 45 ක් සම්පූර්ණවීමත් සැමැරීම වෙනුවෙන් තමයි ඒ උත්සවය පැවැත්වුණේ. ඒ උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් මම දක්වපු අදහස් පහළින් පළ කරනවා).
=== === === === ===
ශ්‍රී ලංකාව සහ චීනය කියන්නේ ලෝකයේ ඉතාමත් දීර්ඝ කාලයක් අඛණ්ඩව තමන්ගේ සංස්කෘතික අනන්‍යතාව රැකගත්ත රටවල් දෙකක්. අපේ මේ රටවල් දෙක ඉතිහාසය මුළුල්ලේ ම ඉතාමත් කිට්ටු සංස්කෘතික, ආර්ථික සහ දේශපාලන සම්බන්ධකම් පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. 1949 ඔක්තෝබර් 1 වැනි දා, චීන මහජන ජනරජයේ මහජන ආණ්ඩුව පිහිටුවන ලද බව ප්‍රකාශයට පත් කිරීමෙන් පස්සේ අපේ රටවල් දෙක අතර සම්බන්ධකම් අලුත් මානයකට වර්ධනය වෙලත් තියෙනවා. “නව චීනය” සහ ශ්‍රී ලංකාව ගොඩ නගාගෙන තියෙන මිත්‍රත්වය තනි, පැතැලි ඒකාකාරි එකක් නෙවෙයි. අපේ රාජ්‍යයන් දෙක අතර මිත්‍රත්වය විවිධාකාරයි. ඉතින් මම මේ කතාවෙන් ඒ විවිධත්වය ගැන කෙටි අදහස් දැක්වීමක් ඉදිරිපත් කරන්න කැමැතියි.
මම මුලින් ම මේ විවිධත්වය ගැන සරල, පැහැදිළි පින්තූරයක් ඉදිරිපත් කරන්නම්.
චීනය කියන්නේ රතු පාට රටක්. මාක්ස්වාදී - ලෙනින්වාදී මූලධර්ම උඩත්, මාඕ ත්ස-තුං චින්තනය උඩත් බිහි කරපු රටක්. අවුරුදු පන්දාහක් තරම් දීර්ඝ ඉතිහාසය සහ සාරවත් සංස්කෘතිය හින්දා චීනයේ රතු පාට තුළ අපිට හිතාගන්න බැරි ගැඹුරකුත් තියෙනවා. වර්තමානයේ දී, ශී චින්-පිං චින්තනය විසින් මේ රතු පාට තව තවත් විචිත්‍ර කරමින් තියෙනවා.
ශ්‍රී ලංකාවේ පාට මොකක්ද කියන එක ශ්‍රී ලාංකිකයෝ වෙන අපිටවත් තේරුම්ගන්න අමාරුයි. අපිටත් ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඒ වගේ ම, අපිත් ඉතාමත් සාරවත් සංස්කෘතියකට උරුමකම් කියනවා. ඒත් ඉවරයක් නැති ආක්‍රමණවලට ගොදුරුවීම සහ අවුරුදු පන්සීයක යටත්විජිත බලපෑම හින්දා අපේ පාට පුදුමාකාර විදිහට විකෘතිවෙලා. අපි අපේ සංස්කෘතික ඇගැයීම් පිළිගන්න අතර ම බටහිර අභාෂයෙන් ලැබිච්ච සංස්කෘතික ඇගැයීම් සමුදායත් බදාගෙන ඉන්නවා. එක විට මෙහෙයුම් පද්ධති දෙකක් වැඩ කරන පරිගණකයක් වගේ අපි මහා අවුලක ජීවත්වෙනවා. ඉතින් අපි අතර සංස්කෘතික භේදභින්නකම් පවා ඉහවහා ගිහිල්ලා. මෙහෙම බෙදීම් තියෙන්නේ වාර්ගික වෙනස්කම් ඇතුළේ විතරක් නෙවෙයි. එක ම වර්ගයක් නියෝජනය කරන සිංහල මිනිස්සු අතරත් විවිධාකාර බෙදීම් තියෙනවා. ඉතින් මේ හින්දා ම, අපිට දේශපාලනික වශයෙන් නිරවුල් එක පෙරමුණකට ගොනුවෙන්නත් බැරිවෙලා තියෙනවා.
දැන් අපිට මේ සමානකම් සහ වෙනස්කම් පසුබිමේ තියාගෙන ශ්‍රී ලංකාව සහ නව චීනය අතර සම්බන්ධකම් ගැන හිතන්න පුළුවන්.
අපේ සම්බන්ධය රතු ට රටක් තවත් රතු පාට රටක් එක්ක පවත්වන ගනුදෙනුවක් නෙවෙයි. මේක හොඳින් සංවිධාන ගතවෙච්ච, ඉතාමත් ශක්තිමත් රටක් අසංවිධානාත්මක, ඉතාමත් දුර්වල රටක් එක්ක කරන ගනුදෙනුවක්. ඒ වගේ ම, මේක ඉතාමත් හොඳින් තනි පෙරමුණකට ගොනුවෙච්ච රටක් බෙදිලා භේදභින්න වෙලා ඉන්න රටක් එක්ක කරන ගනුදෙනුවක්.
ගතවෙලා තියෙන අවුරුදු 80 කට කිට්ටු කාලය තුළ, අපේ රටවල් දෙක අතර මේ ආකාරයේ ඉතාමත් බරපතල වෙනස්කම් ඇතිවුනත් අපි අතර මිත්‍රත්වය විකෘතිවෙලා නෑ. අපි කොළ පාට වුනත්, නිල් පාට වුනත්, රතු පාට වුනත් චීනය කිසිම වෙනසක් නැතුව අපිත් එක්ක එක විදිහට විවිධ පෙරමුණු හරහා ගනුදෙනු කරලා තියෙනවා.
අපිත් අපේ පාට වෙනස්වුණා කියලා චීනය එක්ක කරන ගනුදෙනුව නවත්තලා, නො සළකා හැරලා නෑ. අපි මුල ඉඳලා ම - නව චීනය බිහිවෙච්ච දවස්වල ඉඳලා ම එක විදිහට චීනයත් එක්ක ගනුදෙනු කරලා තියෙනවා.
නව චීනය (මහජන චීනය) නිල විදිහට පිහිටුවපු බව ප්‍රකාශයට පත් කළේ 1949 ඔක්තෝබර් 1 වැනි දා කියලා අපි හැමෝම දන්නවා. මේ දැවැන්ත ඓතිහාසික සිදුවීමට දවස් 100 ක් සම්පූර්ණවෙන්න කලින් (හරියට ම කියනවා නම්, දවස් 98 කින්) - ඒ කියන්නේ, 1950 ජනවාරි 6 වැනි දා, ඩී. එස්. සේනානායක අගමැතිතුමාගේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විසින් මහජන චීනය පිළිගත්තා. සෝල්බරි ව්‍යවස්ථාවෙන් ලබාදීපු වගකීම් සහගත ඩොමීනියන් නිදහස යටතේ අපේ විදේශ ගනුදෙනු පවා සීමා කරලයි තිබුණේ. ඒත් ඒ සීමා මැද්දේ වුනත්, ඩී. එස්. සේනානායක අගමැතිතුමාගේ ආණ්ඩුව මහජන චීනය පිළිගත්තා. ඉතින් මේක අපි හැම දෙනෙක් ම පක්‍ෂ, පාට භේදයක් නැතුව අගය කරන්න ඕන ඉතාමත් වැදගත් තීරණයක්.
හෙට අනිද්දා - ඔක්තෝබර් 1 වැනි දා, චීන මහජන ජනරජය පිහිටුවලා අවුරුදු 77 ක් සම්පූර්ණ වීම සමරනවා. ඒ වගේ ම, තව මාස තුනකට පස්සේ - 2027 ජනවාරි 6 වැනි දා අපිට පුළුවන් ශ්‍රී ලංකාව විසින් මහජන චීනය පිළිගැනීමේ 77 වැනි සංවත්සරය සමරන්න.
ඊ ළඟට, මම ඔබේ අවධානය යොමු කරන්නේ අපි හැමෝම දන්න රබර් - සහල් ගිවිසුම පිළිබඳ කතාවට. 1952 දෙසැම්බර් 18 වැනි දා, ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ ආණ්ඩුව චීනයත් එක්ක රබර් - සහල් ගිවිසුම අත්සන් කළා. ඒ වෙද්දි, කොරියානු යුද්ධය ඉතාමත් තදින් ඇවිලෙමින් තිබුණු හින්දා ඇමෙරිකාව විසින් මහජන චීනයට විරුද්ධව වෙළෙඳ සම්බාධකත් පනවලා තිබුණා. මම ඒ ගැනත් පොඩි විස්තරයක් ඉදිරිපත් කරන්නම්.
1950 දෙසැම්බර් 4 වැනි දා, ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් චීනයත් එක්ක කරපු සෘජු වෙළෙඳ කටයුතු සියල්ල ම අත්හිටෙව්වා. 1950 දෙසැම්බර් 16 වැනි දා, ඇමෙරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව (U.S. Treasury Department) විසින් “Trading with the Enemy Act” කියන නීතිය හඳුන්වලා දීලා චීනයේ වත්කම් Freeze කිරීමත් මූල්‍ය සම්බාධක පැනවීමත් සිද්ද කළා. මේ බලහත්කාරකම එතැනින් අවසන් වුණේ නෑ. ඇමෙරිකාවේ බලපෑම මත, 1951 මැයි 18 වැනි දා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය විසින් අංක 500 දරන යෝජනාව සම්මත කරගෙන චීනයට විරුද්ධව ලෝක මට්ටමේ වෙළෙඳ සම්බාධකත් පැනෙව්වා. ඒ දවස්වල, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙක් නෙවෙයි. 1955 දෙසැම්බර් 14 වැනි දා තමයි ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගත්තේ.
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල්වල විරෝධයත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පනවපු සීමාත් නො සළකා ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ ආණ්ඩුව 1952 දෙසැම්බර් 18 වැනි දා මහජන චීනයත් එක්ක රබර් - සහල් ගිවිසුම අත්සන් කළා. මේ ගිවිසුම ශ්‍රී ලංකා - චීන සම්බන්ධතාවල ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක්. ලබන අවුරුද්දේ - 2027 අවුරුද්දේ, අපි මේ ඓතිහාසික සිදුවීමේ 75 වැනි සංවත්සරය සමරනවා.
1955 අප්‍රේල් 18 වැනි දා ඉඳලා 24 වැනි දා දක්වා ඉන්දුනීසියාවේ බැන්ඩුන් නුවර පවත්වපු ආසියා-අප්‍රිකා සම්මේලනය (Asian–African Conference, Bandung Conference) විසිනුත් ශ්‍රී ලංකා - චීන සම්බන්ධතාවේ තවත් පියවරක් සනිටුහන් කළා. ඒ සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජෝන් කොතලාවල අගමැතිතුමා සහභාගී වුණා. සීතල යුද්ධ කාලයේ මුල ම, කොරියානු යුද්ධය සටන් විරාම ගිවිසුමකින් අවසන් කරලා අවුරුදු 2 ක් සම්පූර්ණ වෙන්නත් කලින් ශ්‍රී ලංකාව බැන්ඩුන් සම්මේලනයේ දී චීනය සමඟ එක ම වේදිකාවක හිටගත්තා. ඒ එකතුව මාර්ගයෙන් අපි නොබැඳි සංවිධානය හදන වැඩේට මුල පිරුවා.
1957 පෙබරවාරි 7 වැනි දා, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුව විසින් මහජන චීනය සමඟ විධිමත් රාජතාන්ත්‍රික සබඳතා ආරම්භ කරපු බව අපි හැමෝම දන්නවා. ඒ ඓතිහාසික අවස්ථාවට චීන අගමැති චෝ අන්-ලැයි මහතාත් සහභාගී වුණා. ඒ ආරම්භයත් එක්ක ම, ශ්‍රී ලංකා - චීන සබඳතා තවත් ශක්තිමත් සහ ගැඹුරු මානයකට පිවිසුණා.
රාජතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් පස්සේ ශ්‍රී ලංකාවේ බලයට ආපු හැම ආණ්ඩුවක් ම මහජන චීනයත් එක්ක ඉතාමත් සමීප සම්බන්ධකම් පවත්වපු බව අපි හැමෝම දන්නවා. ඒ අතරින්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන කාල පරිච්ඡේද තුළ ගොඩනැගිච්ච සම්බන්ධකම් විශේෂයෙන් කැපී පේනවා. 1964 පෙබරවාරි 26 ඉඳලා 29 දක්වා කාලයේ, චෝ අන්-ලැයි අගමැතිතුමා 2 වැනි වතාවටත් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවුණා.
1963 ජනවාරි 8 – 15 කාලයේ දී, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය චීනයේ සංචාරය කළා. ඒ සංචාරය අතරතුර, ඇය ඉන්දු - චීන ගැටුම අවසන් කිරීමට අදාළ යෝජනාත් ඉදිරිපත් කළා. 1972 දී, ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කිරීමෙන් මාසයකට පස්සේ - 1972 ජුනි 24 වැනි දා ඉඳලා ජුලි 5 වැනි දා දක්වා කාලයේ දී, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 2 වැනි වතාවටත් චීනයේ සංචාරය කළා. ඒ අවස්ථාවේ දී, ඇයට ලැබුණු පිළිගැනීම ජාත්‍යන්තර මට්ටමින් විශාල අවධානයක් ලැබිච්ච එකක්.
1970 - 1977 කාලය තුළ, චීනය ලංකාවට විවිධ ආර්ථික හා යටිතල පහසුකම් ආධාර ලබාදුන්නා. ඒ කාලයේ දී, දෙ රට අතර දේශපාලනික විශ්වාසය තවදුරටත් තහවුරු වුණා. චීන විසින් අද අපි මේ රැස්වීම පවත්වන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදි කර අපිට ලබාදුන්නේත් ඒ කාලයේ බව අපි දන්නවා.
1977 දී බලයට ආපු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආණ්ඩුව බටහිරට බර එකක්. ඒ කාලයේ දී, අපි ඉන්දියාව එක්ක සම්බන්ධකම් පළුදු කරගත්තා කියලා චෝදනාවක් තියෙනවා. ඒත් එතුමාගේ කාලයේ දී, අපි චීනයත් එක්ක සම්බන්ධකම් පළුදු කරගත්තා කියලා චෝදනාවක් නෑ. ඇත්තෙන්ම, ඒ කාලයේ දී ශ්‍රී ලංකා - චීන සම්බන්ධතා තව තවත් ශක්තිමත් වුණා. අද අපි මේ 45 වැනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා - චීන සමාජය ආරම්භ කළෙත් එතුමාගේ පාලන කාලයේ දී වීම විශේෂ කාරණයක්. 1984 මැයි 20 වැනි දා ඉඳලා 25 වැනි දා දක්වා කාලයේ දී, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා චීනයේ සංචාරය කළා.
1979 දී සහ 1988 දී, ආර්. ප්‍රේමදාස අගමැතිතුමා, 1996 දී සහ 2005 දී, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය, 2007, 2008, 2010, 2011, 2013 සහ 2014 අවුරුදුවල මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා, 2015 දී සහ 2019 දී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා, 2025 දී අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා චීනයේ සංචාරය කරලා තියෙනවා. මේ සංචාරවලින් අපේ රටවල් දෙක අතර සම්බන්ධකම තව තවත් ශක්තිමත් වෙච්ච බවත් චීනයෙන් අපිට විශාල විශයෙන් ආධාර උපකාර ලැබුණු බවත් අපි දන්නවා. ඒවා ගැන විස්තර කියන්න කාලය ප්‍රමාණවත් නෑ.
අපේ දේශපාලනයේ පාට මොන විදිහට වෙනස් වුනත්, අපි “එක චීනයක්” ප්‍රතිපත්තිය වෙනස් කරලා නෑ.ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ බලයට ආවේ බලයට පත් වූයේ වමට බර ආණ්ඩුවක් වුනත් දකුණට බර ආණ්ඩුවක් වුනත්, අපි “එක චීනයක්” ප්‍රතිපත්තියෙන් බැහැරවෙලා නෑ. අපි එක දිගට ම මේ ප්‍රතිපත්තිය ආරක්‍ෂා කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ බලයට පත්වෙච්ච ආණ්ඩු විසින් වෙනස් නො කරපු එක ම ප්‍රතිපත්තිය මේක කියලා කියන්නත් පුළුවන්.
1957 ඉඳලා මේ දක්වා, චීනයේ ජනාධිපතිවරු, අගමැතිවරු සහ ඉහළ මට්ටමේ රාජ්‍ය නියෝජිතයෝ විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ නල සංචාරවල නිරතවෙලා තියෙනවා. 1957 පෙබරවාරි සහ 1964 පෙබරවාරි මාසවල චෝ අන්-ලැයි අගමැතිතුමා, 1985 දී ලී ශියැන්-නියැන් ජනාධිපතිතුමා, 2001 දී චූ රුං-චි අගමැතිතුමා, 2005 දී වන් චියා-පාඕ අගමැතිතුමා, 2010 දී ශී චින්-පිං උප ජනාධිපතිතුමා, 2014 දී ශී චින්-පිං ජනාධිපතුතුමා ශ්‍රී ලංකාවේ සංචාරය කරලා තියෙනවා. වං යී විදේශ ඇමැතිතුමා අවස්ථා ගණනාවක දී ම ශ්‍රී ලංකාවට ආවා.
මහජන චීනය අපිට විශාල වශයෙන් උදව් උපකාර කරලා තියෙනවා. අපි මුහුණදෙන ආර්ථික අර්බුද, ස්වාභාවික ව්‍යසන, යටිතල පහසුකම් සංවර්ධන අවශ්‍යතා වැනි විවිධ අවස්ථාවල දී මහජන චීනය කිසිම පැකිළීමක් නැතුව ඉස්සරහට ඇවිල්ලා අපිට උපකාර කරනවා. කොරෝනා වසංගතය වෙලාවේ චීනය අපිට කරපු උපකාර ගැන විශේෂයෙන් ම සඳහන් කරන්න ඕන. මුළු ජාතිය ම බියට පත්වෙලා ඉන්න වෙලාවක ලබාදීපු ඒ උපකාර අපි කවදාවත් සුළුකොට තකන්නවත් අමතක කරන්නවත් හොඳ නෑ.
මහජන චීනය කවදාවත් අපේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගහලා, අපිට බලපෑම් කරලා නෑ. අපේ රටේ ස්වෛරීභාවය, අපේ රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් චීනය පෙනී ඉඳලා තියෙනවා. අපි වෙනුවෙන්, අපිට පක්‍ෂව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී සහ එයට අනුබද්ධ ආයතනවල දී චීනය කටයුතු කරලා තියෙනවා.
අපි හැමෝම දන්න ඒ උදව් උපකාර ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ.
අපේ රටවල් දෙක අතර පවතින අන්‍යෝන්‍ය ගරුත්වය සහ විශ්වාසය මත ගොඩනැගිච්ච මේ සම්බන්ධතාව, දුර්වල, කිසිම පිළිවෙළක් නැති රටක් එක්ක බලවත්, බොහොම විධිමත් විදිහට පාලනය කෙරෙන රටක් අතර පවතින්න පුළුවන් සමානාත්මතාව මුල් කරගත්ත හවුල්කාරිත්වයක් විදිහටත් ලෝකයට ම සපයන්න පුළුවන් ආදර්ශයක් විදිහටත් සළකන්න පුළුවන්.
මේ කතාව අවසන් කරන්න කලින් මම කැමැතියි අපි නිතර කතා නො කරන පැති කීපයකට මේ කතාව යොමු කරන්න.
ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින අධ්‍යාපන සහ පර්යේෂණ සම්බන්ධකම් ගැන තමයි මම ඒ අතරින් මුලින් ම කියන්නේ. ඈත අතීතයේ ම, චීන භික්‍ෂූන්වහන්සේලා විසින් ශ්‍රී ලංකාව අධ්‍යාපන මධ්‍යස්ථානයක් විදිහට සැළැකුවා. අවුරුදු 1600 කට කලින්, ෆා-ශියැන් ස්වාමීන්වහන්සේගේ ආගමනය තුළින් වුනත් ඒ පිළිගැනීම පෙන්නලා දෙනවා.
අපි නිතර කතා නො කරන, එහෙම නැතිනම් අපි වැඩි දෙනෙක් නො දන්න කාරණයක් ගැනත් මම කියන්නම්.
මීට අවුරුදු 96 කට කලින්, 1930 දී, ඒ කාලයේ චීනයේ ථැයි-ශු (太虚, Taixu) ස්වාමීන්වහන්සේ, මුල්වෙලා චීනයේ දී එක්තරා සංවිධානයක් ආරම්භ කළා. උන්වහන්සේ යුරෝපයේ සංචාරය කරලා ආපහු චීනයට වැඩම කරන අතරතුර, 1928 අගෝස්තු මාසයේ දවසක පැය 10 ක කාලයක් ලංකාවේ නැවැතිලා තියෙනවා. ඒ වෙලාවේ ඇතිකරගත්ත අදහසකට අනුව තමයි 1930 මාර්තු මාසයේ දී උන්වහන්සේ “ලංකාවේ බෞද්ධ අධ්‍යයන ශිෂ්‍ය කණ්ඩායම” (锡兰佛教留学团, Ceylon Buddhist Overseas Study Group) ආරම්භ කළේ. ලංකාවේ ඉගෙනගන්න චීන ස්වාමීන්වහන්සේලා එකතුවෙලා එහෙම සංවිධානයක් හදාගත්තා නම් ඒක සාමාන්‍ය කටයුත්තක්. ඒත් මේ සංවිධානය හැදුවේ ලංකාවේ නෙවෙයි.
1930 දී ම, ලංකාවට යවන ශිෂ්‍ය භික්‍ෂූන්වහන්සේලා 10 නමක් පුහුණුකිරීම ආරම්භ කළත් ඒ දවස්වල සිද්දවෙච්ච ජපන් ආක්‍රමණය මුල් කරගත්ත කලබල හින්දා ඒ වැඩේට බාධා එල්ලවුණා. ඒ වුනත්, ථැයි-ශූ ස්වාමින්වහන්සේ තමන්ගේ උත්සාහය අත්හැරියේ නෑ. 1936 මැයි 6 වැනි දා, ලංකාවේ දී චීන භික්‍ෂූන්වහන්සෙලා 5 නමක් ථෙරවාදී බෞද්ධ අධ්‍යාපනය ලබාගැනීම ආරම්භ කළා. 1939 නොවැම්බර් මාසයේ දී, ථැයි-ශූ ස්වාමින්වහන්සේ ලංකාවට වැඩම කළා. අවුරුදු 96 ක් ගතවෙලා තිබුණත්, “ලංකාවේ බෞද්ධ අධ්‍යයන ශිෂ්‍ය කණ්ඩායම” තවමත් ක්‍රියාත්මක වෙනවා. අදටත් චීන ස්වාමින්වහන්සේලා විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබනවා.
අපේ රටවල් දෙක අතර තානාපති සම්බන්ධකම් පටන්ගත්තාට පස්සේ අධ්‍යාපන හා පර්යේෂණ සහයෝගිතාවත් වර්ධනය වුණා.
1975 සිට චීන රජය ශ්‍රී ලංකාවට නිල වශයෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමත් ආරම්භ කළා. 1975 දී, චීනය විසින් ශ්‍රී ලංකාවට පිරිනමලා තියෙන්නේ ශිෂ්‍යත්ව 7 යි. 2020 අවුරුද්ද වෙද්දි, ඒ ප්‍රමාණය 250 ඉක්මවලා තිබුණා. මෙහෙම පිරිනමන ශිෂ්‍යත්වවලින් උපාධි, ශාස්ත්‍රපති උපාධි සහ ආචාර්ය උපාධි හදාරන්න පුළුවන්. තමන්ගේ වියදමෙන් චීනයේ ඉගෙනගන්න ශ්‍රී ලාංකික ශිෂ්‍යයෝ 1500 කට වැඩි ප්‍රමාණයකුත් ඉන්නවා.
අපේ රටවල් දෙක අතර පවතින අධ්‍යාපන සම්බන්ධකම් මීට වඩා ගොඩක් පුළුල්. ඒත් ඒ හැම එකක් ම කියන්න වෙලාවක් නෑ.
මහජන චීනය ඇති කළ බව ප්‍රකාශයට පත් කරලා අවුරුදු 4 ක් ගත්වෙන්න කලින් - 1953 ජුනි 3 වැනි දා, චීන බෞද්ධ සම්මේලනය ආරම්භ කළා. චීන බෞද්ධ සම්මේලනය විසින් මුලින් ම විදේශ බෞද්ධ දූත කණ්ඩායමක් විදිහට පිළිගත්තේ ශ්‍රී ලංකාවෙන් ගිය බෞද්ධ දූත කණ්ඩායමක්. මේ පිළිගැනීම නො නිල සහ නිල කියන දෙවිදිහට ම සිද්දවෙලා තියෙනවා.
1955 දී, අති පූජ්‍ය නාරාවිල ධම්මරතන ස්වාමීන්වහන්සේ (Naravila Dhammaratana Maha Thera) ප්‍රමුඛ බෞද්ධ දූත කණ්ඩායමක් චීනයට වැඩම කරලා තියෙනවා. චීන බෞද්ධ සම්මේලනය විසින් ඒ දූත කණ්ඩායම හරසරින් පිළි ඇරැගෙන තියෙනවා. 1955 වෙද්දි, අපේ රටවල් දෙක අතර තානාපති සම්බන්ධකම් ඇති කරගෙන තිබුණේ නැති හින්දා ඒ ගමන නො නිල එකක් විදිහටයි ඉතිහාසයට එකතුවෙලා තියෙන්නේ.
කොහොම වුනත්, 1955 දී, ශ්‍රී ලංකාව 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් ඉංග්‍රීසි බෞද්ධ විශ්වකෝෂයක් හදන්න චීන බෞද්ධ සම්මේලනයේ උදව් ඉල්ලලා තියෙනවා. ඉතින් මහජන චීනය ස්ථාපිත කළාට පස්සේ අපේ රටවල් දෙක අතර ඇතිවෙච්ච මුල් ම විධිමත් බෞද්ධ සහයෝගිතාව විදිහට මේ ගනුදෙනුව සැළැකෙනවා.
අපේ රටවල් දෙක අතර තානාපති සම්බන්ධකම් ආරම්භ කරලා මාස 5 ක් ඇතුළත - 1957 ජුලි මාසයේ දී, පූජනීය නාරද ස්වාමින්වහන්සේ (Ven. Narada Thero) නිල බෞද්ධ දූත කණ්ඩායමකට නායකත්වය දීලා චීනයට වැඩම කරලා තියෙනවා. චීන බෞද්ධ සම්මේලනය විසින් නිල විදිහට පිළිගත්ත මුල් ම විදේශ බෞද්ධ දූත කණ්ඩායම විදිහට ඒ පිරිස සැළැකෙනවා.
ශ්‍රී ලංකා - චීන මිත්‍ර සංවිධාන විශාල ප්‍රමාණයකුත් ඇතිවෙලා තියෙනවා. මම මෙහෙම සංවිධානවල වැඩට සම්බන්ධ වෙලා නැති හින්දා අපේ ශ්‍රී ලංකා - චීන මිත්‍ර සංවිධාන ගැන මට තියෙන්නේ හුඟක් අඩු අවබෝධයක්. කොහොමත්, මේ සංවිධානවලින් විශාල සේවයක් සිද්දවෙන බව මම අහලා තියෙනවා. ශ්‍රී ලංකාව සහ චීන අතර සම්බන්ධකම් විවිධ මාන ඔස්සේ සිද්දවෙනවා වගේ ම මේ සංවිධානවල කටයුතුත් විවිධ මානවලින් සිද්දවෙන බවට සැකයක් නෑ. කොහොම වුනත්, පාට සහ හැටි ස්වභාවය මොකක් වුනත්, මේ සංවිධානවල සේවයත් අපි අගය කරන්න ඕන.
ඉතින් මේ අවස්ථාවේ තමන්ගේ 45 වැනි සංවත්සරය සමරන “ශ්‍රී ලංකා - චීන සංගමය” වෙත මම මගේ සුබපැතුම් පිරිනමනවා. මේ දක්වා කැපැවුණා වගේ ම, තව තවත් කැපැවෙලා අපේ රටවල් දෙක අතර මිත්‍රත්වය ශක්තිමත් කරන්න අවශ්‍ය දායකත්වය ලබාදෙන්න මේ සංගමයට පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
අවසාන වශයෙන්, මට මේ දේශනය කරන්න අවස්ථාව ලබාදීම සම්බන්ධයෙනුත් මම ශ්‍රී ලංකා - චීන සංගමයේ නායක කාරකාදීන්ට මගේ ප්‍රණාමය පළ කරනවා.
බොහොම ස්තුතියි!
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තිලීපන්ගේ උපවාසය සහ සැමරුම් පිළිබඳ නැවතත් කතාබහක්: ඉතිහාසයේ සැබෑ තත්ත්වය සහ දේශපාලන භාවිතය පිළිබඳ ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝගෙන් අනාවරණයක්..
ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම යන්නේ එකම පාරේ.. ආණ්ඩුව තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්න ව්‍යවස්ථා සංශෝධන ගේනවා.. ඒකත් පැරණි ක්‍රමයම තමයි.. - උවිඳු විජේවීර
"සියලු අභියෝග මැද චීන-ශ්‍රී ලංකා සබඳතා තවත් ශක්තිමත් කරනවා" – චීන තානාපති වේ හුආශියැං
රුසියානුවන් පුටින් පාලනයට යළි රට භාරදුන්නේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් සුවිශේෂී අනාවරණයක්..
ක්‍රිෂ් නඩුව ගැන නාමල්ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ගන්න අල්ලස් කොමිසමට අධිකරණයෙන් අවසර දෙයි..
''අමෙරිකාවට දණ නමන්නේ නෑ''- ජගත් මහා මණ්ඩලයේ දී ඉරාන ජනපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්..
අමෙරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටනයට..
අභියෝග හමුවේ නොසැලුණු චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයට නව ජවයක්.. - 77 වන ජාතික දිනයේදී චීන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
22 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසු ජනාධිපතිගේ පොරොන්දුවලට සහ ආණ්ඩුවට අත් වන ඉරණම ගැන අනාවරණයක්..
22 ගැන විවාදය අද..
ත්‍රස්තවාදීන්ව උතුරේ සමරනවා.. නීතිය සැමට පොදුයි කියලා ජනපතියි, අමගැමතිනියි කියනවා.. ඒත් දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී බලවේග හමුවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.. - විමල් වීරවංශ
සලේගේ වෛද්‍ය වාර්තාව ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු..
ඇමරිකාව රතුමූදෙන් පන්නාදමා යේමනයට රිදෙන්න ගහපු හුතීන් කවුද?
පාස්කු ප්‍රහාර නඩුවේ වරදකරුවන් 15ට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්..
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ.. 9 දෙනෙකු නිදොස්කොට නිදහස්..
ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජනාධිපති සමාව අහිමි වීම දක්වා ආ ගමන ගැන කියන කතාව..