දුදස්සනගේ අපාය..
(අද 2026 සැප්තැම්බර් 23 වැනි දා. අදට මගේ වයස අවුරුදු 57 ක් සම්පූර්ණ වෙනවා. උපරිම විදිහට ගත්තත් තව අවුරුදු 20 ක් විතර ජීවත්වෙයි. ඒ කාලයෙනුත් කොච්චර කාලයක් ඇඟේ හිතේ හයිය තියාගෙන ඉන්න පුළුවන් වෙයි ද කියලා කියන්න බෑ. ඉතින් සිහි කල්පනාව ඇතිව ඉන්න මේ පොඩි කාලයේ කරන්න ඕන දේවල් කල්දාන්න බෑ. ඒ හින්දා, මම අද “දුදස්සනගේ අපාය” ගැන ලියන්නම්).
=== === === === ===
“පොළොව යට අපායක් නෑ කියලා කියපු හින්දා දුදස්සන නිකායෙන් නෙරපුවා” කියලා කට්ටියක් කියවා කියවා ඉන්නවා දැක්කා. දුදස්සන කියන බහුභූත අහන්න උනන්දුවක් මට නෑ. ඒත් තමන්ගේ ශාස්තෘවරයා විදිහට දුදස්සන පිළිගන්න අය මෙහෙම කියන හින්දා අපි මේ පදනම් කාරණය දුදස්සනගේ අදහසක් කියලා හිතන්න පුළුවන්.
ත්‍රිපිටකයේ සහ අට්ඨකතාවල කිසිම තැනක “අපාය පිහිටා තිබෙන්නේ මහ පොළොව යට” කියලා සඳහන් කරලා නෑ. මහා පාප කර්ම කරලා ජීවත්ව ඉඳිද්දි ම පොළොව පලාගෙන අපායට ගිය පස් දෙනෙක් ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වෙනවා. ඒ තමයි දේවදත්ත, චිඤ්චි මාණවිකාව, සුප්පබුද්ධ, කෝකාලික සහ විරූඪක (විඩූඩභ) කියන පස් දෙනා. අපි හැමෝම වගේ මේ කතා දන්න හින්දා මම ඒවා ගැන විස්තර කියන්නේ නෑ.
බෞද්ධ සාහිත්‍යයේ වාර්තා කරලා තියෙන මේ සිදුවීම් අපේ රටේ වාර්තාවලට විතරක් සීමාවෙච්ච ඒවත් නෙවෙයි. අපි හැම කෙනෙක් ම දන්න චීන ජාතික ෆා-ශියැන් හාමුදුරුවන්ගේ දේශාටන වාර්තාවෙත් මේ කරුණු වාර්තා කරලා තියෙනවා. මේ, එහෙම සඳහනක්.
“出祇洹东门北行七十步道西。佛昔共九十六种外道论议。国王大臣居士人民皆云集而听。时外道女。名旃遮摩那起嫉妬心。乃怀衣著腹前似若妊身。于众会中谤佛以非法。于是天帝释即化作白鼠啮其腰带。带断所怀衣堕地。地即裂生入地狱。及调达毒爪欲害佛生入地狱处。后人皆幖帜之。”
මේ සටහනේ සිංහල පරිවර්තනය මෙහෙමයි.
“ජේතවනාරාමයේ නැගෙනහිර දොරටුවෙන් පිටතට ගොස්, උතුරු දෙසට හැත්තෑ පියවරක් ගමන් කළ විට, මාර්ගයේ බස්නාහිර පසින් මෙම ස්ථානය පිහිටා තිබේ. පෙර කලෙක බුදුරජාණන්වහන්සේ එහි දී අන්‍යතීර්ථකවාදියෝ අනූ හය දෙනා සමඟ වාද කළ සේක. රජතුමා, ඇමැතිවරු, ගෘහපතියෝ සහ ජනයා සියල්ලෝ ම මෙම ස්ථානයට රැස් වී ඒ දේශනාව ශ්‍රවණය කළහ. එ කල, චිඤ්චි මානවිකාව නම් අන්‍යතීර්ථක ස්ත්‍රියක ඊර්ෂ්‍යා සිතක් උපදවා ගත්තා ය. ඇය රෙදි කැබැලි ගෙන තම කුස මත බැඳ, ගැබිනියක සේ වෙස්ගෙන, රැස්ව සිටි මහජන සභාව මධ්‍යයේ දී බුදුරජාණන්වහන්සේට එරෙහිව අසත්‍ය චෝදනා නැගුවා ය. එ කල ශක්‍ර දේවේන්ද්‍රයා වහා ම සුදු මීයෙකු සේ වෙස්ගෙන, චිඤ්චි මානවිකාව බැඳ සිටි ඉණ පටිය කපා දැමීය. පටිය කැඩී වැටුණු විගස, ඇය බැඳගෙන සිටි රෙදි කැබැලි බිම වැටුණේ ය. ඒ මොහොතේ ම පොළොව පැළී, ඇය පොළොව යටට ගිලී අපායට වැටුණා ය. එ සේ ම විෂ ගැල් වූ පහුරුවලින් බුදුරජාණන්වහන්සේට හිංසා කිරීමට තැත් කළ අවස්ථාවේ දී දේවදත්ත ජීවමානව ම නිරයට වැටුණු ස්ථානය ද මෙය ආසන්නයේ ම වෙයි. පසු කාලීන ජනයා මේ ස්ථාන දෙක ම සලකුණු කර ලකුණු තැබූහ.”
හැබැයි ත්‍රිපිටකයේ, අටුවාවල වගේ ම බෞද්ධ සාහිත්‍යයෙත් කිසිම තැනක “අපාය තියෙන්නේ පොළොව යට” කියලා සඳහනක් නෑ. එහෙම නම්, දුදස්සනලා කියන මේ ගල් පැලෙන පචය උපදින්නේ කොහොම ද? මොළේ මීයෝ කාලා තියෙන අයට “දොර” සහ “ගමනාන්තය” අතර වෙනස තේරුම්ගන්න අමාරුයි. “පොළොව පලාගෙන ගියා” කියලා කිව්වාම ඒකෙන් කියන්නේ දොර ගැන. “අපාය” තමයි ගමනාන්තය. මෙන්න මේ ගමනාන්තය පොළොව යට තියෙනවා කියලා ත්‍රිපිටකයේ, අටුවාවල විතරක් නෙවෙයි බෞද්ධ සාහිත්‍යයේවත් සඳහන් කරලාත් නෑ.
එහෙම නම් අපාය තියෙන්නේ කොහෙද?
සංයුක්ත නිකායේ සච්ච සංයුත්තයේ පපාත වර්ගයේ තියෙන අන්ධකාර සූත්‍රය ආරම්භයේ ම මෙහෙම සඳහනක් තියෙනවා.
“මහණෙනි, ලෝක අතරෙහි වූ වැස්මක් නැත්තා වූ අඳුරෙන් පිරී ගියා වූ මේ මහත් ඍද්ධි ඇත්තා වූ මහත් ආනුභාව ඇත්තා වූ චන්ද්‍ර සුර්යයන්ගේ ආලෝකය නො වැටෙන්නා වූ ආකාශ කුහරයෝ ඇත්තාහ”
අපි දැනට මේ “අඳුරු අවකාශ කුහර” ගැන නිරීක්‍ෂණය හිතේ තියා ගනිමු.
ඒ මූලික කාරණය හිතේ තියාගෙන අපි දීඝ නිකාය අටුවාව (සුමංගලවිලාසිනිය) සේවනය කරමු. ඒ අටුවාවේ මෙහෙම කාරණයක් සඳහන් කරලා තියෙනවා.
“එකිනෙක ගෑවෙන සේ තබන ලද පාත්‍ර තුනක්, චක්‍ර තුනක් හෝ නෙළුම් මල්/කැට තුනක් යම් සේ ද, ඒ අතරමැද යම් හිස් අවකාශයක් ඇති වේ ද, එ මෙන් ම, එකිනෙක ස්පර්ශ වන චක්‍රවාට තුනක් අතරමැද යොදුන් අටදහසක ප්‍රමාණයක් ඇති හිස් අවකාශය ‘ලෝකාන්තරික නිරය’ නම් වේ.”
“අනේ අපිට අටුවා කියවන්න විදිහක් නෑනේ” කියලා කම්පාවෙන අය ඉන්න පුළුවන්නේ. ඒ අයට පුළුවන් පූජාවලිය කියවන්න. පූජාවලියේ මෙහෙම සඳහනක් තියෙනවා.
“තුන් නෙළුම් කැටයක් එකිනෙක තැබූ කල මැද යම් සේ හිස් ඉඩක් හැදේ ද, එ සේ ම එකිනෙකට ස්පර්ශ වන සේ පිහිටි චක්‍රවාට පර්වත තුනක් අතර මැද යොදුන් අටදහසක් පමණ හිස් අවකාශයෙක් ඇත්තේ ය. ඒ හිස් අවකාශය ලෝකාන්තරික නිරය නම් වන්නේ ය.”
දීඝ නිකාය අටුවාවේ තියෙන අපාය විස්තරය ඒ විදිහට ම පූජාවලියේ සඳහන් කරලා තියෙන බව මේ අනුව පැහැදිළිවෙනවා. ඇත්තෙන්ම, පූජාවලිය රචනා කරපු මයුරපාද පරිවේණාධිපති පූජනීය බුද්ධපුත්‍ර ස්වාමින්වහන්සේ දීඝ නිකාය අටුවාවට අමතරව විසුද්ධිමග්ගයේ ඉද්ධිවිධ ඤාණ නිද්දේසයේ (ලෝක සංස්ථාපනය සහ චක්‍රවාටයන්හි පිහිටීම විස්තර වන කොටසේ) ලෝකාන්තරික නිරයේ පිහිටීම ගැන දක්වා තිබෙන අදහසත් සේවනය කරලා තියෙන බව පැහැදිළියි. දීඝ නිකාය අටුවාවේ තියෙන නිරීක්‍ෂණය ඒ විදිහට ම විසුද්ධිමග්ගයේත් දක්වලා තියෙනවා.
ධර්ම ග්‍රන්ථවලින් අපාය (නිරය) ගැන අර්ථකථනත් ඉදිරිපත් කරලා තියෙනවා.
“සැපයක් නැත, ආස්වාදයක් නැත, එබැවින් නිරය නම් වේ” (නත්ථි එත්ථ අස්සාද-සඤ්ඤිතො අයො) කියන්නේ එහෙම අර්ථදැක්වීමක්. “මහා පෘථිවියට පහළින් පිහිටා ඇති බැවින් නිරය නම් වේ” (මහාපඨවියා යේව වා හෙට්ඨා ඨිතත්තා නිරයො) කියන්නේ තවත් අර්ථදැක්වීමක්.
හොඳ දේවල් ඉහළින් සහ නරක දේවල් පහළින් තියෙනවා කියලා සැළැකීම අපි කවුරුත් පිළිගත්ත ලෝක සම්මුතියක්. යහපත් කර්ම/ කුසල් කිරීමෙන් “උද්ධංගාමී” (ඉහළට යන) බවත් අයහපත් කර්ම / අකුසල් කිරීමෙන් “අධෝගාමී” (පහළට යන) බවත් අපි පිළිගන්නවා. ඉතින් සැප තියෙන, ආස්වාද තියෙන දිව්‍ය ලෝකය මහා පෘථිවියට ඉහළිනුත් සැප නැති, ආස්වාද නැති අපාය මහා පෘථිවියට පහළිනුත් තියෙනවා කියන පිළිගැනීමේ වැරැද්දක් නෑ. සුගතිය ඉහළිනුත් දුගතිය පහළිනුත් තියෙනවා. උඩින් කියපු අර්ථදැක්වීම් දෙක - “නත්ථි එත්ථ අස්සාද-සඤ්ඤිතො අයො, මහාපඨවියා යේව වා හෙට්ඨා ඨිතත්තා නිරයො” කියන අර්ථදැක්වීම් දෙක එකට යොදා තිබීමෙනුත් නිරයේ තිබෙන පහත් බව (තුච්ච බව) ඉස්මතු කරනවා.
මෙතැන “මහා පෘථිවියට පහළින් පිහිටා තිබෙන” කියන එක “මහ පොළොව ඇතුළේ / පස් යට” කියලා සළකන්න ඕන නෑ.
අපේ පංචේන්ද්‍රිය ආශ්‍රයෙන් හදාගත්ත භෞතිකවාදී මිනුම් පාවිච්චි කරලා වෙනත් ලෝක (දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය, අපාය, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, අසුර ලෝකය වගේ ඒවා) ගැන හිතන්න ගියාමත් අවුල් ඇතිවෙනවා. අපි අපේ පංචේන්ද්‍රියන්ගේ සීමා තේරුම්ගන්න ඕන. ඒ සීමිත මිනුම්වලින් නැවැතිලා, ගල්වෙලා තියෙන ලෝකයක්වත් මැනලා තේරුම්ගන්න බෑ. ඒ සීමිත මිනුම්වලින් අනිත්‍ය මූලික කරගත්ත ලෝකයක් ගැන හිතන්නවත් බෑ.
පෘථග්ජන අපිට භෞතික සම්මුති සහ මිනුම් නැතුව බෑ. අපි අපේ උවමනා එපාකම්වලට ගැලැපෙන විදිහට ඒ සම්මුති සහ මිනුම් හදාගන්න ඕන. ඒවා පාවිච්චි කරන්නත් ඕන. ඒ වගේ ම, දැන් තියෙන භෞතික සම්මුති සහ මිනුම් තව තවත් “වැඩි දියුණු” කරගන්නත් අපි මහන්සිවෙන්න ඕන. ඒ වගේ ම, අනිත්‍ය ලෝකයක ස්ථීර සම්මුති සහ මිනුම් හදාගන්න බැරි බවත් අපි තේරුම්ගන්න ඕන. ඒ හින්දා, ස්ථිර නැති සහ තවමත් “වැඩි දියුණු” කරමින් තිබෙන භෞතික සම්මුති සහ මිනුම්වලින් සියලු ලෝක තේරුම්ගන්න, විස්තර කරගන්න යනවා නම් ලොකු අවුලක් ඇතිවෙන බවත් අපි තේරුම්ගන්න ඕන.
භෞතිකවාදයේ පිළිගන්න කාලයේ සාපේක්‍ෂ බව ගැනවත් හරි හමන් අදහසක් අපිට නෑ. අපේ සෑහෙන පිරිසක් ඉතාමත් දැඩි විදිහට නිරපේක්‍ෂ කාලයක් ගැන අදහසක (අපි හිටියත් නැතත් කාලය ගෙවිලා යනවා කියන අදහසේ) එල්ලිලා ඉන්නවා. අපේ ධර්ම ග්‍රන්ථවලින් මේ වැරැද්ද පෙන්නලා දීලා තියෙනවා. මේ කාරණය තේරුම්ගන්න, අභිධර්ම පිටකයේ ධම්මසංගණී ප්‍රකරණයට ලියලා තියෙන අත්ථසාලිනී අටුවාවේ කාලය ගැන දක්වලා තියෙන අදහස් ඉතාමත් ප්‍රයෝජනවත්. “කාලො නාම රූපාරූපපවත්තියා පණ්ණත්ති මත්තං” (කාලය යනු රූප සහ අරූප ධර්මයන්ගේ පැවැත්ම වෙනස්වීම් පදනම් කරගෙන ඇති කරගනු ලබන ප්‍රඥප්තියක් පමණයි) කියලා ඒ අටුවාවෙන් කියනවා.
“කාලය කියන්නේ ප්‍රඥප්තියක්” කියලා කියන අර්ථදැක්වීමෙන් කාලයේ සීමාව (කාලය කියන්නේ හුදෙක් ම ව්‍යවහාරය සඳහා හදාගත්ත සංකල්පයක්/සම්මුතියක් පමණක් වීම) පැහැදිළි කරනවා. ඉතින් දිව්‍ය ලෝකය, අපාය වගේ වෙනත් ලෝක ගැන කතා කරද්දි අපිට මේ කාල සම්මුතියේ ස්වභාවය ගැන සළකා බලන්නත් සිද්දවෙනවා.
මීට අවුරුදු 500 කට විතර කලින් (1550 – 1616 කාලයේ), චීනයේ ථං ශියැන්-ත්සූ (汤显祖, Tang Xianzu) කියලා නාට්‍ය රචකයෙක් හිටියා. ඔහු ලියපු “දකුණු ශාඛාව යට වාර්තාව” (南柯记, A Dream Under the Southern Bough) කියන නාට්‍යය කාලයේ සම්මුතික බව පැහැදිළි කරන ඉතාමත් රසවත් නිර්මාණයක්. කූඹි රටේ රජ්ජුරුවන්ගේ දියණියක් විවාහ කරගන්න මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය “පස්සේ කාලෙක” ආපහු මේ මනුස්ස ලෝකයට එනවා. මහ ජංජාල, අලකලංචි ගොඩකට මුහුණදෙමින් කුඹි ලෝකයේ “සෑහෙන කාලයක්” ගත කරලා ආපහු මේ මනුස්ස ලෝකයට එද්දි, කූඹි ලෝකයට යන්න කලින් ඔහු බොන්න පටන්ගත්ත වයින් වීදුරුව නිමිලා තිබුණෙත් නෑ!
අඩි පහ හමාරක් විතර උස දුදස්සන අපායට ගියාම අඩි පහ හමාරක් උඩ නිරි සතෙක් බවට පත්වෙන්න ඕන ද? අපි මේ ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්න වැඩේ දුදස්සනට සහ ඔහුගේ දායක සභාවට පවරමු.
=== === === === ===
(මෙන්න මේ කතාව තමයි මම මේ 57 වැනි උපන්දිනය වෙනුවෙන් කිව්වේ. හැබැයි, මේ කතාව කියවලා මම කියපු අවකාශ - කාල වෙනස්කම් බලන්න අපායට යන්න නම් හිතන්න එපා).
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
''අමෙරිකාවට දණ නමන්නේ නෑ''- ජගත් මහා මණ්ඩලයේ දී ඉරාන ජනපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්..
අමෙරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටනයට..
අභියෝග හමුවේ නොසැලුණු චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයට නව ජවයක්.. - 77 වන ජාතික දිනයේදී චීන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
22 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසු ජනාධිපතිගේ පොරොන්දුවලට සහ ආණ්ඩුවට අත් වන ඉරණම ගැන අනාවරණයක්..
22 ගැන විවාදය අද..
ත්‍රස්තවාදීන්ව උතුරේ සමරනවා.. නීතිය සැමට පොදුයි කියලා ජනපතියි, අමගැමතිනියි කියනවා.. ඒත් දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී බලවේග හමුවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.. - විමල් වීරවංශ
සලේගේ වෛද්‍ය වාර්තාව ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු..
ඇමරිකාව රතුමූදෙන් පන්නාදමා යේමනයට රිදෙන්න ගහපු හුතීන් කවුද?
පාස්කු ප්‍රහාර නඩුවේ වරදකරුවන් 15ට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්..
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ.. 9 දෙනෙකු නිදොස්කොට නිදහස්..
ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජනාධිපති සමාව අහිමි වීම දක්වා ආ ගමන ගැන කියන කතාව..
22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි..
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම: නීතිය ක්‍රියාත්මක කිරීමක්ද?.. දේශපාලන දඩයමක්ද?..
සවුදිය අර්බුදයක.. සටන් විරාමයක් සඳහා සතර අතට පණිවිඩ යවයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
ආණ්ඩුව යමින් ඉන්නේ ආසියාවේ ඊශ්‍රායලයත්, පලස්තීනයත් මේ රටේ බිහි කරන ගමනක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
තිලීපන්ගේ පිළිමයට මල් තියන්න සිසුන් යැව්වේ අධ්‍යාපන බලධාරීන්.. - ජාතික ගුරු ව්‍යාපාරයෙන් හෙළිදරව්වක්..