News Category
From Date
To Date
Maximum Number of Result

ගොවියා අසරණ කර, නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවාව වනසන මාලිමා රජයේ රහස් ETCA න්‍යාය පත්‍රය ජයන්ත සමරවීර හෙළිකරයි..

Sep 16, 2026 at 04:12 PM
|

වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් පිරීමට ආසන්න වෙද්දීත් මෙරට ගොවි ජනතාවගේ වී අස්වැනු සඳහා සාධාරණ මිලක් හා විධිමත් මිලක් ලබාදීමට අපොහොසත් වී ඇති රජය, මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ උපදෙස් මත ක්‍රියා කරමින් ගොවියාගේ අයිතීන්වලට පයින් ගසා  ඇති අනුර කුමාර දිසානායකගේ “බොරු කියන ආණ්ඩුව” ගොවිමාගේ ප්‍රශ්න විසදීම තව වසරකින් කල් දමා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා චෝදනා කරයි.

අද (16) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුවේ පැවැති ගොවි සමුළුවේදී වී සඳහා සාධාරණ මිලක් ලබාදීම ලබන වසර දක්වා කල් දැමීම මගින් ආණ්ඩුවේ අසරණභාවය හා ගොවි ජනතාව කෙරෙහි දක්වන අසාධාරණ පිළිවෙත මැනවින් හෙළිදරව් වූ බවයි. සරල කොන්දේසි කීපයක් සම්පූර්ණ කර ගොවියාට සාධාරණයක් ඉටුකිරීම වෙනුවට, කාලය ඉදිරියට දමමින් ගොවීන් තව තවත් පීඩාවට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව හෙතෙම සඳහන් කළේය.

නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යය විනාශ කිරීමේ මෙහෙයුම

මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් විනාශ කිරීමේ රහසිගත වැඩපිළිවෙලක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන බව පැවසූ සමරවීර මහතා, 1982 අධ්‍යාපන “ධවල පත්‍රිකාව” හරහා එදා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ප්‍රගතිශීලී බලවේග ජීවිත පූජාවෙන් රැකගත් නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමේ මූලික අඩිතාලම මෙලෙස තබමින් සිටින බව පෙන්වා දුන්නේය.

“ජනාධිපතිවරණ සමයේ කිලෝමීටර් තුනක් ඇතුළත දරුවෙකුට හොඳම පාසලක් ලබා දෙන බවට පොරොන්දු වූ ජනාධිපතිවරයා, අද කියනවා ළමුන් 50ට අඩු පාසල් 1,800ක් වසා දමා ඒ දරුවන් වෙනත් පාසල්වලට යවනවා කියලා. රටේ පාසල් 10,000න් සියයට 20ක් වසා දැමීම යනු ගමේ අහිංසක දුප්පත් දරුවන් අධ්‍යාපනයෙන් පිටමං කිරීමේ නරුම ක්‍රියාවක්. කළ යුත්තේ පාසල් වසා දැමීම නොව, ගමේ පාසල භෞතික හා මානව සම්පත්වලින් බලගන්වා ගුරුවරුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමයි,” යැයි ජයන්ත සමරවීර පැවසීය.

එසේම, ඇතැම් විශේෂඥ හා රසායනාගාර සේවාවන් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට කැබිනට් තීරණ ගැනීම හරහා නිදහස් සෞඛ්‍ය සේවාව ද වෙළඳපොළට බිලිදීමට සැරසෙන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වට්ටෝරුවට අනුව සෞඛ්‍යය හා අධ්‍යාපනය වෙළඳපොළ බලවේගවලට යටත් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් හෙළි කළේය. කොළඹ ජාතික රෝහලේ බයිපාස් සැත්කම් සඳහා රෝගීන් 9,800ක් පෝලිමේ සිටියදී සහ ඖෂධ හිඟය හමුවේ ජනතාව පීඩා විඳිද්දී, රෝගීන්ට ගෙදරට වී කොත්තමල්ලි බොන ලෙස ප්‍රකාශ කිරීම ජනතාවගේ “ජීවත් වීමේ අයිතිය” හාස්‍යයට ලක්කිරීමක් බව හෙතෙම පවයසි. මෙසේ රටේ සෞඛ්‍ය සේවාව හසුරුවන ආකාරය පිළිබඳ බරපතල ගැටලුවක් ඇති බවද හෙතෙම කීය.

ඉන්දීය ශ්‍රමිකයන් ගෙන්වා රටේ වැඩකරන ජනතාවගේ අනාගතය අඳුරු කිරීම

මීට අමතරව, මෙරට වැඩ කරන ජනතාවගේ අනාගතය සම්පූර්ණයෙන්ම අඳුරට තල්ලු කරමින් ඉන්දියානු ශ්‍රමිකයන් මෙරටට ගෙන්නා ගැනීමේ රහසිගත වැඩපිළිවෙලක් වත්මන් රජය විසින් ආරම්භ කර ඇති බවද ජයන්ත සමරවීර මහතා මෙහිදී අනාවරණය කළේය.

“මෙරට සංවර්ධන කටයුතුවලට ශ්‍රමිකයන් නැති බව කියමින් ඉන්දියාවෙන් අඩු පඩියට වැඩ කරන ශ්‍රමිකයන් ගෙන්නීමට ආණ්ඩුව පාර කපමින් සිටිනවා. රටට හොරෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මහතා සමග ගිවිසුම් 8ක්ද, ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සමග ගිවිසුම් 3ක්ද, ඉන්දීය තානාපති කාර්යාලය සමග මෙරට ඛනිජ සම්පත් ගවේෂණය හා කැනීම පිළිබඳ ගිවිසුමකුත් අත්සන් කර තිබෙනවා. අතීතයේදී මහින්ද රාජපක්ෂ පාලන සමයේ 'සීපා' (CEPA) ගිවිසුම නතර කළත්, යහපාලන සමයේ ගෙන ඒමට තැත් කළ 'එට්කා' (ETCA) ගිවිසුම ජාතික බලවේග විසින් පරාජය කළත්, අද මේ මාලිමා රජය රහසිගතව එකී එට්කා (ETCA) ගිවිසුම ඉන්දියාව සමග අත්සන් කර අවසන් කර ඇති බවට හෝ අත්සන් කිරීමට නියමිත බවට තොරතුරු ලැබී තිබෙනවා,” යැයි සමරවීර මහතා පැවසීය.

ඉන්දියාවේ පවතින කෝටි ගණනක උග්‍ර විරැකියාවට විසඳුමක් ලෙස ඉන්දීය ශ්‍රමිකයන්ට ලංකාවට පැමිණීමට "on Arrival Visa" පහසුකම් පවා ලිහිල් කර ඇති බවත්, මීට පෙර ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව කතා කළ ජනතා විමුක්ති පෙරමුණ අද ඉන්දීය ව්‍යාප්තවාදයේ ප්‍රධාන ප්‍රචාරකයන් හා අනුගාහකයන් වෙලා සිටීම දෛවයේ සරදමක් බවත් ඒ මහතා සඳහන් කළේය.

අනාගත පරම්පරාවට සිදුවන අයහපත් හා අනාරක්ෂිත බලපෑම

මෙම අතිශය විනාශකාරී ගිවිසුම් හරහා ඉදිරියේදී ශ්‍රී ලාංකික අනාගත දූදරුවන්ට සහ ශ්‍රමිකයන්ට තමන්ගේම රටේ රැකියා අහිමි වී, ජීවත් වීමට මගක් නොමැතිව මුහුදේ පනින්නට සිදුවන අනාරක්ෂිත පරිසරයක් නිර්මාණය වන බව සමරවීර මහතා අනතුරු ඇඟවීය. අපගේ ඛනිජ සම්පත් ඇතුළු ජාතික සම්පත් පරසතුරන්ට යටත් වීමෙන් රටේ ස්වෛරීභාවයට මෙන්ම පරිසරයටද දැඩි අයහපත් බලපෑම් එල්ල වන බව හෙතෙම පෙන්වා දුන්නේය.

එබැවින්, ජනාධිපතිවරයා සහ මාලිමා ආණ්ඩුව විසින් නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය, ගොවි ජනතාවගේ අයිතීන් සහ රටේ ශ්‍රම බලකායේ අනාගතය විනාශ කිරීමට ගෙන යන මෙම ජනපීඩක හා දේශද්‍රෝහී මෙහෙයුම වහාම පරාජය කිරීම සඳහා සියලුම ප්‍රගතිශීලී, ජනතාවාදී දේශපාලන බලවේග සහ බහුජන සංවිධාන කොන්දේසි විරහිතව එකට එකතු වී වීථි බැස සටන් කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණ වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

ජයන්ත සමරවීර මහතාගේ සම්පූර්ණ දේශනය මෙසේය..

"ආයුබෝවන්, සුබ උදෑසනක් මාධ්‍යවේදී සොහොයුරන්ට!

අද ඔබ මගින් අප රටේ ජනතාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ, අපි කවුරුත් දන්නවා මේ වන විට “අපේ ආණ්ඩුවට වසර දෙකයි – රටට සුබයි” කියන තේමාව මුල් කරගනිමින් ජනාධිපති අනුර දිසානායක මහතා පවත්වනු ලබන ජන රැලිය මාලාවක් ඉකුත්දා කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහලින්, බේරුවලින්, ඉන්අනතුරුව ගොවි සමුළුවක් ලෙස පොළොන්නරුවෙන්, ඊට පස්සේ අනුරාධපුරයෙන් මේ වන විට නතර වෙලා දැන් ඉතිරි රැළි මාලාවත් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට යමින් යාමට සූදානම් වෙමින් සිටිනවා.

මේ ජන රැළිවලදී එහෙම නැත්නම් පොළොන්නරුවේ පැවැති ගොවි සමුළුවේදී අනුර දිසානායක ජනාධිපතිවරයා විසින් කරන ලද කතාවේදී, මේ රටේ අපි මෙතෙක් භුක්ති විඳින අයිතිවාසිකම් ගණනාවක් විනාශ මුඛයට නැත්නම් නැතිබංග කිරීමේ අවදානම හිමිහිට හෙළිදරව් වෙච්ච ආකාරයක් අපිට මැනවින් පෙනෙන්න තිබෙනවා.

එක පැත්තකින් ඔහු ගොවි ජනතාවගේ වී මිලදී ගැනීම පිළිබඳ ප්‍රශ්නය ලබන අවුරුද්ද දක්වා කල් දැම්මා. අපි කවුරුත් දන්නවා දැන් අවුරුදු දෙකක් ආසන්නයි 21 වෙනිදට මේ ආණ්ඩුව, ජනාධිපතිවරයා බලයට පත්වෙලා. අපේ රටේ ගොවියාට නිසි මිලක් තමන්ගේ අස්වැන්නට නොලැබීමේ ඛේදවාචකය දැන් දශක ගණනාවක ඉඳන් පෙරට එන ඛේදවාචකයක්, අත්දැකීමක්.

අනුර දිසානායක ජනාධිපතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්න කාලෙත්, මේ ගොවි ජනතාව මුහුණ දෙන මේ පීඩාකාරී අත්දැකීමට එරෙහිව උද්ඝෝෂණවලට මැදිහත් වෙච්ච නායකයෙක්. ඒ වගේම කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යවරයා මේ අත්දැකීම තියෙන නායකයෙක්. එසේ තිබියදී, 12 වෙනිදා පොළොන්නරුවේ පැවැති ගොවි සමුළුවේදී – ඒ ගොවි සමුළුවට කෘෂිකර්ම අමාත්‍යවරයා සහභාගි වුනෙත් නැහැ, නියෝජ්‍ය අමාත්‍යවරයා සහභාගි වුනෙත් නැහැ, මොකද බුද්ධි අංශ වාර්තා කළාද දන්නේ නැහැ ජනතාවගේ බලවත් පිළිකුලක්, අප්‍රසාදයක් ඒ රැළියේදී ඔවුන් දෙපළට එල්ලවීමට නියමිතයි කියලා. ඒ ආරංචිය වේලාසනින් ලැබුණු නිසා වෙන්න ඇති බොහෝ වෙලාවට කෘෂිකර්ම අමාත්‍යවරයාත්, නියෝජ්‍ය අමාත්‍යවරයා දෙදෙනාම මේ රැළියට සහභාගි වුණේ නැත්තේ.

කොහොම වුණත් ඒ රැළියේදී ජනාධිපතිවරයා කියනවා වීවලට සාධාරණ මිලක් ලබාදීම ලබන වසරේදී සිදුකරනවා කියලා. මොකටද ලබන වසර වෙනකන් ඉන්නේ? මේක එච්චර මහා පර්යේෂණ දත්ත මත ගත යුතු තීන්දුවක්ද ඔවුන් කියන විදියට? නැහැ. ඉතාම සරල කොන්දේසි කීපයක් සම්පූර්ණ කිරීමෙන් මේ ගොවි ජනතාවට සාධාරණයක් ලබාදෙන්න පුළුවන්.

ඒ ජනාධිපතිවරයා ලබන වසර දක්වා මේ වී වලට සාධාරණ මිලක් ලබාදීමේ ගොවි ජනතාවගේ ඉල්ලීම ලබන වසර දක්වා කල් දැමීම අපි ඉතාම පිළිකුල් සහගතව හෙළා දකිනවා. ඒ වගේම අපිට පෙනෙනවා මේ ආණ්ඩුව කොච්චර දුප්පත් ආණ්ඩුවක්ද, කොච්චර අසරණ ආණ්ඩුවක්ද, කොච්චර බැරි ආණ්ඩුවක්ද කියලා. මොකද ඩඩ්ලි සිරිසේන මහත්තයලාගෙන්, නැත්නම් ජයවික්‍රම මහත්තයලාගෙන්, නැත්නම් මිත්‍රපාල මහත්තයලාගෙන් අහලා ගොවියාට සාධාරණ මිලක් දෙන්න බැහැ. අපි දන්නවා වෘකයොත් එක්ක දඩයමේ ගිහින් හාවුන් ආරක්ෂා කරන්න බැහැ. අද ඒකයි වෙන්නේ.

අද මේ ලංකාවේ වී මිල තීරණය කරන්න ජනාධිපතිවරයාට උපදෙස් දෙන්නේ ඩඩ්ලි සිරිසේන මහත්තයලා, ජයවික්‍රම මහත්තයලා, මිත්‍රපාල මහත්තයලා. ඒගොල්ලන්ගේ උපදෙස් පරිදි කවදාවත් ගොවි ජනතාවට සාධාරණ මිලක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි යෝජනා කරනවා ආණ්ඩුවට, ගොවි ජනතාවට වීවලට සාධාරණ මිලක් දීම අර "කොහොඹ තෙල් හත්පට්ටියට තව ටිකකුත් ඕනෑ" කියනවා වගේ, බාලගිරි දෝෂය වගේ මේක කල් දදා ඉන්නේ නැතුව, වහාම ගොවි ජනතාවට වීවලට සාධාරණ මිලක් ලබා දිය හැකියි, ඒ ලබා දිය යුතුයි. ඒ තවදුරටත් කල් දානවා කියන්නේ ආණ්ඩුව හිතාමතාම ගොවි ජනතාව තව තවත්, තව තවත් පීඩාවට පත් කිරීමක් කියන එකයි අපේ පිළිගැනීම. අපි ඒ නිසා ඉල්ලනවා වහාම මේ ගොවි ජනතාවට සාධාරණ මිලක් ලබාදීමට අවශ්‍ය කොන්දේසි සම්පූර්ණ කරලා – ඉතාම සරල කොන්දේසි, ඒ කොන්දේසි කීප වතාවක් කියලා තියෙනවා විවිධ විද්වතුන්, ගොවි සංවිධාන නායකයන්, දේශපාලන ව්‍යාපාර, බහුජන ව්‍යාපාර – ඒ කොන්දේසි සම්පූර්ණ කරලා මේ ගොවි ජනතාවට වහාම සාධාරණ මිලක් සිය අස්වැන්නට ලබා දෙන්න කියන යෝජනාව අපි මේ වෙලාවේ කරනවා.

ඒ වගේම, මේ රැස්වීම්වලින් තව ජනාධිපතිවරයාගේ ඇමැතීම්වලින් තව අනාවරණය වෙන කාරණා කීපයක් තියෙනවා. ඒ අතර ප්‍රධාන කාරණය තමයි, නිදහස් අධ්‍යාපන අයිතිය ක්‍රමානුකූලව වැනසීමේ ඉඟි බිඟි දැන් පහළ වෙමින් තිබෙනවා. ජනාධිපතිවරයා පූර්ව ජනාධිපති සමයේදී, ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉන්න සමයේදී, ඊට පෙර විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඉන්න සමයේදී ඔවුන් අධ්‍යාපනය සම්බන්ධයෙන් කිව්වේ අපේ රටේ අධ්‍යාපනය ඉතාම අවිධිමත්, දැන් නිදහස් අධ්‍යාපනය එන්න එන්න සීමා වෙමින් තිබෙනවා. ඔවුන් ඉතාම ජනාධිපතිවරණ සමයේදී ඔහු කියනවා පොළොන්නරුවේ දරුවෝ, කුරුණෑගල මලියදේවයට එනවා, පොළොන්නරුවේ දරුවෝ නුවර ධර්මරාජයට එනවා, ලෝකේ මෙහෙම කොහෙවත් නැහැ. එච්චර දරුවෝ එච්චර දුර ගෙවාගෙන එන්නේ ළඟ පාසලක් හොඳ පාසලක් නොමැති නිසා, ළඟ පහසුකම් නොමැති, පහසුකම් තිබෙන පාසලක් නොමැති නිසා. ඒ නිසා අපේ පාලනයක් යටතේ උපරිම කිලෝමීටර් තුනක් ඇතුළත දරුවෙකුට හොඳම පාසලක් ලබාදීම අපේ මූලික වගකීමක් හැටියට අපි සලකනවා, ඒ ඉටු කරනවා කියලා කියනවා. ජනතාවගේ ප්‍රීති ඝෝෂා මැද්දේ එහෙම කියනවා.

දැන් ජනාධිපතිවරයා දැන් මොකද කියන්නේ? දැන් කියනවා, ලංකාවේ පාසල් 10,000කට වැඩිය තියෙනවා. ඒ පාසල් 10,000න් සියයට 18ක් – ඒ කියන්නේ 10,000ක් කියලා හිතුවොත් 1,800ක් – ළමයි 50ට අඩු පාසල්. ඒ පාසල් තබා ගැනීම තේරුමක් නැහැ, ඒ පාසල් තබා ගැනීමෙන් ඒ ළමයින්ට විනෝද චාරිකාවක් යන්න බැහැ, සාහිත්‍ය තරඟයක් පවත්වන්න බැහැ. ඒ නිසා ඒ පාසල්වල ඉන්න දරුවෝ වෙනත් පාසල්වලට ගෙනියන්න ඕන, වෙනත් පාසල්වලට ගෙනියනකොට ප්‍රවාහන ප්‍රශ්නයක් මතු වෙනවා නම්, අපි ඒ ප්‍රවාහන ප්‍රශ්නයට අපි උත්තර දෙනවා කියලා.

අපි අහනවා ජනාධිපතිතුමාගෙන්, ඔබ ජනාධිපතිවරණ සමයේ කිව්වනේ අධ්‍යාපන උපකරණ වැට් බද්ද අයින් කරනවා කියලා. ඔබ ඒ පොරොන්දුව ඉතාම තිරසාර ලෙස කිව්වනේ. ඔබේ රැළිවලට එකතු වෙච්ච මහා ජනතාව අප්පුඩි පිට අප්පුඩි ගැහුවනේ. ඒ පිළිබඳ ප්‍රීති ප්‍රමෝදයට පත් වුණානේ. ඔබ වැට් බද්ද අයින් කළාද? අධ්‍යාපන පාසල් 1,800ක් වසා දමනවා කියන්නේ ඔබට ඒ ඔබගේ අතීත භූමිකාවට පස්ස හැරවීමක් නොවෙයිද?

ඒ නිසා ජනාධිපතිවරයාට අපි ඉතාම වගකීමෙන් කියනවා. මේ ප්‍රකාශය අපි පිළිකුල් සහගතව හෙළා දකිනවා. මේ එන්නේ අන් කවරකටවත් නෙමෙයි, මේ එන්නේ 1982 සිට අධ්‍යාපන ධවල පත්‍රිකාව හරහා එදා ජනතා විමුක්ති පෙරමුණ එරෙහි වෙච්ච, ජීවිත පූජාවෙන් රැකපු නිදහස් අධ්‍යාපනයට, නිදහස් අධ්‍යාපනය වලපල්ලට ගෙන යාමේ කතාව තමයි මේ පොඩ්ඩ පොඩ්ඩ හිමින් හිමින් කරන්නේ. පාසල් 1,800ක්, 10,000න් 1,800ක් වසා දමනවා කියන්නේ සියයට 20ක් පාසල් වසා දමනවා කියන්නේ මේ රටේ ගම්වල ඉන්න අහිංසක දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනයෙන් එම දරුවන් පිටමං කිරීමේ ඉතාම සහසික, නරුම ක්‍රියාකාරිත්වය තමයි මේ දිගහැරි කරන්න හදන්නේ.

අපි දන්නවා මේ පාසල් නිකන්, මේ පාසල්වල දරුවෝ අඩු වුණේ නැහැ. නිකන් අඩු වුණේ නැහැ. අපි දන්නවා අපේ රටේ පාසල්වලට විශේෂයෙන් 1977න් පස්සේ රෝගයක් වැළඳුණා. ඒ රෝගය තමයි ලොකු පාසල් ලොකු වෙනවා, පොඩි පාසල් එන්න එන්න පොඩි වෙනවා. ලොකු පාසල් එන්න එන්න ලොකු වෙනවා, පොඩි පාසල් එන්න එන්න පොඩි වෙනවා. මේක වුණේ ඇයි? මේක වුණේ අන් කවරක්වත් නිසා නෙමෙයි. ලොකු පාසල්වලට එන්න එන්න භෞතික සහ මානව සම්පත් වැඩි වැඩියෙන් ලැබෙන්න පටන් ගත්තා. පොඩි පාසල්වලට එන්න එන්න, ගමේ පාසල්වලට භෞතික සහ මානව සම්පත් එන්න එන්න එන්න එන්න අඩු වෙන්න පටන් ගත්තා.

ඒ හින්දා හැම දෙමාපියෙක්ම කැමතියි තමන්ගේ දරුවන්ට ඉතාම හොඳින් උගන්වන්න. හැම දෙමාපියෙක්ම කැමතියි තමන්ගේ දරුවාව හොඳම ඉස්කෝලෙකට යවාගන්න. හොඳම ඉස්කෝලේ බලද්දී ගමේ ඉස්කෝලේ හොඳම ඉස්කෝලේ නොවන කොට, හැම දෙමාපියෙක්ම බලනවා තමන්ගේ අත දිගහැරියේ තියෙන හොඳම පාසලට දරුවා දාන්න. එහෙනම් මොකද කරන්න ඕනේ? මේ පාසල් 1,800ක් වසා දමන එක නෙමෙයි, ගමේ පාසල මානව සම්පතෙන්, භෞතික සම්පතෙන්, දරුවෙක්ගේ අනාගතය ගොඩනැංවීමට හැකි වෙන පරිදි බලගන්වන එක. 

දුෂ්කර පාසල් තියෙනවා ගුරුවරු නැහැ. ඇයි නැත්තේ ගුරුවරු? ඒවට ගුරුවරුන්ට යන්න බස් එකක් නැහැ. ඒ ගුරුවරු ගිහිල්ලා නවතින්න, නවතින්න ගුරුවරුන්ට එතන නිල නිවසක් නැහැ. එතකොට ගුරුවරු යන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? ගුරුවරු ඒවට යවන්න ඕනේ. යවන ගමන් ඒ දුෂ්කර පාසල්වල සේවය කරන ගුරුවරුන්ට විශේෂ දීමනාවක්, දුෂ්කර දීමනාවන්, ඒ ගුරුවරුන්ට ධෛර්යය ඇතිවෙන පරිදි දෙන්න ඕනේ. නිල නිවාස පහසුකම් දෙන්න ඕනේ. හොඳ ගුරුවරු ඒ ගම්මානවලට යවන්න ඕනේ. හොඳ ගුරුවරු ඒ ඉස්කෝලවලට යවන්න ඕනේ. ඒ ඉස්කෝලවලට යවලා, කිලෝමීටර් තුනක් ඇතුළත – අද ලෝකයේ දියුණු රටවල් පයින් ඇවිදගෙන යන පාසල් තමයි ලෝකයේ අද හදන්නේ. අපි මොකක්ද කරන්න හදන්නේ? ජනාධිපතිතුමා කියනවා පයින් ඇවිදගෙන යන පාර වෙනුවට, පාසල වෙනුවට ඒ පාසල් වහනවා, වහලා ප්‍රවාහන ප්‍රශ්නයක් මතුවුණොත් අපි දෙනවලු.

අපි දෙනවලු ප්‍රවාහන පහසුකම්, වැට් බද්ද ඉවත් කළා වගේ දෙනවලු.

ඒ නිසා අපි කියනවා, "මේ පාසල්වලට අත තියන්න එන්න ලෑස්ති වෙන්න එපා. පාසල් වසා දැමීමට එහෙම, එහෙම ජනාධිපතිවරයාට ජනවරමක් දීලා නැහැ ලංකාවේ පාසල් 1,800ක් වසා දමන්න. 10,000න් සියයට 10ක් වසා දමන්න ජනවරමක් ලබාදීලා නැහැ. ජනවරම ලබා දුන්නේ ඔබට පාර්ලිමේන්තු ජනවරම 159ක් ලබා දුන්නෙත්, ජනාධිපතිවරයා හැටියට සුළුතර හෝ ජනවරමක් ලබාදීලා ජනාධිපති බවට පත් කළෙත්, ඔබ ජනාධිපතිවරණ සමයේ, ඔබ පාර්ලිමේන්තු මහා මැතිවරණ සමයේ නිදහස් අධ්‍යාපන අයිතිය සුරකිනවා කියලා පොරොන්දු පිට පොරොන්දු දීපු හන්දා. ඒවා මූලික නීති බවට පත් කරනවා කියලා කියපු හන්දා. ඒක තමයි ඔබත් ජනතාව අතර ඇතිවෙච්ච සම්මුතිය. නිදහස් අධ්‍යාපනය රකිනවා කියන සම්මුතිය තමයි ජනාධිපතිවරයා සහ ජනතාව අතර ඇතිවෙච්ච සම්මුතිය. ජනාධිපතිවරයා සහ මාලිමාව, ආණ්ඩුව අතර ඇතිවෙච්ච සම්මුතිය තමයි නිදහස් අධ්‍යාපනය සුරකින එක. එහෙම නැතුව පාසල් වසා දමන එක නෙවෙයි.

ඒ නිසා මේ පාසල් වසා දැමීමට ඉඟි බිඟි කිරීම අපි ඉතාම පිළිකුලෙන් හෙළා දකිනවා.

ඊළඟ දෙවැනි කාරණය තමයි, නිදහස් සෞඛ්‍යයට අත තියන්නයි යන්නේ. දැන් කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තා, මීට පෙරාතුව කැබිනට් තීරණයක් ගත්තා ඇතැම් විශේෂඥ සේවාවන්, ඇතැම් රසායනාගාර සේවාවන් පෞද්ගලික අංශයෙන් ගෙවා, පෞද්ගලික අංශයෙන් මිලදී ගන්න. මේක තමයි පළවෙනි පියවර. නිදහස් සෞඛ්‍යය වලපල්ලට ගෙන යාමේ පළවෙනි පියවර තමයි ඇතැම් විශේෂඥ සේවාවන් සහ ඇතැම් රසායනාගාර සේවාවන් පෞද්ගලික අංශයෙන් මිලදී ගන්න. ඒ තීරණය කැබිනට් මණ්ඩලයේ ගත්තට පස්සේ, ඒකේ දිගුවක් ලෙස දැන් ජනාධිපතිවරයා කියනවා, අපේ රටේ ජනතාව පොලේ ආවත් ඉස්පිරිතාලෙට එනවා, කඩේ ආවත් ඉස්පිරිතාලෙට එනවා, හන්දියට ආවත් ඉස්පිරිතාලෙට එනවා, හිතු හිතු හැටියට ඉස්පිරිතාලෙට එනවා, මෙහෙම ඉස්පිරිතාලෙට යන්න ඕනේ නැහැ, කොත්තමල්ලි ටිකක් තම්බලා ගෙදර ඉන්න පුළුවන් කියලා. 

මේ මොකටද මේ මොකටද මේ එන්න හදන්නේ ජනාධිපති? ඒ අන් කිසිවකට නෙමෙයි, රෝගී සංඛ්‍යාව ඉතාම සීමා සහිතව රෝහල්වලට ගෙනැල්ලා, රජයේ සෞඛ්‍ය වියදම් ටික අඩු කරන්න. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා "සෞඛ්‍යය කියන්නේ වෙළඳපොළක්. ඒක තියෙන්න ඕනේ, ඒක ඒ වෙළඳපොළ මාකට් එකට දාන්න ඕනේ. ඒ වෙළඳපොළ, වෙළඳපොළ බලවේග අනුව තීරණය වෙන්න ඉඩ හරින්න ඕනේ. අධ්‍යාපනය වෙළඳපොළක්. ඒ නොමිලේ උගන්වන්න ඕනේ නැහැ, ඒක වෙළඳපොළට දාන්න ඕනේ. අධ්‍යාපනය මාකට් එකට දාන්න ඕනේ. සෞඛ්‍යය මාකට් එකට දාන්න ඕනේ, වෙළඳපොළට දාන්න ඕනේ." මේ දෙකේම, මේ දෙකට තමයි මේ එන්න හදන්නේ.

දැන් අපි දන්නවා සෞඛ්‍ය සේවයේ විසඳනවා නම්, ජනාධිපතිවරයාට විසඳන්න ඕන තරම් ප්‍රශ්න තියෙනවා. අපි දන්නවා අපේ රටේ නිදහස් සෞඛ්‍යය ඉතා මැනවින් ක්‍රියාත්මක වෙන රටක්. මීට ඉතිහාසයේදී, දැනුත් අඩුපාඩු සහිතවත් ඒ නිදහස් සෞඛ්‍ය සේවය ක්‍රියාත්මක වෙනවා. කිලෝමීටර් පහක සීමාවක් ඇතුළේ අපේ රටේ ඕනෑම පුරවැසියෙකුට රජයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් හම්බවෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ රජයේ වෛද්‍ය මධ්‍යස්ථානයට ගියාට පස්සේ, එතනින් ඒ රෝගියාව පරීක්ෂාවට ලක් කරලා, එතනින් එතනින් පිළිවෙලින් පිළිවෙලට ඒ රෝගියාට සුවපත් භාවය ලබාදීම දක්වා වෙන සිරස් ගමනකට ඒ රෝගියාව යොමුවෙන ක්‍රමයක් තිබෙනවා. එහෙම සෞඛ්‍ය පද්ධතියක් අපිට තිබෙනවා, අඩුපාඩු සහිතව වුණත්. දැන් කරන්න ඕනේ ඒකේ තිබෙන අඩුපාඩු අයින් කරන එක, අඩුපාඩු හොයලා බලලා විසඳන එක.

උදාහරණයකට අපි එක අඩුපාඩුවක් කියන්නම්. දැන් කොළඹ ජාතික රෝහලේ බයිපාස් සැත්කමක් සඳහා මේ සැප්තැම්බර් පළවෙනිදා වෙනකොට 9,800ක පෝලිමක් තියෙනවා. පොරොත්තු ලේඛනයක් තියෙනවා කොළඹ ජාතික රෝහලේ බයිපාස් සැත්කමක් කර ගැනීමේ පොරොත්තු ලේඛනය 9,800යි රෝගීන්. ඇතැම් රෝගීන් අවුරුදු පහ, හය ඉන්නවා මේ පොරොත්තු ලේඛනයේ. නුවර රෝහලේ ගත්තත් එහෙමයි, කරාපිටිය රෝහලේ ගත්තත් එහෙමයි. මේ රෝහල්වල අවුරුදු පහ-හය ඉන්නවා බයිපාස් සැත්කමක් කරගන්න. ඇතැම් රෝගීන් මියැදෙනවා පෝලිමේම ඉන්න කාලය ඇතුළත. අන්න විසඳනවා නම් ජනාධිපතිවරයා අවධානය යොමු කරන්න ඕනේ කාරණා!

ඒ විතරක් නෙමෙයි, මේ පෝලිම්වල ඉන්න බැරි හින්දා මොනවා හරි කරලා, ඉඩමක් කඩමක් උගස් තියලා හරි, ගෙයක් දොරක් විකුණලා හරි, ටිකට් එකක් විකුණලා හරි, ලොතරැයියක් විකුණලා හරි, හිඟා කාලා හරි පෞද්ගලික අංශයේ රෝහල්වලට යනවා බයිපාස් සැත්කම කරගන්න. ඒකට ගියාට පස්සේ  18% ක වැට් එකක් ගහනවා. අඩු ගානේ අන්න ඒ වැට් එක අයින් කරන්න! එතකොට මේ පෝලිමේ ඉන්නේ නැතුව, තමන්ගේ මොනවා හරි කරලා අත දිගහැරියේ තියෙන ඥාතීන්ගෙන් ඉල්ලාගෙන හරි, හිතවතුන්ගෙන් ඉල්ලාගෙන හරි, ඉඩමක් කඩමක් විකුණලා හරි, ටිකට් එකක් ගහගෙන විකුණලා හරි බයිපාස් සැත්කම – ජීවත් වෙන්න, මරණයෙන් බේරෙන්න – පෞද්ගලික අංශයේ රෝහලකට හරි ගිහිල්ලා බයිපාස් සැත්කම කරගන්න පුලුවන්්.

“ඒක කරගැනීම සඳහා යද්දිත් රුපියල් 18%ක වැට් බද්දක් තියෙනකොට ඒකත් ඒ රෝගියාට මහා බරක්. ආන්න මහත්තයෝ, ඒක අඩු කරන්න! ඒ වගේම අත්‍යාවශ්‍ය ඖෂධ ටික රජයේ රෝහල්වලින් ලැබෙන වැඩපිළිවෙලක් හදන්න. ග්‍රාමීය හා පර්යන්ත රෝහල්වල අඩුපාඩු හොයලා බලලා ඉතාම ඉක්මනින් ඒ අඩුපාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කරන්න. 

එහෙම නැතුව මේ රෝගීන්ට කොත්තමල්ලි බිබී ගෙදර ඉන්න කියලා කියන්න එපා. දැනුත් බෙහෙත් තුන් වේලක් බොන්න ඕන නම් බොන්නේ එක වේලයි. බෙහෙත් පෙත්තක් බොන්න ඕන නම් බොන්නේ පෙත්තෙන් භාගයයි. දැනුත් බෙහෙත් මිල  දරාගන්න බැහැ. සෞඛ්‍ය වියදම්වල වැට් එක අඩු කරනවා කියලා ඔබ කිව්වත් වැට් එක අඩු කළෙත් නැහැ. ඒ නිසා අද රෝගී ජනතාව මැරි මැරී වැටෙන තත්ත්වයට පත්වෙලා තිබෙනවා. එහෙව් ජනතාවට කොත්තමල්ලි ටිකක් තම්බලා පොවලා ගෙවල්වල තියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ.

ඒ නිසා අපි කියනවා මේක ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසගත දේශපාලනයට පස්ස හැරවීමක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වට්ටෝරුව මුළුමනින්ම රටේ ජනතාවට පෙවීමක් තමයි මේ කරන්න යන්නේ. ඒ නිසා අපි කියනවා නිදහස් සෞඛ්‍යයට අත තියන්න එන්න එපා; නිදහස් අධ්‍යාපනයට අත තියන්න එන්න එපා! මේ නිදහස් සෞඛ්‍යය වනසන්න, නිදහස් අධ්‍යාපනය වනසන්න ඔබට වැඩිය බොහොම බලවත් පාලකයෝ උත්සාහ කළා. නමුත් මේ රටේ ප්‍රගතිශීලී ජනතාව මේවා ජීවිත පූජාවෙන් දිනාගත්තු අයිතිවාසිකම්. 

මේ රටේ ජනතාව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ජීවිත පූජා කළා, නිදහස් සෞඛ්‍යය වෙනුවෙන් ජීවිත පූජා කළා. ඒ නිසා අපි ආරාධනා කරනවා සියලු ප්‍රගතිශීලී, ජනතාවාදී දේශපාලන බලවේගවලට, බහුජන සංවිධානවලට සහ සියලු පුද්ගලයන්ට—මේ ජනාධිපතිවරයා කරන්න යන නිදහස් සෞඛ්‍යය වැනසීමේ දුෂ්ට, සහසික මෙහෙයුම නැවැත්වීම සඳහා වහාම පියවර ගන්න, වහාම එකට එකතු වෙන්න! ඒ වගේම නිදහස් අධ්‍යාපනය වැනසීමේ මේ ජනාධිපතිවරයාගේ සහ මාලිමා ආණ්ඩුවේ දුෂ්ට මෙහෙයුම පැරදවීම සඳහා සියලු බලවේග එකට එකතු වෙන්න ඕනා. 

අපි ලෑස්තියි අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් සහ සෞඛ්‍යයේ අයිතිය වෙනුවෙන් ඕනෑම සටනකට කොන්දේසි විරහිතව ඕනෑම බලවේගයක් සමඟ එකතු වෙමින් කටයුතු කරන්න කියන පණිවිඩයත් මේ වෙලාවේ ලබා දෙනවා. ඒ වගේම තවදුරටත් ප්‍රමාද නොකොට වී ගොවියාට සාධාරණ මිලක් ලබාදීමේ ගැටලුව වහාම විසඳන්න කියන එකත් අපි මේ වෙලාවේ ජනාධිපතිවරයාට යෝජනා කරනවා."

ඉන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් ඒ මහතා,

මාධ්‍යවේදියා:

“දැන් අපි දැක්කා පහුගිය දවසේ අනුරාධපුරයේ තිබ්බ පොහොට්ටු රැලියේදී ඔබතුමාගේ නායකතුමාත් සහභාගි වුණානේ. ඔබතුමාගේ නායකතුමා ඉස්සර ඉඳන්ම දේශප්‍රේමය ගැන කතා කරනවා, රට ජාතිය වෙනුවෙන් කතා කරනවා. එහෙම තියෙද්දි අපි දැක්කා එතුමා ඉන්න වේදිකාවේදීම අර අර්ජුනා මන්ත්‍රීතුමා “මම කොටියා” කියලා කියනවා. මේක ඔබතුමාලා කොහොමද දකින්නේ?"

ජයන්ත සමරවීර මහතා:

“ඒක අපිට අරුමයක් නෙවෙයි. දැන් ප්‍රශ්නය වෙන්නේ ඔබට මේ ප්‍රශ්නය මතු කිරීමේ සාධාරණත්වයක් තිබුණා. එම රැලියට සහභාගි වුණු ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහෝදරයා, අර්ජුනා රාමනාදන් මන්ත්‍රීවරයා ඉන්න වේදිකාවේ 'මම කොටියා' කියද්දී මේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය ගැන කතා කළේ නැත්නම්, දෙමළ කොටි බෙදුම්වාදය ගැන වචනයක්වත් කතා කළේ නැත්නම්, ඊට එරෙහි නොවුණා නම්, එහි අනාගත මාර්ග සිතියම ගැන නොකිව්වා නම් ඔන්න ඔබට සාධාරණයි ප්‍රශ්න මතු කරන එක. 'විමල් වීරවංශ හැමදාම දේශප්‍රේමය ගැන කතා කරනවා, බෙදුම්වාදය ගැන කතා කරනවා, ත්‍රස්තවාදය ගැන කතා කරනවා; නමුත් මේ වේදිකාවේ අර්ජුනා රාමනාදන් 'මම කොටියා' කියද්දී විමල් වීරවංශ සද්ද නැතුව හිටියා, කට වහගෙන හිටියා. එහෙම වුණේ ඇයි? එහෙම වුණේ ඒ වේදිකාවට එනවා නම් එක්කෝ මහින්ද රාජපක්ෂ මහත්තයා හරි, නාමල් රාජපක්ෂ මහත්තයා හරි ආරාධනා කරනකොටම 'මේවා නම් කතා කරන්න එපා' කියලා නිර්දේශයක් නිකුත් කරලා තිබුණද? ඒ හින්දද කට වහගෙන හිටියේ?' කියන සාධාරණ ප්‍රශ්නයක් ඔබට මතු වෙන්න තිබුණා.

ඔබ දන්නවා අර්ජුනා රාමනාදන් මන්ත්‍රීතුමා කියන්නේ තනි පුද්ගලයෙක්, ස්වාධීන මන්ත්‍රීවරයෙක්. ඔහු අද මේ වේදිකාවට නැග්ගේ 'කොටියෙක්' හැටියට නෙවෙයි, මේ මාලිමා ආණ්ඩුවේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය වැනසීමට එදිරි වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියටයි. ඉතින් ඔහු ඒ වේදිකාවේ ඔබ කියන කතාව කළා. හැබැයි ඔහුගේ ඒ කොටසට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයත් ඔහු කතා කළා.

ඊට වඩා වැදගත් වෙන්නේ එම රැලියේදී අපේ පක්ෂයේ නායක විමල් වීරවංශ සහෝදරයා ඉතා මැනවින් රණවිරු දඩයම පිළිබඳ අවධාරණය කිරීමයි. නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නේ මහින්ද රාජපක්ෂගේ පුතා වීම නිසාත්, කොටි බෙදුම්වාදය සහ ත්‍රස්තවාදය ඉවර කරපු නිසා ඒකට පලිගැනීමටත් බව එතුමා හෙළිදරව් කළා. ඒ විතරක් නෙමෙයි, බෙදුම්වාදී න්‍යාය පත්‍රය හෙළිදරව් කළා. නුදුරේදී උතුර සහ නැගෙනහිර පළාත් සභා මැතිවරණය පවත්වන බවත්, ඒ පළාත් සභා මැතිවරණයෙන් අනතුරුව ඩයස්පෝරාවට කැමති අය ආණ්ඩුකාරවරුන් හැටියට පත් කරන බවත් කිව්වා. ඒ ආණ්ඩුකාරවරු පත් කළාට පස්සේ මුදල්, ඉඩම්, පොලිස් බලතල ආදී ප්‍රඥප්තීන් එන්න නියමිත බවත්, එතකොට රට බෙදී යන බවත් මැනවින් අවධාරණයෙන් කිව්වා. ඒ විතරක් නෙමෙයි, ඊට එරෙහිව දැන් ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍යයි කියන එකත් ඔහු අවධාරණය කළා.

ඒ නිසා අර්ජුනා රාමනාදන් මන්ත්‍රීතුමා හිටියා කියලා, ඔහු 'කොටියා' කිව්වා කියලා ඒ වේදිකාවේ විමල් වීරවංශ මන්ත්‍රීතුමා සද්ද නැතුව හිටියේ නැහැ. අර්ජුනා රාමනාදන් මන්ත්‍රීතුමා ළඟ තියාගෙනම, ඔහු අසා සිටියදීම බෙදුම්වාදී න්‍යාය පත්‍රය ගැනත්, ඩයස්පෝරාව ගැනත්, ඔවුන්ගේ අභිලාෂයන් ගැනත්, එය වැළැක්වීම සඳහා අවශ්‍ය වන මැදිහත්වීම ගැනත් ඉතාම නිරවුල්ව, නිර්භයව, දැඩිව ප්‍රකාශ කළා. ඒ නිසා ඔය අහන අයට අපිට කියන්න තියෙන්නේ විමල් වීරවංශ සහෝදරයා අපේ දේශපාලනය ඉතාම නිවැරදිව ඒ වේදිකාව ඇතුළේ ක්‍රියාවට නැංවූවා කියන එකයි.”

මාධ්‍යවේදියා:

“දැන් විමල් වීරවංශ සහෝදරයා ඒ විදිහට ඒ වේදිකාවේ කොච්චර කතා කළත්, වැඩේ ඉවර වුණාම විමල් වීරවංශ මහත්තයා එක්ක නෙමෙයි ගොඩක් මිනිස්සු පස්සෙන් ගියේ, අර අර්ජුනා මන්ත්‍රීතුමා එක්ක නේද?”

ජයන්ත සමරවීර මහතා:

“ඒක ඉතින් ඔබේ නිරීක්ෂණය වෙන්න පුළුවන්. නමුත් ඒක එතන හිටපු මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්නේ. කොටි ත්‍රස්තවාදය තමයි ලංකාවේ ජනතාවගේ බලවත්ම හතුරා වුණේ—දෙමළ ජනතාව නෙමෙයි. එතකොට ඒ කොටි ත්‍රස්තවාදී නායකයෙක් අද මේ වේදිකාවට ගොඩවැදිලා, මේ රටේ ජනතාවගේ පොදු ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න හවුල් වෙලා, පොදු ජනතාවගේ අභිලාෂයන් සමඟ එක පෙළට සිටගැනීම ජනතාවට යම් ආශ්වාදයක් ගෙනෙන කාරණයක්. ඔහු පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීම්වලදීත් ජනතාවගේ ආකර්ෂණය දිනාගෙන තිබෙනවා. ඔහු “මම කොටියා' කියන එක, 'ප්‍රභාකරන් දෙවියෙක්” කියන එක ව්‍යතිරේකයක් හැටියට තියෙනවා. හැබැයි එසේ තිබියදී, සාමාන්‍ය විපක්ෂයේ ඇතැම් දේශපාලන ව්‍යාපාර සහ නායකයන් මුනිවත රකිද්දී, අප්‍රාණිකව සිටිද්දී, කොඳු කඩාගෙන ඉඳිද්දී අර්ජුනා රාමනාදන් මන්ත්‍රීවරයා ආණ්ඩුවත් එක්ක දැඩි ගැටුමක නියැලෙනවා. එතකොට දකුණේ ජනයාට ඒක යම් ආශ්වාදනීය කාරණයක්. ඔහුට යම් ආදරයක් දිනාගැනීමට හැකි වී තිබෙනවා නම් ඒ ඔහුගේ දක්ෂතාවය.

නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ රටේ ජනයා කොටි බෙදුම්වාදය පිළිගන්නවා කියලාවත්, ඒ බෙදුම්වාදී දෘෂ්ටිවාදයට ආදරය කරනවා කියලාවත්. ජනයා ආදරය කරන්නේ ඔහු සාමාන්‍ය ජනයාගේ සහ ආණ්ඩු විරෝධී ජනයාගේ අභිලාෂයන් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරන නිසයි. ජනතාවට ඕනේ මේ ආණ්ඩුවේ සැහැසිකම්, නරුමකම්, දුෂ්ටකම්, දේශද්‍රෝහී සහ ජනතාද්‍රෝහීකම්වලට එරෙහිව යකාගේ අම්මා එක්ක හරි එකතු වෙලා මේක නවත්වන්නයි.”

මාධ්‍යවේදියා:

“ඒ කියන්නේ විමල් මහත්තයාගේ කතා අහලා ජනතාවගේ සිත් දිනාගන්න බැරිද?”

ජයන්ත සමරවීර මහතා:

“විමල් වීරවංශ මහත්තයා ජනතාවගේ සිත් දිනාගැනීම ගැන ඔබටත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඔබතුමා දන්නවනේ විමල් වීරවංශ මහත්තයාගේ කතාවල තිබෙන හරයත් එක්ක මේ රටේ ජනතාව කොච්චර පෙළගැහෙනවද, ඒ කතාවල ආකර්ෂණය කොච්චරද, ඒ කතා ජනතාව කොච්චර අධිෂ්ඨානශීලී සහ ප්‍රඥාවන්ත කරනවද කියන එක. ඒක මම නැවත නැවතත් කිව යුතු කාරණයක් නෙමෙයි.”

මාධ්‍යවේදියා:

“පසුගිය දවස්වල චතුරංග අබේසිංහ මහත්තයා දිගින් දිගටම කිව්වා ලංකාවේ සංවර්ධන කටයුතුවලට කම්කරුවෝ නැහැ, ශ්‍රමිකයෝ නැහැ කියලා. වක්‍රාකාරව හර්ෂණ සූරියප්පෙරුම අමාත්‍යවරයාත් ඒ ගැන කිව්වා. මේ වක්‍රාකාරව ලෑස්ති වෙන්නේ ඉන්දියාවෙන් අඩු පඩියට වැඩ කරන ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ගෙන්නන්නද? ඔබතුමාලත් කාලයක් ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව කතා කළා නේද?"

ජයන්ත සමරවීර මහතා:

“ඔබ ඉතා වැදගත් ප්‍රශ්නයක් මතු කළේ. දැන් ඔබ දන්නවා රටට හොරෙන් ඉන්දියානු අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා සමඟ ගිවිසුම් 8ක් අත්සන් කළා. මේ මොනවාද අත්සන් කරපු ගිවිසුම් කියලා තාම රටේ ජනතාව දන්නේ නැහැ. ඊට අමතරව නොබෝදා ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයා සමඟ ගිවිසුම් 3ක් අත්සන් කළා. ඒ පිළිබඳවත් ජනතාවට තාම හොඳ අවබෝධයක් නැහැ. ඒ වගේම ඉන්දියානු තානාපති කාර්යාලයත් එක්ක අපේ රටේ ඛනිජ සම්පත් ගවේෂණය සහ කැනීම පිළිබඳ ගිවිසුමකුත් අත්සන් කළා. දැන් ඉන්දියාවත් එක්ක ගිවිසුම් පිට ගිවිසුම් ගහනවා.

ඔබ කිව්වා වගේ ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ ලංකාවේ ජනයාව දැනුවත් කරපු, ඉන්දියානු අධිරාජ්‍යවාදයෙන් මේ රට නිදහස් කරගන්න ඕනේ කියලා කල්පනා කරපු දේශපාලන ව්‍යාපාරය (ජා.වි.පෙ.) තමයි අද ඉන්දියානු ව්‍යාප්තවාදයේ ප්‍රචාරකයෝ සහ ප්‍රවර්ධකයෝ බවට පත් වෙලා තියෙන්නේ. ඒක තමයි දෛවයේ සරදම.

කොහොම වුණත් අපිට පේනවා ඉන්දියාව මුහුණ දෙන ලොකුම අර්බුදය තමයි විරැකියාව. අපිට තිබෙන තොරතුරු අනුව ඉන්දියාවේ දැනටමත් කෝටි 3-4ක ප්‍රජාවක් ඉන්නවා රැකියාවක් නැතුව ඉතා අන්ත දුක්ඛිත ජීවිත ගෙවන. ඉන්දියාව උත්සාහ කරන්නේ කලාපයේ රටවලට කොහොමහරි ඒ විරැකියාවෙන් පෙළෙන මිනිස්සුන්ව යවන්න. මීට පෙර මහින්ද රාජපක්ෂ සමයේ CEPA ගිවිසුම ගේන්න හදද්දී මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ ව්‍යාපාරිකයන්ගේ, වෘත්තිකයන්ගේ සහ දේශපාලන බලවේගවල ඉල්ලීමට ඒක අත්සන් කරන එක නතර කළා. 

ඒ පිළිබඳව අපිට ගෞරවයක් තියෙනවා. හැබැයි ඉන්දියාව එතනින් නතර වුණේ නැහැ. යහපාලන සමයේ ETCA නමින් නැවත වතාවක් ඒ ගිවිසුම ඊට වැඩිය පුළුල් කොට, බලවත් කොට ක්‍රියාත්මක කරන්න හැදුවා. නමුත් යහපාලන ආණ්ඩුව දුර්වල කිරීමට දේශප්‍රේමී ජාතිකවාදී බලවේගවලට පුළුවන්කම ලැබුණු නිසා ඒක යථාර්ථයක් බවට පත් කරගන්න බැරි වුණා.

දැන් අපට තිබෙන තොරතුරු අනුව මාලිමා රජය ඉන්දියාව සමඟ ඒ ගිවිසුම එක්කෝ අත්සන් කර තිබෙනවා, නැත්නම් අත්සන් කිරීමට නියමිතව තිබෙනවා. ඒ ආරංචිය තමයි මේ එන්නේ. දැනටමත් ඉන්දියානුවන්ට “on Arrival Visa” (පැමිණීමේදී ලබාදෙන වීසා) ලබා දෙනවා. හැබැයි ශ්‍රී ලාංකිකයෙක් දඹදිව වන්දනාවේ යනකොට වීසා එකක් ගන්න මාසයක්, එකහමාරක් යනවා. ඉන්දියානුවන්ට එහෙම නැහැ, ඒ අවකාශය දැන් දීලා ඉවරයි. දැන් ඉන්දියාව කෙරෙහි බොහොම ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. අපට තිබෙන තොරතුරු අනුව එක්කෝ දැන් හොරෙන් අත්සන් කරලා ඉවරයි, නැත්නම් අත්සන් කිරීමට නියමිතයි. කොහොම වුණත් මේ රටේ අපේ අනාගත දූදරු පරම්පරාවට වෙන්න තියෙන ලොකුම විපත සිදුවෙලා ඉවරයි, නැත්නම් සිදුවෙන්න නියමිතයි. මේවා අත්සන් කළොත් අපේ දරුවන්ට වෙන්නේ මුහුදේ පනින්න තමයි. ඒක නම් හරි පැහැදිලියි.

ඔබ සැමට ස්තූතියි!"


සම්බන්ධිත පුවත් | Related News

එක්සත් ජනපදය විසින් පනවා ඇති දැඩි ආර්ථික හා බලශක්ති සම්බාධක හමුවේ කියුබාවේ දෛනික ජන ජීවිතය සහ සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට ලක්ව තිබුනද කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක නොවන බව කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio මහතා පවසයි.
කොටි සංවිධානයේ හිටපු යාපනය දිස්ත්‍රික් දේශපාලන අංශ නායක රාසයියා පතීපන් හෙවත් තිලීපන්ගේ 39 වන අනුස්මරණය වෙනුවෙන් යාපනය නල්ලූර් ප්‍රදේශයේ ඉදිකරන ලද ලෝකඩ පිළිරුවක් නිරාවරණය කර ඇති බව වාර්තා වේ.
වත්මන් රජය 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරනු ලැබුවේ අධිකරණය ඇතුළු සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම තම ග්‍රහණයට ගනිමින් රාජ්‍ය බලය අත්පත් කරගැනීමේ අරමුණින් බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
රාජ්‍ය සම්මානනීය නාට්‍ය රචක සහ අධ්‍යක්ෂ අඛිල සපුමල්ගේ විශිෂ්ට නිර්මාණයක් වන "රතු මඟුල් කපුවා" වේදිකා නාට්‍යය සැප්තැම්බර් 18 වන සිකුරාදා දින බොරැල්ල YMBA ශාලාවේදී වේදිකා ගත කිරීමට කටයුතු යොදා ඇත. එදින පස්වරු 3.30 සහ පස්වරු 6.30 යන වේලාවන්හිදී දර්ශන වාර දෙකක් පැවැත්වේ.
දේශීය ආදායම් සංශෝධන පනතට අනුව විනිසුරුවරුන්ගේ වැටුප් වලින් අත්තිකාරම් පෞද්ගලික ආදායම් බදු (APIT) අයකිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත් තීරණය නීත්‍යනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා නීතිවිරෝධී ලෙස මගී සේවා බලපත්‍ර 56ක් නිකුත් කිරීමේ සිද්ධියකට අදාළව, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) විසින් පසුගියදා උතුරු මැද පළාත කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලද දේශපාලන රැලි මඟින් වත්මන් දේශපාලන පක්ෂවල පවතින අස්ථාවරභාවය සහ ප්‍රතිපත්ති විරහිත භාවය මනාව පැහැදිලි වන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ සඳහන් කරයි.
ඇමරිකාවේ ඩීසල් වල සාමාන්‍ය මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් නව සර්වකාලීන ඉහළම අගයක් වාර්තා කරමින්, ගැලුමකට ඩොලර් 6.31ක් (ලීටර් 3.8ක් පමණ) හෙවත් ඩීසල් ලීටරයක් අමෙරිකානු ඩොලර් 1.67 දක්වා ඉහළ ගොස් ඇති බව, ඊයේ(16) දිනයේදී ජාත්‍යන්තර විශ්ලෙෂකයන් විසින් ඇමරිකානු මෝටර් රථ සංගමයේ (AAA ) දත්ත අධ්‍යයනය කිරීමෙන් පසුව පවසා ඇතැයි වාර්තා වේ.
උත්තරීතර අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී, අතිපූජ්‍ය බලපිටියේ සිරි සීවලී නායක හිමිපාණන් වහන්සේ විසින් ශ්‍රී දළදා වහන්සේගේ කරඬුව වෙනස් කිරීම සම්බන්ධයෙන් විශේෂ අදහස් දැක්වීමක් සිදුකර තිබේ.

ප්‍රධාන පුවත්

"කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක වන්නේ නැහැ".. - කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio

එක්සත් ජනපදය විසින් පනවා ඇති දැඩි ආර්ථික හා බලශක්ති සම්බාධක හමුවේ කියුබාවේ දෛනික ජන ජීවිතය සහ සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට ලක්ව තිබුනද කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක නොවන බව කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio මහතා පවසයි.

ඇමරිකාවේ ඩීසල් මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් ඉහළට ! ඉතිහාසයේ ඉහළම අගය බව විශ්ලේෂකයෝ පවසති !

ඇමරිකාවේ ඩීසල් වල සාමාන්‍ය මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් නව සර්වකාලීන ඉහළම අගයක් වාර්තා කරමින්, ගැලුමකට ඩොලර් 6.31ක් (ලීටර් 3.8ක් පමණ) හෙවත් ඩීසල් ලීටරයක් අමෙරිකානු ඩොලර් 1.67 දක්වා ඉහළ ගොස් ඇති බව, ඊයේ(16) දිනයේදී ජාත්‍යන්තර විශ්ලෙෂකයන් විසින් ඇමරිකානු මෝටර් රථ සංගමයේ (AAA ) දත්ත අධ්‍යයනය කිරීමෙන් පසුව පවසා ඇතැයි වාර්තා වේ.

රජ්ජුරුවන්ගේ කරඬුව ඉවත් කර අලුතින් දළදා කරඬුවක් ආදේශ කිරීම සුදුසුද?.. - අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී හිමියන්ගෙන් විශේෂ අදහස් දැක්වීමක්..

උත්තරීතර අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී, අතිපූජ්‍ය බලපිටියේ සිරි සීවලී නායක හිමිපාණන් වහන්සේ විසින් ශ්‍රී දළදා වහන්සේගේ කරඬුව වෙනස් කිරීම සම්බන්ධයෙන් විශේෂ අදහස් දැක්වීමක් සිදුකර තිබේ.

2/3ක බලයක් ලැබුනු කිසිදු ආණ්ඩුවක් සම්පූර්ණ ධුර කාලය ඉඳල නෑ.. - උවිඳු විජේවීර

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) බලයක් ලබාගත් කිසිදු ආණ්ඩුවකට තමන්ගේ සම්පූර්ණ ධුර කාලය සම්පූර්ණ වන තෙක් බලයේ රැඳී සිටීමට නොහැකි වී ඇති බව 'දෙවන පරපුර' පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.

බොරු කියන එක ආත්මගත ක්‍රියාවක් බවට පත්වෙලා.. - වත්මන් ආණ්ඩුවේ දේශපාලන භාවිතාව හා රටේ ඉදිරි දිශානතිය ගැන විමල් වීරවංශගෙන් අනාවරණයක්..

ජාතික නිදහස් පෙරමුණේ නායක සහ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් දේශපාලන තත්ත්වය සහ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් ගමන්මඟ පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කරයි.

එයාර් බස් ගනුදෙනුවට නාමල් රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව..

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාල සැකකරුවන් සම්බන්ධයෙන් නිතිපති උපදෙස් ලැබී ඇති බැවින් අදාල චෝදනා ප්‍රමාදයකින් ‍තොරව ගොනු කරන බව නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ ඊයේ (16) ප්‍රකාශ කළේය.

ගොවියා අසරණ කර, නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවාව වනසන මාලිමා රජයේ රහස් ETCA න්‍යාය පත්‍රය ජයන්ත සමරවීර හෙළිකරයි..

වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් පිරීමට ආසන්න වෙද්දීත් මෙරට ගොවි ජනතාවගේ වී අස්වැනු සඳහා සාධාරණ මිලක් හා විධිමත් මිලක් ලබාදීමට අපොහොසත් වී ඇති රජය, මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ උපදෙස් මත ක්‍රියා කරමින් ගොවියාගේ අයිතීන්වලට පයින් ගසා ඇති අනුර කුමාර දිසානායකගේ “බොරු කියන ආණ්ඩුව” ගොවිමාගේ ප්‍රශ්න විසදීම තව වසරකින් කල් දමා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා චෝදනා කරයි.

නාමල් ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ⁣විසින් සැකකරුවෙකු ලෙස නම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (16) නියෝග කළේය.

කථානායකට එරෙහිව බරපතළ දූෂණ චෝදනා.. - අල්ලස් කොමිසමෙන් විමර්ශන ආරම්භ වෙයි..

වත්මන් කථානායක ජගත් වික්‍රමරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

දුම්රිය වෘත්තීය සමිති 26ක් අද මැදියම් රැයේ සිට වර්ජනයේ..

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පරිපාලනමය ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් පෙර සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

අතුරුදහන් වූ ඥානසාර හිමි යළි මතුවේ.. ගෝඨාභය, සෞදි සහ නෝර්වේ ඩීල් ගැන හෙළිදරව්වක්..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතාගේ Udaya Gammanpila යූටියුබ් නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන "චෝදනාගාරය" වැඩසටහනට එක්වෙමින් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්, උන්වහන්සේට එරෙහිව සමාජයේ පවතින ප්‍රධාන ආන්දෝලනාත්මක චෝදනා කිහිපයකටම සෘජුව පිළිතුරු ලබා දී තිබේ.

මරාගෙන මැරෙන පුතුන් හැදූ ඊබ්‍රහීම්ලා සහ පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි රවිලා ශානිලා එළියේ.. බුද්ධි අංශ නිලධාරීන් ඇතුළේ.. - විමල් වීරවංශ

පාස්කු ප්‍රහාරය පිළිබඳව පූර්ව දැනුවත් වීමකින් සිටි බවට පුද්ගලයින් අත්අඩංගුවට ගන්නේ නම් ඒ පිළිබඳව පූර්ව දැනුවත් වීමකින් සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, එවකට සිටි පොලිස්පති මෙන්ම රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන අයවළුන් ද මුලින්ම අත්අඩංගුවට ගතයුතුව තිබූ බවත්, මරගෙන මැරෙන පුත්තු දෙන්නා හැදූ ඊබ්‍රහීම් ද දැන් එළියේ සැපෙන් ගතකරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ආණ්ඩුවේ බලු බද්දට පසු තන බද්දකුත් එයි ද?

ශ්‍රී ලංකාවේ සුනඛයින් වසරක් පාසා ලියාපදිංචි කිරීම සහ සුනඛයන් ලියාපදිංචියට ගාස්තුවක් අයකර ගැනීම සම්බන්ධයෙන් නව පනත් කෙටුම්පතක් හදුන්වාදීමට ආණ්ඩුව විසින් පියවර ගෙන ඇත.

අගවිනිසුරුවරයාට ලැබුණු වාහන බලපත්‍රවලට මොකද වුනේ?.. - ධර්මශ්‍රී කාරියවසම්ගෙන් හෙළිදරව්වක්

අගවිනිසුරුවරයාගේ තීරුදුබදු රහිත වාහන බලපත්‍ර ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා ප්‍රශ්න කරන්නේ අගවිනිසුරුවරයා නීති විරෝධී වැඩක් කළා නම් ඔහු නීතිය පසිඳලන්නේ කෙසේදැයි යන්න ය.

"ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් කරා යන අනුර කුමාරගේ පාලනයට එරෙහිව ජාතික බලවේග එකමුතු විය යුතුයි".. – අනුරාධපුරයේදී විමල් වීරවංශගෙන් ප්‍රබල ප්‍රකාශයක්

වත්මන් පාලනය රට හමුදා සහ සංවර්ධන ජයග්‍රහණ අත්කර දුන් නායකයින්ගෙන් පළිගනිමින්, ආර්ථික හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වනසන ව්‍යවස්ථාපිත ඒකාධිපති ගමනක නිරත වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. පසුගිය 12 වනදා අනුරාධපුරයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළිය අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.