News Category
From Date
To Date
Maximum Number of Result

මිල සූත්‍රයත් නෑ.. ඉන්ධනවල ප්‍රමිතියත් නෑ.. ලීටරයේ පරිමාවත් නෑ.. - තෙල් සමාගම් සමග එක්ව ආණ්ඩුව ජනතාවගෙන් ගසා කන්නේ මෙහෙමයි.. - ජයන්ත සමරවීරගෙන් අනවාරණයක්

Aug 20, 2026 at 03:04 PM
|

වත්මන් රජය යටතේ මෙරට ඉන්ධන පාරිභෝගික ජනතාව දැඩි අසාධාරණයකට, අයුක්තියකට සහ සූරාකෑමකට ලක්ව ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා අද උදේ (20) බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

අද වන විට රට තුළ පවතින අධික ඉන්ධන මිල හමුවේ වැට් සහ ආනයන බදු ඉවත් නොකර පාරිභෝගිකයා පිට අධික බරක් පටවා ඇති අතර, ඊටත් වඩා බරපතළ තත්ත්වය වන්නේ අධික මිලක් ගෙවා ලබාගන්නා ඉන්ධනවල නිසි කාර්යක්ෂමතාවයක් සහ ප්‍රමිතියක් නොමැති වීම බව හෙතෙම පෙන්වා දුන්නේය. විදුලි හා ජල පාරිභෝගිකයන්ට අසාධාරණයක් සිදුවූ විට මහජන උපයෝගීතා කොමිසම (PUCSL) හරහා සහනයක් ලබාගැනීමට යාන්ත්‍රණයක් තිබුණද, ඉන්ධන පාරිභෝගිකයා වෙනුවෙන් එවැනි කිසිදු නියාමන ආයතනයක් ක්‍රියාත්මක නොවීම නිසා ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි ඔහු සඳහන් කළේය.

විශේෂයෙන්ම යතුරුපැදි, ත්‍රිරෝද රථ, මෝටර් රථ සහ වෑන් රථ හිමියන් ඉන්ධන ලීටරයකින් වෙනදා ධාවනය කළ කිලෝමීටර් ප්‍රමාණය අද වන විට ධාවනය කිරීමට නොහැකි බවට දැඩි මැසිවිලි නගන බවත්, ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගෙන් කළ විමසීම්වලදී මෙම වංචාවන් තහවුරු වී ඇති බවත් ඔහු පැවසීය.

මෙම ඉන්ධන අර්බුදය සහ ජාවාරම් පිටුපස ඇති ප්‍රධාන කරුණු කිහිපයක් ජාතික නිදහස් පෙරමුණ මෙලෙස පෙන්වා දෙයි:

බෙදුම්කරුවන්ගේ කොමිස් කප්පාදුව සහ මීටර් වෙනස් කිරීම:

ලංකාවේ ඉන්ධන පිරවුම්හල් 800ක් පමණ හිමි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC), බෙදුම්කරුවන්ට මීට පෙර ගෙවූ 3%ක ලාභ ප්‍රතිශතය 1.5% දක්වා අත්තනෝමතික ලෙස අඩු කර ඇත. අධිකරණ නියෝගයක් ලැබුණද එය නොතකා අභියාචනා කරමින් සංස්ථාව මෙම අඩු කිරීම පවත්වාගෙන යයි. මේ හේතුවෙන් සේවක වැටුප් හා නඩත්තු වියදම් පියවාගත නොහැකිව පිරවුම්හල් වැසී යාමේ තර්ජනයක් මතුව ඇති අතර, පාඩුව පියවා ගැනීමට ඇතැම් පිරවුම්හල්කරුවන් පොම්ප මීටර් වෙනස් කර පෙට්‍රල් ලීටරයකින් මිලිලීටර් 150-200ක් අතර ප්‍රමාණයක් වංචා කරන බව අනාවරණය වී ඇත.

භූමිතෙල් කලවම් කිරීම: 

පවතින පාඩුව පියවා ගැනීම සඳහා ලීටර් 6,600ක පෙට්‍රල් තොගයකට භූමිතෙල් ලීටර් 300-400ක් පමණ අනවසරයෙන් මිශ්‍ර කර බාල තෙල් අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවත්, එමඟින් වාහන වලට හානි සිදුවන අතරම ධාවන කාර්යක්ෂමතාව බිඳවැටෙන බවත් චෝදනා කෙරේ.

පරණ පොම්ප භාවිතය සහ නියාමනයක් නොමැතිකම:

කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව හෝ CPC ප්‍රාදේශීය කළමනාකරුවන් මාස 6කට වරක් සිදුකළ යුතු මීටර් පරීක්ෂා කර මුද්‍රා තැබීම් නිසි පරිදි සිදු නොකරන බවත්, වසර 20-30ක් පැරණි දෝෂ සහිත පොම්ප හරහා පාරිභෝගිකයා අඛණ්ඩව රැවටීමට ලක්වන බවත් පැහැදිලි කෙරිණි.

IOC සමාගමේ අනවසර 'ඔක්ටේන් 93' විකිණීම:

 ලංකාවට ආනයනය කිරීම සඳහා ජාත්‍යන්තර භාණ්ඩ වර්ගීකරණ පද්ධතියේ (HS Code) කිසිදු ලියාපදිංචියක් නොමැති 'ඔක්ටේන් 93' නමින් ඉන්ධන වර්ගයක් IOC පිරවුම්හල් හරහා පමණක් නීතිවිරෝධී ලෙස අලෙවි කරමින් සිටී. ඔක්ටේන් 92 පෙට්‍රල් වලට යම් රසායනික ද්‍රව්‍ය (Additives) එක්කර, රුපියල් 67ක් පමණ වැඩි මිලකට එය අලෙවි කරමින් පාරිභෝගිකයා ගසාකන බව සමරවීර මහතා චෝදනා කළේය.

ඉන්ධන මිල සූත්‍රය අතුරුදන් වීම: 

පසුගිය පාලන සමයේ දූෂණ චෝදනා එල්ල වුවද මාස්පතා ඉන්ධන මිල සූත්‍රය (Price Formula) ප්‍රසිද්ධ කළ බවත්, එමගින් නැව් ගාස්තු, ගුදම් ගාස්තු සහ බදු ප්‍රමාණයන් ජනතාවට දැකගත හැකි වූ බවත් ඔහු සිහිපත් කළේය. එහෙත් විනිවිදභාවය ගැන කතා කරමින් බලයට පත් වත්මන් රජය, වසර දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් මිල සූත්‍රය ඉදිරිපත් නොකරමින් පාරිභෝගිකයාගේ සාක්කුවට තට්ටු කරන බවට චෝදනා එල්ල විය.

මේ සම්බන්ධයෙන් වගකිවයුතු අමාත්‍යාංශය, අමාත්‍යවරයා සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙන්වා දෙන ජාතික නිදහස් පෙරමුණ, පහත කරුණු 3 වහාම ඉටුකරන ලෙස රජයට බලකර සිටී:

  • වැඩි මිලක් ගෙවා බාල තෙල් ලබාගන්නා පෙට්‍රල් පාරිභෝගිකයා මුහුණ දෙන අසාධාරණය හා පීඩාව වැළැක්වීමට වහා ක්‍රියාමාර්ග ගැනීම.
  • ආනයනය නොකරන 'ඔක්ටේන් 93' නීතිවිරෝධී ලෙස විකුණමින් IOC සමාගම සිදුකරන මහා ගසාකෑම වහා නැවැත්වීම.
  • ඉන්ධන වල සැබෑ පිරිවැය සහ බදු ප්‍රමාණය ජනතාවට හෙළිවන පරිදි මාස්පතා ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රය වහාම ක්‍රියාත්මක කිරීම.

ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ කරන ලද කතාව. 

මාධ්‍යවේදී සහෝදරවරුනි,

"අද මෙම මාධ්‍ය හමුව සඳහා අපත් සමඟ ජාතික නිදහස් පෙරමුණේ බියගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ ජාතික මෙහෙයුම් කමිටු සාමාජික චරිත ජයසුන්දර සහෝදරයාත්, ඒ වගේම ජාතික නිදහස් පෙරමුණේ හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩෙරික් පල්ලගේ සහෝදරයාත් අපත් සමඟ එකතු වෙනවා.

අද ඔබ මඟින් අපි අනාවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ, විශේෂයෙන්ම අපේ රටේ ඉන්ධන පාරිභෝගිකයන් මුහුණ දෙන ඉතාම බලවත් අයුක්තියක් පිළිබඳ, අසාධාරණයක් පිළිබඳව ඛනිජ තෙල් බලධාරීන්ගේ ඇස් අරවන්නයි අපි මේ බලාපොරොත්තු වෙන්නේ.

ඔබ අපි කවුරුත් දන්නවා අපේ රටේ ඉන්ධන මිල අද ඉතාම ඉහළ ඉන්ධන මිලක් අපිට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඉන්ධන වල වැට් එක ඉවත් කරන්නෙත් නැහැ, බදු ඉවත් කරන්නෙත් නැහැ. වැටුත් ගහනවා, වැට් බද්දත් ගහනවා, සේරම ආනයන බදුත් ගහනවා. ඒ බදුත් එක්ක අපිට ඉන්ධන විකුණනවා විශාල මිලකට. ඒ අනුව, 92 පෙට්‍රල් ලීටරයක් ඔබ දන්නවා රුපියල් 414යි, 95 [රුපියල්] 495යි, ඔටෝ ඩීසල් ලීටරයක් [රුපියල්] 382යි, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 478යි, භූමිතෙල් ලීටරයක් [රුපියල්] 285යි. ඉතා විශාල මිලකට තමයි අපි අද ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් ගන්නේ.

හැබැයි දැන් මෙහෙම ගත්තත්, අධික මිලක් ගෙවලා ගන්න ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් වල කාර්යක්ෂමතාවය අඩුයි කියලා ඉන්ධන පාරිභෝගිකයන්ගේ විශාල මැසිවිල්ලක් තියෙනවා, ඉන්ධන කාර්යක්ෂමතාවය අඩුයි කියලා.

හැබැයි මේක කියාගන්න කෙනෙක් නැහැ. දැන් අපි දන්නවා, විදුලි බිලේ ප්‍රශ්නයක් තියෙනවා නම් විදුලි පාරිභෝගිකයාට වන අසාධාරණයක් මහජන උපයෝගීතා කොමිසමට ගිහිල්ලා පැමිණිලි කරන්න පුළුවන්. ඒ අය ඒ පිළිබඳ වගවිභාග කරනවා, ඒක ව්‍යවස්ථාපිත ආයතනයක්. ජල පාරිභෝගිකයාට වුණත් මහජන උපයෝගීතා කොමිසමට ගිහිල්ලා පැමිණිලි කරන්න පුළුවන්, ඒගොල්ලෝ සොයා බැලීමේ වගකීම PUCSL එකට නැත්නම් මහජන උපයෝගීතා කොමිසමට තිබෙනවා. ඒ සඳහා තමයි ඒ ආයතනය ස්ථාපිත කොට තිබෙන්නේ.

නමුත් ඉන්ධන පාරිභෝගිකයන් වෙනුවෙන් එහෙම ආයතනයක් මෙතෙක් ස්ථාපිත කොට නැහැ. පනතේ තිබ්බා වුණත් ස්ථාපිත කොට නැහැ. ඒ නිසා දැන් මේක කියාගන්න කෙනෙක් නැහැ.

විශේෂයෙන් අපේ රටේ පෙට්‍රල් පරිහරණය කරන, පරිභෝජනය කරන පාරිභෝගිකයන් යතුරුපැදිකරුවන්, යතුරුපැදි හිමියන්, ත්‍රීරෝද රථ හිමියන්, මෝටර් කාර් හිමියන්, ඒ වගේම පෙට්‍රල් වලින් දුවන වෙනත් වෑන් ආදී වාහන හිමියන් අද ඉතාම බරපතළ අසාධාරණයකට, අයුක්තියකට වගේම ඒ නිසා පීඩාවකට පත් වෙනවා. මොකක්ද මේ පීඩාව?

ඔවුන් තමන්ගේ රථයට මෝටර් සයිකලයට වෙන්න පුළුවන්, ත්‍රීවීලර් රථයට වෙන්න පුළුවන්, කාර් එකට වෙන්න පුළුවන්, වෑන් එකට වෙන්න පුළුවන් යොදන පෙට්‍රල් වලට සරිලන කිලෝමීටර් සංඛ්‍යාවක් ඒ වාහනයේ ලීටර් වලින් දුවන්න බැහැ, පෙට්‍රල් වලින් දුවන්න බැහැ.

දැන් ත්‍රීරෝද රථ හිමියන් ගත්තොත් මේක ඉතාම බරපතළ ලෙස මේ මැසිවිල්ල, දුක්ගැනවිල්ල තිබෙනවා, මේ පීඩාව තිබෙනවා. ඔවුන් කියන්නේ, දැන් තමන් යොදන පෙට්‍රල් ලීටරයකින් වෙනදා කිලෝමීටර් ගිය ගාන දැන් යන්න බැහැ කියලා. වෙනදා මෝටර් සයිකලයකට පෙට්‍රල් ලීටරයක් ගහලා දුවන ප්‍රමාණය දැන් දුවන්න බැහැ කියලා. වෙනදා කාර් එකකට පෙට්‍රල් ලීටර් 10ක් ගහලා දුවන ප්‍රමාණය දැන් දුවන්න බැහැ කියලා. වෙනදා වෑන් එකකට පෙට්‍රල් ලීටර් 20ක් ගහලා දුවන ප්‍රමාණය දැන් දුවන්න බැහැ කියලා. ඉන්ධන කාර්යක්ෂමතාවය බරපතළ ලෙස අඩු වෙලා තියෙනවා කියලා තමයි මේ පෙට්‍රල් වාහන පාවිච්චි කරන හිමියන්ගේ සහ රියදුරන්ගේ බරපතළ දුක්ගැනවිල්ල තිබෙන්නේ.

දැන් මේ පිළිබඳව අපි ඉන්ධන ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගෙන් හොයලා බැලුවා. හොයලා බැලුවට පස්සේ ඔවුන් කියනවා මේකේ සත්‍යතාවයක් තියෙනවා කියලා. ඒ සත්‍යතාවයට හේතුව තමයි, අපි දන්නවා අපේ රටේ තවමත් ඉන්ධන වෙළඳපොළේ වැඩි පංගුව තිබෙන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට, නැත්නම් CPC එකට. දැන් අපි මේ ඛනිජ තෙල් වෙළඳපොළේ පංගුව ඉන්ධන පිරවුම්හල් අනුව ගත්තොත්, CPC එකට තියෙනවා ඉන්ධන පිරවුම්හල් 800ක් ලංකාවේ. ඒ වගේම ඉන්දියන් ඔයිල් සමාගමට (IOC එකට) තියෙනවා 270ක්, චීන සමාගම වෙච්ච සයිනොපෙක් එකට තියෙනවා 150ක්, RM Parks නැත්නම් ෂෙල් සමාගමට තියෙනවා 130ක්. මේ ආදී වශයෙන් තමයි ඉන්ධන පිරවුම්හල් ප්‍රමාණය ලංකාවේ ස්ථාපිත වෙලා තිබෙන්නේ, බෙදිලා තිබෙන්නේ. මේ ප්‍රමාණයෙන් තමයි ලංකාවේ ඉන්ධන වෙළඳපොළ සකස් වෙලා තිබෙන්නේ.

දැන් ඉන්ධන පිරවුම්හල් 800ක් තියෙන, නැත්නම් බෙදුම්කරුවන් 800 දෙනෙක් ඉන්න CPC එකට මීට පෙර ඒගොල්ලන්ගේ ලාභ ප්‍රතිශතය 3%ක් ඒගොල්ලන්ට ගෙව්වා. 3%ක ලාභ ප්‍රතිශතයක් ගෙව්වා ඉන්ධන CPC නැත්නම් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන බෙදුම්කරුවන්ට, පිරවුම්හල් හිමියන්ට, බෙදුම්කරුවන්ට 3%ක ලාභ ප්‍රතිශතයක් ගෙව්වා. නමුත් දැන් ගෙවන්නේ ඒක 1.5%යි.

ඔවුන් මේ පිළිබඳව නඩුවක් දැම්මා. ඒ නඩුවෙන් ඔවුන්ට නියම වුණා, තෙල් සංස්ථාවට නියම වුණා 3%ක් ගෙවන්න කියලා. නමුත් මොකද වුණේ? තෙල් සංස්ථාව මේක ගිහිල්ලා නැවත වතාවක් අභියාචනා කළා. ඒ හින්දා දැන් ගෙවන්නේ 1.5%යි.

එතකොට මේ 1.5%න් ඉන්ධන පිරවුම්හල් හිමියන් කියන්නේ, 1.5%න් තමන්ට මේ කර්මාන්තයේ ඉන්න බැහැ කියලා. ඒගොල්ලොන්ට සේවක පඩි නඩි, ඒ සේවකයන්ට ETF, EPF, ඊළඟට විදුලි බිල, ජල බිල ආදී නඩත්තු කටයුතු කරගන්න බැහැ මේ ලාභ ප්‍රතිශතය ප්‍රමාණවත් නැහැ කියලා.

ඒ අනුව දැන් ෂෙඩ්, පිරවුම්හල් වැහෙනවා. අන්න බණ්ඩාරවෙල තිබිච්ච ඉතාම ලංකාවේ පැරණිම, හොඳම ඉන්ධන පිරවුම්හලක්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් පිරවුම්හලක් ඒක දැන් වැහුණා. මේ විදිහට දැන් ෂෙඩ් වහන්න තමයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බෙදුම්කරුවන්ට සිද්ධ වෙලා තියෙන්නේ මේ ප්‍රතිශතය ප්‍රමාණවත් නොවන නිසා.

දැන් වහන්න බැරි, විශාල ප්‍රාග්ධනයක් යොදලා තමයි, ආයෝජනය කරලා තමයි මේ ෂෙඩ් එකක් නැත්නම් ඉන්ධන පිරවුම්හලක් ආරම්භ කරලා තියෙන්නේ. ඒ නිසා වහන්න බැරි අය මොකද කරන්නේ? වහන්න බැරි අය කරන්නේ විවිධ අක්‍රමිකතා හරහා තමන්ගේ තමන්ට නොලැබෙන ලාභ ප්‍රතිශතය ලබා ගැනීමට කටයුතු කරනවා.

ඒක තමයි මේ අපිට CPC ඉන්ධන පිරවුම්හලකින් අපි මෝටර් සයිකලයකට නැත්නම් යතුරුපැදියකට පෙට්‍රල් ලීටරයක් ගැහුවොත්, ඒ පෙට්‍රල් ලීටරයෙන් අපිට හම්බවෙන්නේ මිලිලීටර් 800ක්, 900ක්. ඒ කියන්නේ මිලිලීටර් 200ක් විතර එන්නේ නැහැ, වදින්නේ නැහැ.

මේක කොහොමද වෙන්නේ? ඒක වෙන්නේ ඔබ දන්නවා මේ ඉන්ධන පිරවුම්හල් වල තියෙන පොම්පේ නැත්නම් ඒකට අදාළ මීටරේ, කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව මාස හයකට වරක් ඇවිදිල්ලා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකරුවෙක් සමඟ ඇවිදිල්ලා මේක පරීක්ෂා කරලා බලලා, මුද්‍රා තියලා තමයි මාස හයකට සැරයක්වත් මේ මුද්‍රාව අලුත් කරන්න ඕනා.

දැන් ඉන්ධන පිරවුම්හල් වල අයිතිකරුවන්, ඉන්ධන පිරවුම්හල්කරුවන් දැන් කරන්නේ මොකක්ද? මේ පොම්පේ මීටරය ඒ විදිහට මාස හයෙන් හයට අලුත් කරලා සීල් කරන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ එක එක විදිහට මේ මීටරය වෙනස් කරගෙන තියෙනවා. මේ මීටරය වෙනස් කරාට පස්සේ ඇයි තමන්ට ලාභ ප්‍රතිශතයක් එන්නෙත් නැහැ, ප්‍රාදේශීය කළමනාකරුවෝ ඒ පිළිබඳව හොයලා බලන්නෙත් නැහැ, කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවත් අල්ලගන්නවා අල්ලගෙන මේ මීටරය වෙනස් කරනවා. පාරිභෝගිකයා ගිහිල්ලා පෙට්‍රල් තමන්ගේ යතුරුපැදියට පෙට්‍රල් ලීටරයක් ගැහුවට පස්සේ ඒකෙන් එන්නේ 800යි, 900යි. මිලිලීටර් 200ක්, 150ක් ලැබෙන්නේ නැහැ. එතකොට එක පැත්තකින් දුවන ප්‍රමාණය අඩු වෙනවා, කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඔන්න එක විදියක්.

අනිත් එක තමයි, දැන් ඔබ දන්නවා මේගොල්ලන්ගේ ලාභ ප්‍රතිශතය අඩු වීම නිසා මේගොල්ලෝ තවත් කරන මහා වංචාවක් තියෙනවා. ඒ තමයි සාමාන්‍යයෙන් පෙට්‍රල් තොගයක් කියන්නේ ලීටර් 6,600ක්. මේ පෙට්‍රල් තොගයට ඒගොල්ලෝ කරන්නේ, ගෙනැල්ලා ටැංකියට බෑවට පස්සේ නැත්නම් බවුසරයේ තියෙද්දිමවත් වෙනවා කියලා තමයි කියන්නේ, භූමිතෙල් ලීටර් 300ක්, 400ක් මේකට යොදනවා. එතකොට 6,600කට භූමිතෙල් ලීටර් 400ක් විතර දැම්මහම 7,000ක් විතර වෙනවා. එතකොට අපිට හම්බවෙන්නේ පෙට්‍රල් සමඟ භූමිතෙල්. පෙට්‍රල් වලට භූමිතෙල් කලවම් කරලා තමයි පෙට්‍රල් පාරිභෝගිකයාට හම්බවෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොටත් කාර්යක්ෂමතාවය බරපතළ ලෙස අඩු වෙනවා. එතකොට මේක අනිත් පැත්තෙන් වාහන වලට හොඳත් නැහැ. තනුක කරපු පෙට්‍රල්, භූමිතෙල් වලින් තනුක කරපු පෙට්‍රල් තමයි හම්බවෙන්නේ.

එතකොට මේ අක්‍රමිකතාවය ඔවුන්ට අද කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ තමන්ගේ ලාභ ප්‍රතිශතය 3% සිට 1.5% දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අඩු කරපු හින්දා. අඩු කරාට අධිකරණයට ගිහිල්ලා අඩු කරපු එක වැරදියි කියලා කිව්වත් ඒක නොදී මේක අභියාචනා කර කර තියාගෙන ඉන්න හන්දා.

ඊළඟ එක තමයි, දැන් මේ අය ඛනිජ තෙල් බෙදුම්කරුවෝ කියන අනිත් කාරණය තමයි තමන්ට දැන් මේ මැෂින්, ඉතාම පරණ පොම්ප තමයි මේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් වල තියෙන්නේ. ඉතාම පරණ පොම්ප, අවුරුදු 20, 30 ගණන් පාවිච්චි කරපු පොම්ප. මේ පොම්ප වල තෙල් යොදලා යොදලා පාවිච්චි කරලා කරලා මේ පොම්ප නිවැරදිත් නැහැ. එතකොට වෙනස් කරන්න ඕනෙත් නැහැ, නිවැරදිත් නැහැ. එතකොට කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව බලන්නෙත් නැහැ, ප්‍රාදේශීය වාර්තාකරුවන් CPC එකේ බලන්නෙත් නැහැ, අමාත්‍යාංශය මේවා ගැන වගේ වගකුත් නැහැ. අවසාන වශයෙන් වැඩි මිලක් යොදලා තෙල් ගහන මේ පාරිභෝගිකයන්ගේ කරට, පෙට්‍රල් පාරිභෝගිකයන් කරට මේක ගිහින් තියෙනවා. ඔවුන්ට තමන් ගෙවන මුදලට සරිලන උසස් වර්ගයේ පෙට්‍රල් 92 නම් නියමිත 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ලැබෙන්නෙත් නැහැ, 95 වර්ගය නම් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ලැබෙන්නෙත් නැහැ. ඔවුන්ට ලැබෙන පෙට්‍රල් වලින් ඒ ඉන්ධන කාර්යක්ෂමතාවය ඔවුන් වෙනදා දුවපු කිලෝමීටර් සංඛ්‍යාව අද දුවන්න වෙන්නෙත් නැහැ. මේක එක ප්‍රධාන එකක්.

මේකෙ තව විශාල වංචාවක් කරනවා IOC සමාගම. ඒ මොකක්ද? දැන් ඕගොල්ලෝ බලන්න හොයලා, IOC සමාගමේ තියෙනවා ලංකාවේ ෂෙඩ්, පිරවුම්හල් 270ක්. ඒ 270 තියෙනවා 'ඔක්ටේන් 93' කියලා තෙල් විශේෂයක්, 93. ඒක නැහැ CPC පිරවුම්හල් වල නැහැ, RM Parks පිරවුම්හල් වල නැහැ, සයිනොපෙක් පිරවුම්හල් වල නැහැ. ඒක තියෙන්නේ IOC පිරවුම්හල් වල විතරයි ඔක්ටේන් 93. 93 කියන එකක් ලංකාවට ගේන්නේ නැහැ.

අපි රේගුවෙන් බැලුවා HS Code එක අනුව. ඒ කියන්නේ ජාත්‍යන්තර භාණ්ඩ වර්ගීකරණ පද්ධතිය අනුව අපි බැලුවා 93ට අදාළ HS Code එකක් තියෙනවද කියලා. එහෙම ආනයනය කරද්දී ඔබගොල්ලෝ දන්නවා ජාත්‍යන්තර භාණ්ඩ වර්ගීකරණයේ කේත පද්ධතිය අනුව තමයි අපේ රටට භාණ්ඩ ආනයනය කරන්නේ ඔක්ටේන් 92ට HS Code එකක් තියෙනවා, ඔක්ටේන් 95ට HS Code එකක් තියෙනවා, සුපර් ඩීසල් වලට HS Code එකක් තියෙනවා, ඔටෝ ඩීසල් වලට HS Code එකක් තියෙනවා. හැබැයි 93ට නැහැ. එහෙනම් කොහොමද මේ 93ක් ආනයනය නොකරන එකක් කොහොමද විකුණන්නේ?

මේගොල්ලෝ කරන්නේ IOC සමාගම, 92ට ඇඩිටිව්ස් (Additives) කියලා අමතර රසායනික විශේෂයක් යොදනවා. යොදලා ඒක දෙන්නේ රුපියල් 67ක් විතර වැඩියෙන්. ඉතින් මේක නීති විරෝධියි. IOC එකට විතරක් විශේෂ වරප්‍රසාදයක්. ඒක CPC එකට ඇත්තෙත් නැහැ, ඒක RM Parks සමාගමට ඇත්තෙත් නැහැ, ඒක සයිනොපෙක් සමාගමට ඇත්තෙත් නැහැ.

එතකොට මේවා දිහා අද කවුරුත් බලන්නේ නැහැ, ඒකයි ප්‍රශ්නය. මේකෙ බරපතළම ප්‍රශ්න තමයි මේවා දිහා කවුරුවත් බලන්නේ නැහැ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිදි, එතකොට ඛනිජ තෙල් අමාත්‍යාංශය නිදි. එතකොට මේගොල්ලෝ නිද්‍රාශීලීව ඉන්නවා, බලන්නේ නැතුව ඉන්නවා, හොයන්නේ නැතුව ඉන්නවා, අඳ ගොළු බිහිරි වගේ ඛනිජ තෙල් බලධාරීන් ඉන්නවා. මේ අපේ අහිංසක පාරිභෝගිකයන් වැඩි මිලක් දීලා බාල තෙල් ගහනවා. වැඩි මිලක් දීලා බාල තෙල් ගහනවා, ලංකාවට ආනයනය නොකරන තෙල් ගහනවා, නීති විරෝධීව IOC සමාගමේ තෙල් ගහනවා. ඉතින් ඒ නිසා මේකේ අවසාන වග උත්තරකාරයා වෙලා තියෙන්නේ අපේ පාරිභෝගිකයන්.

ඉතින් ඒ නිසා අපි, එකක්: වහාම ඛනිජ තෙල් බලධාරීන්ට අමාත්‍යාංශය, අමාත්‍යවරයාට, ලේකම්වරයාට ඇතුළු ඛනිජ තෙල් බලධාරීන්ට, අනිත් පැත්තෙන් ලංකාවේ ලොකුම පංගුව තවමත් සිදු කරන, ලොකුම පංගුවට දායක වන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බලධාරීන්ට කියනවා, මේ බාල තෙල් විකිණීමේ ජාවාරම වහාම සොයා බලලා මේ පාරිභෝගිකයන් විඳින පීඩා, ඔවුන්ට සිදුව තිබෙන අසාධාරණය, ඔවුන්ට සිදුව තිබෙන අයුක්තිය වැළැක්වීම සඳහා කටයුතු කරන්න කියන ඉල්ලීම අපි කරනවා.

ඒ වගේම තමුන්නාන්සේලා දන්නවා මේකේ අනිත් කාරණය තමයි, මේ අද අපි දන්නේ නැහැ, පාරිභෝගිකයා දන්නේ නැහැ ඉන්ධන වෙනදා නම් මීට අර මේ ඛනිජ තෙල් වලින් විශාල ගසාකෑමක් සිදුකළා කියන දැන් ප්‍රකට නමන්නේ කාංචන විජේසේකර අමාත්‍යවරයා ඉන්දැද්දී විශාල ලෙස හොරා කෑවා කියලානේ කිව්වේ. විවේචනයක් තිබ්බා, විශාල විවේචනයක්. ලොමු ඩැහැගැන්වෙන විවේචනයක් තිබ්බා, ඔහුට විශාල කොමිස් කුට්ටි මේ ඛනිජ තෙල් ව්‍යාපාරයෙන් යනවා කියලා. හැබැයි ඒ කාලේ ඉන්ධන මිල සූත්‍රය, Price Formula එක මාස්පතා දැම්මා. එතකොට අපි දන්නවා මෙන්න ඉන්ධන ගේන මිල, ආනයන මිල මේකයි, 92 පෙට්‍රල් ලීටරයක් ලංකාවට ආනයනය වෙන්නේ මේකයි, මේ විදිහට. ඒකෙ බදු මෙන්න මේ ප්‍රමාණයක් ආනයන බදු, නැව් ගාස්තු, ගුදම් ගාස්තු, ආනයන ගාස්තු, ඒ වගේම වැට් බදු, මේ ආදී වශයෙන් මේ ඇතුළත් වෙන පිරිවැය අපි දන්නවා, පාරිභෝගිකයාට බලාගන්න පුළුවන්කමක් තිබුණා.

හැබැයි දැන් මේ ඉතාම පාරදෘශ්‍යභාවයෙන් මේ වෙළඳාම කරනවයි කියලා ආපු උදවිය, වරායෙන් දෙන මිලට දෙනවා කියලා ආපු උදවිය, දැන් ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න දැන් අවුරුදු දෙකක් ගත වෙනවා මේ ආණ්ඩුව ඇවිදිල්ලා තව නොබෝ දිනකින්, තව මාසෙකින් විතර. දැන් මිල සූත්‍රයක් නැහැ. දැන් අපි දන්නේ නැහැ කීයටද ආනයනය කරන්නේ, බදු ප්‍රමාණය කොච්චරද, මේක පාරිභෝගිකයා දන්නේ නැහැ. මිල සූත්‍රයක් ඉදිරිපත් කරන්නේ නැහැ. ආන්න රහස. මිල සූත්‍රයක් ඉදිරිපත් නොකර මේ ඇතුලෙන් පාරිභෝගිකයාගේ සාක්කුවට තට්ටු කරන වැඩේත් ඒ අස්සේ යනවා.

ඒ නිසා අපි ආණ්ඩුවට බලකරලා කියනවා, තමුන්නාන්සේලා ඉතිහාස ආණ්ඩු වලට විවේචනයක් කළා තෙල් වලින් හොරා කනවා කියලා. හැබැයි හොරා කාපු ආණ්ඩුව තෙල් මිල සූත්‍රය ඉදිරිපත් කළා. මාස්පතා තෙල් මිල සූත්‍රය ඉදිරිපත් කළා. හැබැයි තමුන්නාන්සේලා, මේ මහා ශුද්ධවන්ත ආණ්ඩුව තෙල් මිල සූත්‍රය ඉදිරිපත් කරන්නේ නැහැ. ඇයි ඒ? ඉදිරිපත් නොකරන්නේ ඇයි? එතන තමයි රහස.

ඒ හින්දා තෙල් මිල සූත්‍රය වහාම ඉදිරිපත් කරන්න. එතකොට පාරිභෝගික ජනතාවට දැනගන්න පුළුවන් කොහොමද තමුන්නාන්සේලා මේ තෙල් වලින් තමුන්නාන්සේලා ඇතුලත් කරලා තියෙන බදු බර කොච්චරද, මේවට තියෙන මේවා ඇතුලේ තියෙන අසාධාරණ, අයුක්ති සහගත ගාස්තු මොනවද කියලා.

ඒ නිසා මේ කාරණා දෙක අපි අවධාරණය කරනවා ඛනිජ තෙල් අමාත්‍යවරයාට, ඛනිජ තෙල් අමාත්‍යාංශයේ බලධාරීන්ට, ඒ වගේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බලධාරීන්ට අපි අවධාරණය කරනවා:

1. එකක්: වැඩි මිලක් දීලා විශේෂයෙන් අපේ පෙට්‍රල් පාරිභෝගිකයා වැඩි මිලක් දීලා බාල තෙල් පරිභෝජනය කරනවා. ඔවුන්ගේ ඉන්ධන කාර්යක්ෂමතාවය ඒ නිසා අඩු වෙලා තියෙනවා, ඔවුන් බරපතළ අසාධාරණයක්, අයුක්තියක් විඳිනවා, පීඩාවක් විඳිනවා, මේක වහාම වළක්වන්න පියවර ගන්න.

2. දෙක තමයි: ඉන්දියානු තෙල් සමාගම හොරට තෙල් විකුණනවා ලංකාවේ, ආනයනය නොකරන තෙල් විශේෂයක් විකුණලා විශාල වශයෙන් පාරිභෝගිකයාව ගසාකනවා. මේක නවත්තන්න වහාම පියවර ගන්න.

3. තුන්වෙනි කාරණය තමයි: වහාම තෙල් මිල සූත්‍රය මාසෙන් මාසෙට ඉදිරිපත් කරලා පාරිභෝගිකයාට මේ තෙල් වල තිබෙන පිරිවැය දැන ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න, ඒ අයිතිය පාරිභෝගිකයාට දෙන්න කියන එක අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා. බොහොම ස්තූතියි."

මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් නගයි.

ප්‍රශ්නය: 22 වැනි සංශෝධනය පෙරේදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඔබතුමාලා මොකක්ද ඒ ගැන දරන අදහස?

ජයන්ත සමරවීර මහතා: මේ පිළිබඳව අප දිගින් දිගටම 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡාව පැවැත්වෙද්දීම, මේ පිළිබඳ කැබිනට් අනුමැතිය ලබා දෙද්දීම අප මේ පිළිබඳ ඉතාම දැඩි විවේචනයක් අපි ඉදිරිපත් කළා, දැඩි විරෝධයක් අපි ඉදිරිපත් කළා.

මේ ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වයට ගිනි බඳින, අධිකරණයේ ස්වාධීනත්වය නැතිභංග කරන, මුළුමණින්ම විනාශ කරන මහා ප්‍රජාතන්ත්‍ර විරෝධී සංශෝධනයක්. රට ඒකාධිපතිත්වයකට, ආඥාදායකත්වයක් කරා ගෙන එන සංශෝධනයක්. ඒ නිසා මේක වහාම අකුලා ගන්න කියන බලපෑම, විරෝධය අප මේ සාකච්ඡාව ආරම්භ වෙන මුල් පැයේ ඉඳන්ම ඉදිරිපත් කළා. ඉතින් අපේ ඒකේ කිසි වෙනසක් නැහැ. අදත් අපි ඉන්නේ, දැනුත් අපි කියන්නේ මේ සංශෝධනය හකුලා ගන්න ඕනේ. හකුලා ගන්න ඕනේ.

අද මේකට අපි විතරක් නෙවෙයි, දේශපාලන ව්‍යාපාර ලංකාවේ සියල්ලම පාහේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බලවේග, ඒ වගේම අන් කවරදාවත් ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයකට එදිරිව ක්‍රියාත්මක නොවූ නීතිඥ සංගමය මුළුමණින්ම වගේ, අධිකරණ සේවා සංගමය පළවෙනි වතාවට, ඊළඟට ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා, සෙසු ආගමික සංස්ථාවන්, ඊළඟට ජාත්‍යන්තර සංවිධාන අද මීට විරුද්ධව මේ ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙන ප්‍රතිගාමී තත්ත්වය ගැන, ප්‍රතිගාමී භාවය ගැන, ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවය ගැන අද ඕනෑවටත් වඩා කරුණු කියලා තියෙනවා.

ඉතින් ආණ්ඩුවට විලිලැජ්ජාවක් නැතුව, තමන්ගේම ඉතිහාසයටත් පස්ස හරවලා, නිර්වස්ත්‍රව අද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරේ තියාගෙනත් යනවා, තව පාරනුත් බානවා අපි මේක සම්මත කරනවා කියලා.

අපි කියන්නේ, සම්මත කරන්න ඕන නම් ආණ්ඩුවේ මහත්වරුන්ට, ජනාධිපතිතුමා ඇතුළු මැති ඇමතිතුමාලට අපි කියන්නේ, මාලිමා ආණ්ඩුවට අපි කියන්නේ: වහාම මහත්වරුනි, මේක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක්, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක්. බොරු මිත්‍යා මත වපුර වපුර නඩු වැඩි හින්දා මේක කරන්නේ, කාර්යක්ෂමතාවය වැඩි කරන්න හින්දා මේක කරන්නේ කියලා එකිනෙකට පරස්පර බොරු කිය කියා මේ කරන එක, ඔබ කියන්නේ ඇත්තද ඔබ කියන්නේ බොරුද කියලා අපි ජනතාවගෙන් අහමු. ජනතාවගෙන් අහමු.

ඒ නිසා මේක ජනමත විචාරණයකට වහාම ලක් කරන්න. වහාම ලක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයෙන්, උපරිමාධිකරණයෙන් මේ බැරෑරුම් සංශෝධනය පිළිබඳ ජනතාවගේ මත විමසීමට, ජනතා පරමාධිපත්‍යයේ එකඟතාවය ලබා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කරයි කියන විශ්වාසයත් අපට තියෙනවා. අපි ඒ පිළිබඳ ඉතාම බලාපොරොත්තු සහගතව බලාගෙන ඉන්නවා.


සම්බන්ධිත පුවත් | Related News

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද (07) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතව තිබේ.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නවතම දත්ත වාර්තාවලට අනුව, මෙම වසරේ ගතවූ මුල් මාස අටක කාලය (ජනවාරි 01 සිට අගෝස්තු 31 දක්වා) තුළ ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළ හරහා සිදු වූ සමස්ත ගුවන් යානා මෙහෙයුම් ප්‍රමාණය සියයට 9ක පසුබෑමක් වාර්තා කර තිබේ.
කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරත්වය ළඟා කරගෙන තිබුණද, මෙරට දුප්පත්කම තවදුරටත් දැඩි අවදානම් මට්ටමක පවතින බව ලෝක බැංකුව නිකුත් කළ නවතම සංවර්ධන වාර්තාවේ සඳහන් වේ. එම වාර්තාවට අනුව මේ වසරේදී (2026) සෑම ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුම (සියයට 50 සීමාව තුළ) දුප්පත්කමින් පීඩා විඳිමින් හෝ දුගී රේඛාව ආසන්නයේ ජීවත් වන බව පෙන්වා දෙයි.
සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
එච්අයිවී ඒඩ්ස් ආසාදිතයන්ගේ ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්වන (2025) ලෝකයේ රටවල් විසිඑක (21) අතර දාහත්වන තැන ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් වැඩසටහන සඳහන් කරයි.
රටේ ජනතාව රජයෙන් සතයක්වත් නොගෙන තමන්ගේ පුද්ගලික මුදලින් තමන්ගේ නිවෙස්වල සූර්ය පැනල නිවෙස් එක්ලක්ෂ පනස්දාහක සවිකර ඇති බවත්, එමගින් ජනතාව ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 600ක දාරිතාවක් එකතුකර ඇති බවත් රුපියල් 23ට යුනිට් එක දෙන විට මාලිමා රජය එයට වලකපා රුපියල් 100ක් දී ඩීසල්වලින් විදුලිය නිෂ්පාදනය කිරීම සහ රුපියල් 75ක් දී ගල් අඟුරුවලින් විදුලිය නිෂ්පාදනය කිරීම සිදුකරන්නේ මක්නිසාදැයි හෙළිකළ යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් පොරොන්දු වූ පරිදි රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා එළැඹෙන අයවැයෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

ප්‍රධාන පුවත්

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ධූර කාලයට සහ වත්මන් මාලිමා පුනරුද ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වන මේ මොහොත වන විට, මෙතෙක් කලක් අභිමානවත් සිංහල බෞද්ධ සංස්කෘතියක් සහිත ශ්‍රී ලාංකික සමාජයකට උරුමකම් කී මේ රට අතිශයින් භයානක අභාග්‍ය සම්පන්න අනතුරක් හමුවේ ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලන ඛේදවාචකයකට මුහුණ පා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි... ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (04) ඇඹිලිපිටිය දේදුනු රිසෝට් හෝටලයේ පැවති ජන හමුවක ජාතික නිදහස් පොරමුණ නියෝජනය කරමින් විශේෂ දේශනයක් පවත්වමිනි...

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි

ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට නියම වූ සිර දඬුවම 2024 දී ගෙවා අවසන් වීමට නියමිතව තිබූ නමුත් සමාව ලබාදීමේ ක්‍රමවේදයේ වරදක් බව කියමින් උන්වහන්සේ නැවතත් සිරගත කිරීමේ ඛේදවාචකය පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..

ශ්‍රී ලංකාවේ යාපනය මහ නගර සභාවේ හෝ අදාළ මණ්ඩලවල කිසිදු පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය ඉඩමක නීති විරෝධී ලෙස ඉදිකර තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ ස්මාරකයක් ප්‍රදේශයේ බලධාරීන් විසින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම සිදුවීමත් සමඟ කැනඩාවේ දෙමළ ජාතික කවුන්සිලය (NCCT) ඇතුළු එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායම් එකී ඉවත් කිරීම "දෙමළ ජන සංහාරයක" කොටසක් ලෙස හමුදාවට සහ රජයට චෝදනා කරමින් මතයක් ගොඩනැගීමට උත්සාහ කර ඇත.

රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ජාත්‍යන්තර දේශපාලන හා යුධමය තත්ත්වය හමුවේ රුසියාව සහ බටහිර බලවතුන් අතර අර්බුදය දැඩි උච්චතම අවස්ථාවකට පත්ව ඇති බවයි.

යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති

ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.

"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සහ ප්‍රවාහන ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කරමින්, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටින්නේ ආණ්ඩුව ජනතාවගේ මූලික ගැටලු විසඳනවා වෙනුවට බොරු ෂෝ පෙන්වමින් ජනතාව මුලා කිරීමට උත්සාහ කරන බවයි.

ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය.

ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..

මැදපෙරදිග යුදමය වාතාවරණය, ගෝලීය වෙළඳ අවිනිශ්චිතතාවය සහ එල්නිනෝ කාලගුණික බලපෑම හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට නැවතත් අවදානම් මතුවෙමින් පවතින බැවින්, ලෝක වෙළඳපොළේ මිල ගණන්වලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල වෙනස් වීමට ඉඩ හරින ලෙසත්, පිරිවැය ආවරණය වන පරිදි බලශක්ති මිලකරණය පවත්වාගෙන යන ලෙසත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.