News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුව නීතිය ඉදිරියට දමා දේශපාලන දඩයමක.. රණවිරුවන් පාවා දෙමින් ගෝලීය කොටි ජාලය සතුටු කරන “රක්ත භීෂණයක්” රට තුළ ක්‍රියාත්මකයි - විමල් වීරවංශගෙන් හෙළිදරව්වක්

Jul 4, 2026 at 06:28 PM
|

වත්මන් රජය “නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරනවා” යන සටන් පාඨය ඉදිරියට දමා ගනිමින්, මෙරට මානුෂීය මෙහෙයුමේ වීරයන් මෙන්ම තමන්ට අභියෝගයක් විය හැකි දේශපාලන ප්‍රතිවාදීන් ඉලක්ක කර ගනිමින් දැවැන්ත දේශපාලන මර්දනයක් සහ දඩයමක් ආරම්භ කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

අද (04) උදෑසන බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් වීරවංශ මහතා මේ බව සඳහන් කළේය. එහිදී ඒ මහතා කියා සිටියේ, මෙම ක්‍රියාවලිය පිටුපස මෙරට බෙදුම්වාදී දේශපාලන ව්‍යුහය ශක්තිමත් කිරීමේ සහ ගෝලීය කොටි ජාලය සතුටු කිරීමේ භයානක කුමන්ත්‍රණයක් පවතින බවයි.

ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ දඩයම් කිරීම.

ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ඉහළම සහ ගෞරවනීයම තනතුර වන ‘ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට්’ (Admiral of the Fleet) තනතුරෙන් පිදුම් ලැබූ, මානුෂීය මෙහෙයුමේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අවි නැව් මහ මුහුදේදීම විනාශ කරමින් රටට සාමය උදාකර දීමට විශිෂ්ට නායකත්වයක් දුන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම වීරවංශ මහතාගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.

"ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු රණවිරුවන් දඩයම් කරමින්, ඔවුන් අධිකරණ ගානේ, අල්ලස් කොමිසම ගානේ සහ සී අයි ඩියේ 4 වැනි තට්ටුව ගානේ “ඩී. ඕ.” ගසා රඳවා තබමින් වද වේදනා දීම සහ ගැරහීමට ලක් කිරීම පිටුපස ඇත්තේ ගෝලීය කොටි ජාලය සමඟ ඇති කරගත් එකඟතාවන්” යැයි වීරවංශ මහතා චෝදනා කළේය. මිලියන සංඛ්‍යාත ජනතාවකට නිදහසේ ජීවත් වීමට වටපිටාව සකස් කළ වීරයන් උසාවි ගානේ රස්තියාදු කරමින් අපහාසයට ලක් කරන දෙස බලා සිටින, ලෝකයේ ජීවත් වන අසංවේදීම ජාතියක් බවට වත්මන් සමාජය පත්ව ඇති බවත්, මෙවැනි තත්ත්වයක් තුළ අනාගතයේදී රට වෙනුවෙන් ජීවිත අවදානමක් ගැනීමට හමුදාවකට බැදීමට කිසිවකු ඉදිරිපත් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

රණවිරුවන්ගේ පදක්කම් අවතක්සේරු කරන පිරිස් වෙත දැඩි ප්‍රහාරයක් එල්ල කළ වීරවංශ මහතා, "සමහර නීති උපාධිධාරීන්ට රණවිරුවන්ගේ පදක්කම් නිකම්ම නිකම් “ලෝහ කෑලි” විය හැකියි. නමුත් ඒ හැම පදක්කමකටම පිටුපස ලියවුණු වීර ඉතිහාසයක්, කැපවීමක් සහ පරිත්‍යාගයක් තියෙනවා. ඒ වීරත්වය ගැන කතා කරන්න අර කඩදාසි කෑලි වැනි උපාධි සහතික තියෙන “පඩික්කමලාට” කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ" යි පැවසීය. වත්මන් ජනාධිපතිවරයාට “රණවිරුවා” යන වචනය උච්චාරණය කිරීමට පවා වසර දෙකකට අධික කාලයක් ගත වූ බවත්, මෙවැනි පාලකයන්ට ගැලපෙන්නේ රණවිරු සංකේතවලට සමච්චල් කරන පුද්ගලයන් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

නීතිය ක්‍රියාත්මක කිරීමේ පවතින ද්විත්ව ප්‍රමිතිය.

රජයේ නීතිය ක්‍රියාත්මක කිරීමේ පවතින පක්ෂග්‍රාහී සහ ද්විත්ව ප්‍රමිතිය පිළිබඳව කරුණු දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට බැඳීම පිළිබඳව පරීක්ෂණ පවත්වන ආණ්ඩුව, වත්මන් ජනාධිපතිවරයාගේ පුත් කසුන් දිසානායක මහතා පසුගිය රාජපක්ෂ පාලන සමයේ කිසිදු විධිමත් සම්මුඛ පරීක්ෂණයකින් තොරව “මිහින් ලංකා” ආයතනයට බඳවා ගැනීම සහ පසුව යහපාලන සමයේ එම ආයතනය වසා දමද්දී අනෙකුත් සේවකයන්ට වන්දි ගෙවා පලවා හැරියත් ඔහුට සහ තව කීප දෙනෙකුට පමණක් “ශ්‍රී ලංකන්” ගුවන් සමාගමට ඇතුළත් වීමට වරප්‍රසාද හිමි වූයේ කෙසේද යන්න පිළිබඳව අල්ලස් කොමිසම පරීක්ෂණ නොපවත්වන්නේ මන්දැයි ප්‍රශ්න කර සිටියේය.

වත්මන් ආණ්ඩුවේ මැතිඇමැතිවරුන්ගේ වත්කම් අසාමාන්‍ය ලෙස ඉහළ යාම පිළිබඳව ඉදිරිපත් කර ඇති පැමිණිලි හෝ “රන්වලගේ හොරා” යනුවෙන් හැඳින්වෙන පුද්ගලයාගේ ආචාර්ය උපාධි වංචාවන් පිළිබඳව කිසිදු විමර්ශනයක් සිදු නොවන බව පෙන්වා දුන් වීරවංශ මහතා, නීතිය සැමට සමාන බව පවසන්නේ ආණ්ඩුවේ “3%  ගැත්තන්” සතුටු කිරීමට පමණක් බව අවධාරණය කළේය.

භාෂණයේ නිදහස මර්දනය සහ අධිකරණය යටපත් කිරීම.

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානීන් වන නිශාන්ත උළුගැතැන්න සහ මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි වැනි නිලධාරීන් බොරු චෝදනා මත සිරගත කර තැබීම හරහා රට තුළ “රක්ත භීෂණයක්” ව්‍යාප්ත කරමින් පවතින බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. ඉහළ උසාවිවල පුරප්පාඩු නොපියවා තැබීම, විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීම වැනි උපක්‍රම හරහා අධිකරණ පද්ධතිය තමන්ට අවශ්‍ය පරිදි මෙහෙයවීමට ආණ්ඩුව ලැජ්ජා විරහිතව කටයුතු කරන බවටද ඔහු චෝදනා කළේය. ශානි අබේසේකර වැනි විශ්‍රාමික පොලිස් නිලධාරීන් සහ නීතිපති තනතුරේ පෙරේතකමෙන් පසුවන පිරිස් යොදවාගෙන චෝදනා නිෂ්පාදනය කරන ‘කර්මාන්ත ශාලාවක්’ ආණ්ඩුව පවත්වාගෙන යන බවත්, ඒ හරහා සමාජයේ භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්පූර්ණයෙන්ම වැටකඩොලු බැඳ වසා දැමීමට උත්සාහ කරන බවත් ඔහු පැවසීය.

රට බෙදීමේ සහ දේපල කුණු කොල්ලයට විකිණීමේ කුමන්ත්‍රණය.

ආණ්ඩුවේ මෙම දේශපාලන දඩයම පිටුපස ඇති සැබෑ ආර්ථික හා දේශපාලන අනතුර හෙළි කරමින් විමල් වීරවංශ මහතා කියා සිටියේ, මුදල් විශුද්ධිකරණ පනත සංශෝධනය කරමින් මහ බැංකුවේ විශේෂ කමිටුවකට “කළු සල්ලි පිළිබඳ තීරණ ගැනීමේ බලය” පවරා ඇති බවයි. මේ හරහා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කළු සල්ලි රට තුළට ගලා ඒමට දොරටු විවෘත වන බවත්, එම මුදල්වලින් උතුර සහ නැගෙනහිර පළාත්වල උපායමාර්ගික ඉඩම් මිලදී ගැනීමට ඉඩ සැලසෙන බවත් ඔහු අනාවරණය කළේය.

මෙම ක්‍රියාවලියට බාධාවක් වන මහවැලි සංවර්ධන අධිකාරිය අහෝසි කිරීමට ආණ්ඩුව දැනටමත් සූදානම් වන බවත්, එමඟින් උතුරු-නැගෙනහිර මහවැලි ඉඩම් සියල්ල ප්‍රාදේශීය ලේකම්වරුන් යටතට පත් කර විදේශීය හා බෙදුම්වාදී බලවේගවලට කුණු කොල්ලයට ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවත් ඔහු පැවසීය. මීට අමතරව විහාර දේවාලගම් පනත සහ පුරාවිද්‍යා පනත සංශෝධනය කරමින් රටේ ඓතිහාසික උරුමය විනාශ කිරීමට පියවර ගනිමින් සිටින බවද වීරවංශ මහතා සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසිවලට මුවා වී විදුලිබල මණ්ඩලය වැනි මර්මස්ථාන කොටස් හතරකට කඩා කුණු කොල්ලයට විකිණීමට කටයුතු කරන බවත්, මෙහි අවසන් ප්‍රතිඵලය ලෙස ලබන වසරේ මුල් මාස හය තුළ උතුර සහ නැගෙනහිර පළාත්වල පමණක් පළාත් සභා මැතිවරණය පවත්වා, තමන්ට හිතවත් ආණ්ඩුකාරවරුන් පත් කර, පාර්ලිමේන්තුවට පවා අභියෝග කළ හැකි වෙනම ඉඩම් සහ පොලිස් බලතල සහිත ප්‍රඥාප්ති සම්මත කරමින් රට නිල නොවන ලෙස බෙදා වෙන් කිරීම ආණ්ඩුවේ නින්දිත සැලැස්ම බව හෙළි කළේය.

දේශපාලන බලය රැකගැනීමේ අවසන් උත්සාහය

මෙම දේශද්‍රෝහී ක්‍රියාවලියට විරුද්ධ විය හැකි මහා සංඝරත්නය සහ ප්‍රබල දේශපාලනඥයන් බොරු චෝදනා මත සිරගත කර, සමාජය හිරිවට්ටා, ඉදිරි ජනාධිපතිවරණයකදී තමන්ට අභියෝග කළ හැකි විපක්ෂයේ අපේක්ෂකයන් අහෝසි කිරීම ආණ්ඩුවේ ඉලක්කය බව වීරවංශ මහතා පැවසීය. ඉන්පසු සුළු ජාතික ඡන්ද සහ වතුකරයේ ඡන්ද ලබාගෙන, මර්දනකාරී යන්ත්‍රණය හරහා කෙසේ හෝ නැවත බලයේ රැඳී සිටීමට ජනාධිපතිවරයා ඇතුළු කල්ලිය උත්සාහ කරන බවත්, මෙය "කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වැනි" නොසිතූ මොහොතක ලැබුණු බලය රැකගැනීමට කරන දඟලෑමක් බවත් ඔහු උපහාසාත්මකව ප්‍රකාශ කළේය.

තමන් ඇතුළු පවුලේ සාමාජිකයන් සහ දේශපාලන හිතවතුන් ඉදිරියේදී ආණ්ඩුවේ දඩයමට ලක්වීමේ දැඩි අවදානමක් පවතින බව පිළිගත් වීරවංශ මහතා, "හැබැයි අපි ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම්. වපුරන විදිහටම අස්වැන්න නෙලාගන්න ආණ්ඩුවත් සූදානම් විය යුතුයි. මේ රට භෞතිකවාදී කණ්ණාඩියෙන් විතරක් බලන්න පුළුවන් රටක් නෙවෙයි. රට කෑලිවලට බෙදන්න ගිය හැම වෙලාවකම 99.9%ක් දුර ගිහිල්ලත් ආපහු හැරුණු ඉතිහාසයක් මේ රටට තියෙනවා. ආණ්ඩුවේ මේ නින්දිත තරගය පරාජය කරන්න රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සියල්ල සූදානමින් සිටිනවා" යැයි අවධාරණය කරමින් සිය දේශනය අවසන් කළේය.

මාධ්‍ය හමුවේ විමල් වීරවංශ මහතාගේ දේශනයේ සම්පූර්ණ පිටපත පහතින් දැක්වේ.

ඔබ අපි කවුරුත් දන්නවා, ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ඉහළම ගෞරවනීය තනතුර වන "ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට්" (Admiral of the Fleet) කියන තනතුර දරන, මානුෂීය යුද මෙහෙයුමේදී ඉතාම තීරණාත්මක භූමිකාවක් මේ රටේ ඒ මානුෂීය මෙහෙයුමේ ජයග්‍රහණය වෙනුවෙන් ඉටු කරපු, ඒ විතරක් නෙවෙයි, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාවෙන ආයුධ ගබඩා විශාල ප්‍රමාණයක් ගොඩබිමට ළඟා වෙන්න පෙර මහ මුහුදේදී ප්‍රහාර එල්ල කොට ගිල්වා විනාශ කර දැමූ ඒ සියලු කටයුතුවලට නායකත්වය දීපු කෙනා තමයි හිටපු නාවික හමුදාපති, ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මැතිතුමා.

එතුමාව ඊයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් අත්අඩංගුවට අරගෙන, සෑහෙන වෙලාවක් ප්‍රශ්න කරලා අධිකරණයට ඉදිරිපත් කළා. අධිකරණයෙන් ඔහුට ඇප ලබා දුන්නා. ඒ අනුව ඊයේ ඒ ක්‍රියාවලිය එතනින් ඒ විදියට නිම වුණා.

දැන් මේ "ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට්" කියන ගෞරව නාමය ඔහුට ලැබුණේ නිකන් නෙවෙයි. ඔහුට ඒක ලැබුණේ මේ රටේ මිනිස්සුන්ට, මිලියන ගණනක් වෙච්ච මිනිස්සුන්ගේ ජීවිතවලට සාමයෙන්, සතුටෙන්, නිදහසෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න, තමන්ගේ ජීවිත සහ දරු පවුල් අවදානමට ලක් කරගෙන මුළුමහත් නාවික හමුදාව විසින් ඒ වෙලාවේ ඉටු කරපු ඒ මහා කාර්යභාරයට කරන ගෞරවයක් හැටියට. ඒ සියලු දෙනාටම කරන ගෞරවයක් හැටියටයි ඒක ලැබුණේ. එහෙම අය ලෝකේ වැඩි වශයෙන් නැහැ. අද වුණත් තුන් හතර දෙනෙකුට වඩා ජීවතුන් අතර නැහැ.

දැන් අපි අද "නීතිය සැමට එක සමානව, තරාතිරම නොබලා ක්‍රියාත්මක කරනවා" ය කියන වාක්‍යය ඉදිරියට දාගෙන, ජාතියක් “වීරයෝ” හැටියට සදාකල් ගරුබුහුමනට ලක් කළ යුතු මිනිස්සුන්ව උසාවි ගානෙයි, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ගානෙයි, බන්ධනාගාර ගානෙයි, රිමාන්ඩ් කරලා, හතරවෙනි තට්ටුව ගානෙයි ඩී ඕ ගහලා රඳවා තබාගෙන වද වේදනා ‍දෙමින්, ගැරහීමට ලක් කරමින්, අපහාසයට, අවමානයට ලක් කරමින්, ඒක දිහා ඔහේ බලාගෙන ඉන්නා මේ ලෝකයේ දැනට ජීවත් වන අසංවේදීම ජාතියක් බවට අද පත්වෙලා තියෙනවා.

කුමන ජාතියක්ද නැවත මේ රට වෙනුවෙන්, කුමන දරු පිරිසක්ද මේ රට වෙනුවෙන් නැවත අවදානමක් ගන්න ඕන වෙලාවක් ආවොත් එවැනි අවදානමක් ගන්නේ? මේකෙන් අනාගත පරපුරට, වර්තමාන පරපුරට ලබා දෙන ආදර්ශය මොකක්ද?

දැන් සමහරුන්ට නම් ඔය "ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට්" කියන එක සංකේතවත් වෙන්නේ තවත් එකතු වෙන සංකේත අතරින් පදක්කමකින් විතරයි. තවත් එකතු වෙන සංකේත තියෙනවා, ඒ වගේම පදක්කමකුත් තියෙනවා. මෙයා වටේ කඩේ යන සමහර “පඩික්කම්ලාට” නම් මේ පදක්කම් නිකන්ම නිකන් එල්ලෙන ලෝහ කෑලි විතරයි. එහෙමනම් ඒ පඩික්කම්ලා අරගෙන තියෙන නීති උපාධියත් කඩදාසි කෑල්ලක්. ඒක නිකන්ම නිකන් කඩදාසි කෑල්ලක්.

ඒ හැම පදක්කමකටම තියෙනවා කතාවක්. ඒ හැම පදක්කමකටම තියෙනවා ලියවිච්ච වීර ඉතිහාස කතාවක්. විනය පිළිබඳ කතාවක්, කැපවීම පිළිබඳ කතාවක්, වීරත්වය පිළිබඳ කතාවක් තියෙනවා. අර පඩික්කම්ලාගේ උපාධි සහතිකයට තියෙන්නේ අධ්‍යාපනය ලැබීමේ එක්තරා මට්ටමක් පිළිබඳ කතාවක් මිසක්, වීරත්වයේ කතාවක් නෙවෙයි; පරිත්‍යාගයේ කතාවක් නෙවෙයි. ඒ නිසා අර උපාධිය අරන් ඉන්න, කඩදාසිය තියාගෙන ඉන්න පඩික්කම්ලාට ඒ වීරෝදාර රණවිරුවන්ගේ ඇඳුමේ තියෙන පදක්කමක් ගැන එක වචනයක් කියන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ.

මේ ආණ්ඩුවට ගැලපෙන්නේ ඒ ජාතියේ පඩික්කම්ලා තමයි. මොකද, ජනාධිපතිට අපේ හමුදාවන්ට, ජීවිත පුදපු රණවිරුවන්ට... මොකද මේ "රණවිරුවන්" කියන වචනය ආවාට ගියාට නිර්මාණය වුණේ නැහැ. මේ මානුෂීය මෙහෙයුමත් එක්ක තමයි මේ සමස්ත ආරක්ෂක හමුදාව "රණවිරුවන්" හැටියට අර්ථකථනය කරගත්තේ. අපේ සමාජය විසින්ම. ඒක නිකන් අහසින් වැටුණු වචනයක් නෙමෙයි, මහ පොළොවෙන්, සමාජයෙන් නිර්මාණය වෙච්ච වචනයක්. කවුරුවත් බලෙන් පටවලා හදපු වචනයක් නෙමෙයි. ඒ නිසා ඒ "රණවිරුවා" කියන වචනය කියාගන්නත් අවුරුදු දෙකක් විතර ගියානේ මේ රටේ ජනාධිපතිට. ඉතින් එහෙම ජනාධිපති කෙනෙකුට හරියන්නේ අර වගේම පඩික්කම්ලා තමයි, රණවිරුවන්ගේ සංකේතවලට සමච්චල් කරන.

දැන් බලන්න නීතිය. දැන් මේ ආණ්ඩුව ආවාට පස්සේ නීතිය ක්‍රියාත්මක කරනවා කියලනේ කියන්නේ. දැන් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳිච්ච එකේ වරද විතරනේ හොයන්නේ. ඒ වෙලාවේ රටේ සේනාධිනායකයාගේ පුතෙක් හමුදාවට බැඳෙන්නේ රස්සාවක් කරන්න නැතිකම හින්දා නෙවෙයි, ජීවත් වෙන්න බැරිකම හින්දා නෙවෙයි. මේ රටේ අනෙක් තරුණ දරුවන්ට යම්කිසි ශක්තියක් දෙන්න, ආරක්ෂක හමුදාවන්වලට බැඳෙන්න. උත්තේජනයක් දෙන්න. ඒ ඇරෙන්න මේ රස්සාවක් නැති කමට බැඳිච්ච බැඳීමක් නෙවෙයි.

දැන් හරි, ඒ නාවික හමුදාවට බැඳීම ගැන හොයනවා නම්, ඇයි මේ රටේ ජනාධිපති විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා ඉඳගෙන රාජපක්ෂ පාලනයට පහර පිට පහර දෙන වෙලාවක, කොහොමද එහෙනම් “කසුන් දිසානායක” තමන්ගේ පුතාව "මිහින් ලංකා" එකට යැව්වේ? විභාගයකට ලියලද? ලොකු සම්මුඛ පරීක්ෂණ ජාලයකට රටේ තරුණයන් කැඳවලා, ඒකෙන් තමන්ගේ කුසලතාවෙන් සමත් වෙලාද? "එහෙම ඒවට ගන්නේ නැහැ" කියලා ඒ කාලේ අනුර කුමාර දිසානායකමනේ රටට කෑගහලා කිව්වේ, "ඕවට ගන්නේ නාමල් රාජපක්ෂගේ ලිස්ට් එකට" කියලා. ඒක වුණේ කොහොමද? ඇයි ඒක ගැන හොයන්න ඕනේ නැද්ද? අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ඒවා ගැන හොයන්න රුදාවක් නැද්ද? මිහින් ලංකා එකට ඒ වෙලාවේ එහෙම ගන්නවද නිකන් ආවාට ගියාට?

ඒ විතරක් නෙමෙයි, යහපාලන ආණ්ඩුව ආවාට පස්සේ මිහින් ලංකා එක වහනවා. වහනකොට ඒ මිහින් ලංකා එකේ හිටපු, ඔය දැන් ජනාධිපතිගේ පුතාටත් වඩා සුදුසුකම් තිබිච්ච අයට රස්සාව නැති වෙනවා. පොඩි වන්දියක් ගෙවලා එළියට දානවා. හැබැයි ජනාධිපතිගේ පුතා විතරක්, මිහින් ලංකා එක යහපාලන ආණ්ඩු කාලේ වහලා දානකොට, එයාගේ පුතාටයි තව සුළු පිරිසකට විතරක් චාන්ස් එක ලැබෙනවා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට බැඳෙන්න. ඒ පොට්ට චාන්ස් එක ආවේ කොහොමද? මොකෝ සුදුසුකම් පිළිබඳ මහා පරීක්ෂා කර බැලීමකින්ද? එතකොට ඒ බඳවා ගැනීම්, ඒවා හොයන්න ඕනේ නැද්ද? මොකක්ද එහෙමනම් "නීතිය නිවැරදිව, සාධාරණවම ක්‍රියාත්මක වෙනවා" යි කියන්නේ?

මෙතන තියෙන්නේ ඒ “වාක්‍ය පාඨය” ඉදිරියට දමා ගැනිල්ලක් විතරයි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම්වල විශාල ඉහළ යාම ගැන දීපු එක පැමිණිල්ලකට එක පරීක්ෂණයක් වෙනවද? එක ඇමති කෙනෙක්ගේ වත්කම් මෙච්චර වැඩි වුණේ කොහොමද කියලා අහලා දීපු එක පැමිණිල්ලකට එක විමර්ශනයක් වෙනවද? එකක්වත් වෙන්නේ නැහැ, එකක්වත් වෙන්නේ නැහැ. "රන්ලගේ හොරා" ගේ ආචාර්ය උපාධියට එක පරීක්ෂණයක් කෙරෙනවද? එක විමර්ශනයක් කෙරෙනවද? ඒ මොකක්වත් නැහැ.

ඒ නිසා මෙතන මේ "නීතිය කාටත් එක හා සමානයි" කියන කතාව කියන්න එන්න එපා මහත්තයෝ. ඒවා කියන්නේ තමන්ගේ අර 3% ඉන්න ගැත්තන්ට. මේ රටේ අතිමහත් බහුතරයක් දන්නවා ඒක එහෙම නෙවෙයි කියලා. ඒ පාඨය ඉදිරියට දමා ගනිමින් කරන්නේ වෙන මොකක්වත් නෙවෙයි, මේ කරන්නේ ඉතාම පැහැදිලිව “ගෝලීය කොටි ජාලයට” සතුට ගෙන දෙන දෙයක් එක පැත්තකින්. අනිත් පැත්තෙන් ඉදිරියේදී ගන්න තියෙන ක්‍රියාමාර්ගවලට බාධාවක් වෙයි කියලා පේන, බාධාවක් වන බව පේන දේශපාලනඥයන්ව ඉලක්ක කරලා, ඔවුන් පමණක් ඉලක්ක කරලා මර්දනයක් මුදාහැරලා තියෙනවා. ඔය දෙක විතරයි වෙන්නේ.

මීට කලින් නිශාන්ත උළුගැතැන්න නාවික හමුදාපතිතුමාව හිරේ දැම්මා. තවත් නාවික හමුදාවේ බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියෙක්ව හිරේ දැම්මා. ඊට පස්සේ බුද්ධි අංශ ප්‍රධානියා වෙලා හිටපු, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි, විශ්‍රාමික මේජර් ජෙනරල් සලෙයි මහතා තාමත් බොරු චෝදනාවක් පටලවලා හිරේ, ඩී ඕ  ගහලා තියාගෙන ඉන්නවා. දැන් කරන්නාගොඩ මහත්තයාව ප්‍රශ්න කරලා, උසාවි දාලා ඒ වින්දනය ලබලා දෙනවා ගෝලීය කොටි ජාලයට. ඒගොල්ලෝ එක්ක ඇති කරගත්තු එකඟතාවයන් එක පැත්තකින් කරනවා.

අනිත් පැත්තෙන් තමන්ගේ බලයට, මහජනයාගේ කිසිම ප්‍රශ්නයක් විසඳීමේ හැකියාවක් නැති, දිට්වා එකෙන් විනාශ වෙච්ච රේල් පාර, හදලා මහනුවරට කෝච්චිය යවාගන්නවත් හැකියාවක් නැති, නිකන් පරණ බස් ස්ටෑන්ඩ්වල තීන්ත ගාලා සතුටු වෙන, ඒ විදියේ මන්දමානසික ආණ්ඩුවක්, දැන් තමන් වැඩක් කරනවා කියලා පෙන්නන්න කරන එකම වැඩේ තමයි තමන්ට තර්ජනයක් වෙන්න පුළුවන්, තමන්ට අභියෝගයක් වෙන්න පුළුවන් පිරිස් ඉලක්ක කරලා දඩයම් කරන එක. ඒක තමයි මේ කරන්නේ.

දැන් මේක හොඳට පේනවා, මේකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ මඟින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට තමයි වැට බඳින්න යන්නේ, වැට බඳිමින් ඉන්නේ. අග්‍රවිනිශ්චයකාරයා ඇතුළු ඉහළ විනිසුරුවන්ට අවුරුදු දෙකක, විශ්‍රාම කාලය අවුරුදු දෙකකින් දික් කරන්නේ, ඉහළ උසාවිවල තියෙන පුරප්පාඩු පුරවන්නේ නැතුව තියාගෙන ඉන්නේ අධිකරණ පද්ධතිය සම්පූර්ණයෙන් මෙන්න මේ “රක්ත භීෂණය” පතුරුවාලීම සඳහා විලි ලැජ්ජාවකින් තොරව යොදාගැනීමේ අරමුණ පෙරදැරි කරගෙන.

එතකොට මෙහෙන් පොලිසිය, ශානිලා වගේ විශ්‍රාම ගිය, ජාතික ජන බලවේගයේ වේදිකාවේ හිටපු මිනිස්සුන්ව සී.අයි.ඩී. එකේ ලොක්කෝ කරගෙන, අනිත් පැත්තෙන් නීතිපති වීමේ ආසාවෙන් පෙළෙන, පෙරේතකමෙන් පෙළෙන අර “පඩික්කමාව තියාගෙන” උසාවිවල ගිහිල්ලා මිනිස්සුන්ට ගරහමින්, අපහාස කරමින් කටයුතු කරනවා. නීති වෘත්තියෙන් එහෙම චූදිතයෙකුට අපහාස කරන්න බැහැ. ඒ සදාචාරයන් ඔක්කොම වනසා දමන ඒ අයව තියාගෙන, ඒගොල්ලන්ට අර බලාපොරොත්තුව දීලා, අනිත් අයට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ උපරිමාධිකරණයේ තියෙන පුරප්පාඩු පුරවන්නේ නැතුව, ඒ විතරක් නෙවෙයි, ඒ ඉහළ අධිකරණ විනිසුරුවරුන්ට පමණක් විශ්‍රාම යන කාලය දීර්ඝ කරලා දෙන මෙහෙයුමක් මේ ඔක්කොම වෙන්නේ. අන්න අර රක්ත භීෂණයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මර්දනය කරලා, තෝරාගත් පිරිස්, ඕනෑම කෙනෙකුට ඕනෑම චෝදනාවක් නිර්මාණය කොට...

දැන් මේගොල්ලෝ ගාව ඉන්නවා කෙහෙල්බද්දර පත්මයෙක්, හරක් කටෙක් ඉන්නවා. ඔය පත්මගෙන් හරි කාගෙන් හරි නමක් කියවගත්තු ගමන් හරි ඇති. පොඩි දෙයක් කෙනෙක්ගේ වත්කම් ගොඩගන්න එක ගැන. චෝදනා නිෂ්පාදනය කරන්න පුළුවන්, චෝදනා නිපදවන්න පුළුවන්. මෙහෙමනේ, නඩුවෙන් නිදොස් කොට නිදහස් වෙන්නේ කාලයක් ගිහිල්ලනේ. එතකොට මේගොල්ලන්ට ඕන කරන මේ භාෂණයේ නිදහස වැළැක්වීම, වැට බැඳීම කරගෙන අවසානයි.

ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනා මෙතන වෙන්නේ, මේකෙන් අනිටු වෙන්නේ මොකක්ද කියලා. දැනටමත් ඔබ දන්නවා, පනත් ගණනාවක් සංශෝධනය කරමින් ඉන්නවා, පනත් ගණනාවක් සංශෝධනය කරමින් ඉන්නවා. දැනටමත් ඔබ දන්නවා, මේ වෙනකොට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සංශෝධනයට ලක් කරලා තියෙනවා. ඒ මුදල් විශුද්ධිකරණ පනත යටතට යම්කිසි කළු සල්ලි ප්‍රමාණයක් ලංකාවට ආවොත්, ඒවායින් යම්කිසි දේපළක් ගත්තොත්, පස්සේ කාලෙක හරි දැනගත්තොත් රාජසන්තක කරන්න පුළුවන් හැකියාව තිබුණා.

දැන් මේගොල්ලෝ මොකද කරන්නේ? මේ වෙලාවේ ඒ සංශෝධනයෙන් මුදල් විශුද්ධිකරණයට, ඒ ගැන තීරණ ගැනීමේ බලය මහ බැංකුවේ විශේෂ කමිටුවකට දීලා, ඒ කමිටුව තීරණය කරොත් ඒකට විරුද්ධව උසාවි යන්නත් බැරි කරන විදිහේ මුදල් විශුද්ධිකරණයේ දොරක් අරිනවා “කොටින්ගේ කළු සල්ලි ටිකට රට ඇතුළට එන්න. ඒ කළු සල්ලි ටික රට ඇතුළට එනකොට, රටේ ඉඳන් ඒගොල්ලන්ට තීරණාත්මක, උපායමාර්ගිකව වැදගත් තැන්වල තියෙන දේපළ මිලදී ගන්න පුළුවන් වෙන්න ඕනේ.

ඒකට බාධාවක් මහවැලි සංවර්ධන අධිකාරිය. අන්න මහවැලි සංවර්ධන අධිකාරිය තියෙනවා අහෝසි කරන රාජ්‍ය ආයතන ලැයිස්තුවේ උඩින්ම. ඒකට බාධාවක් විහාර දේවාලගම් පනත, අන්න ඒකටත් දැන් වැඩේ දෙන්න යනවා. ඒකට බාධාවක් පුරා විද්‍යා පනත, අන්න ඒකටත් දැන් වැඩේ දෙන්න යනවා.

එමගින් දැන් මහවැලි අධිකාරිය අහෝසි කරාම, මහවැලි අධිකාරිය යටතේ ඇති වෙච්ච උතුරේ හා නැගෙනහිර සියලු ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරු යටතට යනවා. එතකොට අර ගේන කළු සල්ලිවලට ඕනෑම උපායමාර්ගිකව වැදගත් දෙයක් මිලදී ගන්න පුළුවන්කම ලැබෙනවා. රටේ ආර්ථිකය බිඳවැටෙන කොට, අයි.එම්.එෆ්. (IMF) එක කියනකොට රාජ්‍ය ආයතන විකුණපන්, විදුලිබල මණ්ඩලය හතරට කඩලා විකුණපන් කියලා, ඒ මර්මස්ථාන මිලදී ගන්න පුළුවන්කම ලැබෙනවා කුණු කොල්ලයට. ඒ මඟින් ඉතා තීරණාත්මක, අනතුරුදායක තත්ත්වයක් මේ රට ඇතුළේ නිර්මාණය කරන්න අවස්ථාව ලැබෙනවා.

දැන් අපි අහන්නේ, ඒකේ ඊළඟ කූටප්‍රාප්තිය තමයි මේකේ ලබන අවුරුද්දේ පළවෙනි මාස හය ඇතුළත, අඩුම තරමේ උතුර හා නැගෙනහිර පමණක් වූ පළාත් සභා මැතිවරණය පවත්වලා, ඒ පත්වෙන මහඇමතිට ඕන කරන ආණ්ඩුකාරයාව ජනාධිපතිවරයා පත් කරලා දෙන එක. ඊට පස්සේ කැමති කැමති ප්‍රඥාප්ති ගේනවා; ඉඩම් ප්‍රඥාප්ති ගේනවා, පොලිස් ප්‍රඥාප්ති ගේනවා. ඒවට විරුද්ධව උසාවි යන්න බැහැ. දැනට තියෙන ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව, පාර්ලිමේන්තුවේ පනතකට විරුද්ධව උසාවි යන්න පුළුවන් වුණාට, පළාත් සභාවක ප්‍රඥාප්තියකට විරුද්ධව උසාවි යන්න බැහැ. ඒක වළක්වන්න තියෙන එකම කෙනා ආණ්ඩුකාරයා. එයා අත්සන් නොකර හිටියොත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ආණ්ඩුකාරයාව දානවා ඒගොල්ලන්ට ඕන අයව දාලා, ඒ පළාත් සභාවල වෙනම නීති, වෙනම ප්‍රඥාප්ති, වෙනම ඉඩම් බලය, වෙනම පොලිස් බලය නිර්මාණය කරගන්නවා. ඔහේ බලාගෙන ඉන්න තත්ත්වයක් ඇති කරනවා.

ඒ වෙනකොට මේගොල්ලෝ හිතනවා, ඒවට විරුද්ධ වෙන්න ඉඩ තියෙන භික්ෂූන් වහන්සේලාද, ඒ සමාජ සංස්ථාවට ගහලා වට්ටනවා. ඒකට විරුද්ධ වෙන්න ඉඩ තියෙන දේශපාලඥයන්ද, ඒ අය ඔක්කොම මොනවාහරි චෝදනාවක් පටවලා හිරගෙදරට ගාල් කරනවා. ආන්න විරුද්ධ වෙන්න මිනිහෙක් නැති වෙනවා. සමාජය හිරිවැටිලා, නිද්‍රාශීලීව බලාගෙන ඉද්දී, මෙතෙක් මේ රටේ දුෂ්ටම පාලකයාටවත් කරන්න බැරි වෙච්ච ඔක්කොම දුෂ්ට, අපරාධකාරී මෙහෙයුම දිගේලි කරනවා. මේකයි සැලැස්ම, මේක තමයි ලොකු පින්තූරේ. මෙතනට යන්න තමයි මේ පාර කපාගෙන යන්නේ, හෙළිපෙහෙළි කරගෙන යන්නේ.

ඊළඟ බලාපොරොත්තුව තමයි, එතකොට විරුද්ධ පක්ෂයේ ඊළඟ ජනාධිපතිවරණයකට එන්න මිනිහෙක් නැති වෙනවා. මොන මිනිහාවත් එයාට වැඩේ කරන්න දෙන්නෙත් නැති වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර තියෙන මර්දනකාරී යන්ත්‍රණය පාවිච්චි කරලා, මුලින් ජනාධිපතිවරණයට ගිහිල්ලා මේගොල්ලෝ බලනවා පුළුවන් සුළු ජාතික ඡන්ද ගෙඩිය පිටින් අරගෙන, මහා ජාතිකත්වයේ ඡන්දවලිනුත් යම් ප්‍රතිශතයක් හරි අරගෙන, වතුකරේ ඡන්ද ටිකත් ගෙඩිය පිටින් අරගෙන, 50% පන්නන්න බැරි වුණත්, මොකෙක්වත් බලවත් තරඟකාරයෙක් පිටියේ නැති කරලා, ඒ ගන්න 30% හරි, 35% හරි, 40% හරි, ඒකෙන් ජනාධිපති බවට තවදුරටත් පවතින්න. මේක තමයි ඔලුවේ තියෙන සැලැස්ම. මේ සැලැස්ම ඔලුවේ තියාගෙන තමයි මේ මර්දනකාරීත්වය දිගේලි කරන්නේ.

හැබැයි ඉතින් අපි ඒගොල්ලන්ට කියනවා, තමුන්වහන්සේලා හිතන විදිහටම හැමදේම වෙන්නේ නැහැ. මේ රට ඔය භෞතිකවාදී කණ්ණාඩියෙන් විතරක් කියවගන්න පුළුවන් රටක් නෙවෙයි. ඊට වඩා වැඩි ශක්තියක් සහිත රටක්. කෑලි වෙන්වෙලා බෙදෙන්න 99.9%කටම ගිහිල්ලත් අනිත් පැත්ත හැරිච්ච රටක්. ඒ නිසා තේරුම් ගන්න ඕනා, 2005 ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ දින්නේ ලක්ෂ ගානක් ඡන්දවලින්. දැන් මේගොල්ලෝ විදේශගත ඡන්දවලටත් ඡන්ද අයිතිය දෙන්න හදන්නේ අර මම කියපු මුල් ප්ලෑන් එකේ කොටසක් හැටියට. එතකොට දැන් අපි ඒ වුණාට දන්නවා ඔය කියන සැලැස්මට අනුව යන්න නොදෙන්නේ කොහොමද කියලා අපි දන්නවා. ඒක වළක්වන්නේ කොහොමද කියලත් අපි දන්නවා. ඒක වෙනුවෙන් එන්න ඕනෑම අභියෝගයකට අපි මුහුණ දෙනවා.

හැබැයි අපි ආණ්ඩුවට කියනවා, කැති කපන්න කොටන්න බලා සිටිනවායි කියලත් තේරුම් ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, වපුරන විදිහටම අස්වැන්න නෙලාගන්නත් සූදානම් වෙන්න කියලා අපි කියන්න ඕනේ. එහෙම නැතුව තමුන්වහන්සේලා හිතනවා නම් මේ බලය... මේක නිකන් අර කටුස්සාගේ ඇඟේ රත්තරන් තැල්ලක් එල්ලුවා වගේ වැඩක්නේ. හිතපු නැති බලයක් ආවා. ආපු බලය තියාගන්න මරාගෙන මැරිලා හරි තියාගන්න, ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට දාලා, සම්මත සදාචාර නීති මිනුම්දඩු බල්ලට දාලා, ඒ ලැබිච්ච ඒ බලය කොහොමෙන් හරි අතේ තියාගෙන ඉන්න කරන්න තියෙන ඕනෑම කුප්ප වැඩකට යන්න තියෙන සූදානම තමයි මේ පෙන්නන්නේ.

නමුත් තමුන්වහන්සේලා හිතනවා නම් ආණ්ඩුවේ උදවිය, ඒ තමන් හිතාගෙන ඉන්න මැච් එක ඒ විදිහටම ගහන්න පුළුවන් වෙයි කියලා, ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරන්න මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සූදානමින් ඉන්නවා. මේක තමයි මට කියන්න තියෙන්නේ. මොනවාහරි අහන්න තියෙනවා නම් අහන්න.

මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය: මේ විදිහට කටයුතු කරලා, ඔබතුමාට තවත් ප්‍රශ්න ඇතිවෙන්න ඉඩ තියෙනවද?

විමල් වීරවංශ මහතාගේ පිළිතුර: නඩු විතරක් නෙමෙයි, මට විතරක් නෙමෙයි, මගේ පවුලේ අයට, අයියලාට, නංගිලාට, ඊළඟට මගේ වටේ හිටපු අයට ඉතින් ඒවා වෙයි. ඒක තමයි මේ ආණ්ඩුවේ ක්‍රමය. ඒකට ඉතින් මුහුණ දෙනවා, වෙන කරන්න දෙයක් නැහැ. ඒකට බයෙන් මේවා රටට නොකියා ඉන්න අපිට බැහැ.

මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය: මේ දයාසිරි මන්ත්‍රීතුමා කිව්ව ප්‍රකාශයත් එක්ක බැලුවම, ඔබතුමයි එතුමයි එකතු වෙලා මේ...

විමල් වීරවංශ මහතාගේ පිළිතුර: දයාසිරි මන්ත්‍රීතුමා කිව්ව ප්‍රකාශයක් මම දැක්කේ නැහැ.

මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය: එතුමා කියනවා මේ වෙලාවේ එකතු වෙන්න ඕනේ, එකතු වෙන අය හොරු වුණත් කමක් නැහැ, මංකොල්ලකාරයෝ වුණත් කමක් නැහැ, සියලු දේශපාලනඥයෝ එකතු වෙලා මේ ආණ්ඩුව පෙරළන්න ඕනේ කියලා.

විමල් වීරවංශ මහතාගේ පිළිතුර: නැහැ, එහෙම කිසිම ප්‍රමිතියකින් තොරව එකතු වෙන්න ඕනේ කියලා නම් අපි විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ආණ්ඩුව කියපු පළියට කෙනෙක් හොරෙක් කියලා පිළිගන්න ඕනේ කියලත් අපි විශ්වාස කරන්නේ නැහැ. ඒක තීරණය කරන්න ඕනේ අවසානයේ අධිකරණයෙන්. අධිකරණයෙන් වරදකාරයෙක් වුණොත්, අන්න ඒක අපි පිළිගන්නවා. ආණ්ඩුව චෝදනා ෆැක්ටරියක් හදාගෙන ඒකෙන් ලේබල් ගැහුවාය කියලා, ඒ ලේබල් ගහලා තියෙන මිනිස්සු හොරු හැටියට ඈත් කරන්න ඕනේ කියලා අපි හිතන්නේ නැහැ. හොඳයි, ස්තූතියි.


සම්බන්ධිත පුවත් | Related News

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ විභාගයේ ලිඛිත දේශන තිබේ නම් ඒවා අද (07) දහවල් 12:00 ට පෙර ගොනු කිරීමට හැකියාව පවතී.
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට එදා විපක්ෂයේ සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ නම්, අද ඉදිරිපත් කර ඇති 22 වැනි සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන්නේ ඇයි දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි.
මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට යාමට උත්සහ කළ කාන්තාවන් ඇතුළු 13දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
ආණ්ඩුව වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සමාජ මාධ්‍යවල පෙනී සිටින කණ්ඩායම් නතර කිරීමේ හැකියාවක් තමන්ට නොමැති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැලවත්ත හි පිහිටි ජාතික ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වී තිබේ.
ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන ආර්ථික අභියෝග පිළිබඳව අදහස් දක්වමින් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසා සිටින්නේ 2028 වසර වන විට මෙරටට ඩොලර් බිලියන 3ක ණය වාරික ගෙවීමට සිදුවන බවයි.
හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවුලට වෛද්‍යවරයකු ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ප්‍රධාන පුවත්

සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”

හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවුලට වෛද්‍යවරයකු ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.