News Category
From Date
To Date
Maximum Number of Result

මගේ බඩින් වදාපු දරුවා වෙනුවෙන් මම ගිනිගොඩකට වුණත් පනිනවා - සුරේෂ් සලේ ගේ මව කියන කතාව

Jun 30, 2026 at 08:33 AM
|

යුද හමුදාවේ හිටපු සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ හා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මේ වන විට සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනපතිවරයාගේ රැඳවුම් නියෝග මතය. සිර මැදිරියේදී රෝගාතුර වූ ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. සුරේෂ් සලේ ගැන හොඳින්ම දන්නේ ඔහුගේ මව වන ක්ලෝඩියා මේරි ඇන්ටනන්ට් සලේ ය. සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වූ සත්‍යග්‍රහයටද ඇය එක්වූවාය. සුරේෂ් පුතු ගැන ඔහුගේ අම්මා සමග කළ කතාබහකි මේ.

ඔබට දරුවන් කී දෙනෙක් ඉන්නවාද?

මට ඉන්නෙ පුතාලම හතර දෙනෙක්. ඒ අයගෙන් තුන් දෙනෙක්ම යුද හමුදා නිලධාරින්. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ කියන්නේ දෙවැනි පුතා. තුන්වෙනියා මේජර් සෙල්වින් සලේ. ඔහු රාජකාරි කළේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ. බාලයා මේජර් ජෙනරාල් රමේෂ් සලේ. ඔහු යුද හමුදා විනයාරක්ෂක රෙජිමේන්තුවේ තවමත් රාජකාරී කරනවා. මගේ මහත්තයා නැතිවෙලා. මහත්තයා වැඩ කළේ පෙට්‍රෝලියම් එකේ දත්ත පාලක නිලධාරියෙක් විදියට. පුතාලා පොඩි කාලේ මහත්තයා ගොඩක්ම වැඩ කළේ පිටරට.

පවුලේ පිරිමි දරුවන් තුන් දෙනෙක්ම යුද හමුදාවට බැඳෙන්න විශේෂ හේතුවක් තිබුණද?

නැහැ. එහෙම විශේෂ හේතුවක් තිබුණෙ නැහැ. සුරේෂ් පුතා නම් පොඩි කාලේ ඉඳලම යුද හමුදාවට බැඳෙන්න කැමැත්තෙන් හිටියා. කාටවත් කොන්ද නමන්න ඕන නැති නිසාත් නිල ඇඳුමේ තරු පලඳින්න කැමැති නිසාත් යුද හමුදාවට බැඳෙන්න පුතා හරිම ආසාවෙන් හිටියේ. එයාගේ ආසාවට අපි බලපෑම් කළේ නැහැ. සුරේෂ්ට අපි ආදරේට කතා කළේ රොෂාන් කියලා. රොෂාන් කොහොමත් වෙනස් චරිතයක්. පොඩි කාලේ පාඩම් කරන්න වුණත් අපි බල කළේ නෑ. එයාම කැමැත්තෙන් කළා. සෙල්වින් පුතාට නම් පාඩම් කරන්න ෆ්‍රිජ් එකේ කෑම තියෙන්නම ඕන. සුරේෂ් පුතා ටිකක් ලොකු වෙද්දි මල්ලිලාට සැර කරලා පාඩම් කෙරෙව්වා.

සුරේෂ් පුතා යුද හමුදාවට බැඳෙන්න හදද්දී ගුරුවරු පවා කීවේ ඒකට ඉඩ දෙන්න එපා කියලා. ඒත් පුතා කැමති නිසා කැමති දේ කරන්න අපි ඉඩ දුන්නා. සාමාන්‍ය පෙළ විභාගයට හොඳම ප්‍රතිඵල අරගෙන හිටියත් උසස් පෙළ විභාගය ලියන්න කලින් වයස අවුරුදු දහඅට වෙද්දිම පුතා යුද හමුදාවට බැඳුණා. බාල පුතත් එහෙමයි. සෙල්වින් පුතා හමුදාවට බැඳෙද්දි ටිකක් පරක්කු වුණා. ඒ වෙද්දි ලොකු පුතා පිටරට පදිංචියට ගිහිල්ලා. ඒත් මම අකැමැති වුණා මගේ ළඟ හිටිය පුතාලා තුන්දෙනාම හමුදාවට බැඳෙනවට. භාරකාරයා වෙනුවට සර් කෙනෙක්ගෙන් අත්සන් අරගෙනයි සෙල්වින් පුතා යුද හමුදාවට බැඳුණේ.

එල්ටීටීඊ ත්‍රස්තවාදී යුද කාලයේ පුතාලා තුන්දෙනාම යුද හමුදාවේ රාජකාරි කරද්දී අම්මා කොහොමද දරාගෙන හිටියේ?

යුද්ධ කාලේ නිවුස් යනකොට මගේ යටි බඩ රිදෙනවා. මං හැමතිස්සෙම බාත්රූම් දුවනවා. පුතාලට තනතුරු හම්බ වෙනකොට මම ගොඩක් බයයි. මොකද එල්ටීටීඊ එකට මං බය හින්දා. යුද කාලේ වැඩිපුරම මම බය වුණේ සෙල්වින් පුතා ගැන. මොකද එයා ​ෙකා්මාන්ඩෝ බළකායේ හිටපු නිසා. නිවාඩුවට ගෙදර ආවහම මම පුතාට යන්න එපා කියනවා. ඒ ගැන මම සුරේෂ් පුතාට කීවම පුතා මට කියන්නේ මමී, මල්ලිව අධෛර්යමත් කරන්න එපා කියලයි. මොරාල් ඩවුන් කරන්න එපා කියනවා. යුද්දෙට යන්න ඕන කියනවා. ඒ කාලෙ සුරේෂ් පුතා යුද හමුදා මූලස්ථානෙ හිටියෙ. හමුදාවේ මරණ ලැයිස්තුව එන්නෙ සුරේෂ් පුතාටලු. එයාට ඔක්කොටම වැඩිය දුකයිලු. අවුරුදු තිහක් යනතුරු මම හැම අතින්ම තැළණා. මට මිග්‍රේන් පවා හැදුණා. අන්තිමේදී මාන්කුලම් පිපිරීමෙන් සෙල්වින් පුතා තුවාල වුණා. එදා අසූ ගාණක් නැතිවෙලා. වාසනාවට පුතා බේරුණා. එත් ඔහුගේ කන් ඇසිම දුර්වල වුනා.

බුද්ධි අංශයේ සේවය කළ සුරේෂ් පුතා ගැන බයවෙන්න හේතුවක් තිබුණෙ නැද්ද?

සුරේෂ් පුතාට පෞද්ගලික ජීවිතයක් තිබුණෙ නැති තරම්. අපිත් එක්ක ෆොටෝ එකක්වත් ගන්න ඉන්නෙ නෑ. අපිත් එක්ක ගමනක් එනවත් හරිම අඩුයි. අපේ පෞද්ගලික දේවල් කිසිම දෙයක් පුතාගෙ ඔළුවට අපි දාන්නෙ නෑ, එයා හරියට අපේ ළමයෙක් නෙවෙයි යුද හමුදාවේ ළමයෙක් වගේ හිටියේ. වෙඩින් එකකටවත් ගියාම පුතා පැත්තකටවෙලා ෆෝන් එකේ ඉන්නෙ. දුව ගමන් ගියෙත් රියැදුරු එක්කයි. අපිට දුකයි. ඒත් කරන්න දෙයක් නෑනෙ. දුව අපේ පුතත් එක්ක යාළුවෙලා ඉන්නකොටත් මම දුවට කිව්වා ගොඩක් දුක් විඳින්න වෙයි කියලා. අඩුම තරමෙ පුතාට ඉක්මනට බඳින්නවත් වුවමනාවක් තිබුණෙ නෑ. පවුලෙ දෙවැනි දරුවා වුණාට බැන්දෙ හැමෝටම පස්සෙ. බුද්ධි නිලධාරියෙක් කිව්වාම නිකන්ම හමුදා නිලධාරියෙක් නෙවෙයි. පුතාගෙ හැම වැඩක්ම වගේ කෙරුණේ රහසිගතව. එයාට කෝල් එනකොට සමහරවෙලාවට මමවත් ළඟ ඉන්නෙ නෑ. මොකද මං ඉන්න එක පුතාට හිරිහැරයක් නිසා මම පැත්තකට යනවා. එයා ජීවිතේ අවුරුදු ගාණක්ම කැප කරපු ළමයෙක්. කිසිම සැපක් විඳලා නෑ. නාට්‍යයක්, චිත්‍රපටයක් බලන්න යන්නෙ නෑ. දරුවො දෙන්නගෙ වැඩ කළෙත් දුව. රෑට ගෙදරින් ගියොත් එනකල් මම බයේ ඉන්නෙ. යුද්ධ කරන්නත් එයාල තමයි හැම තොරතුරක්ම හොයල දුන්නෙ. ඒකයි මට ගොඩක්ම දුක.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වුණ කාලයේ සුරේෂ් පුතා හිටියෙ කොහෙද?

ඒ කාලෙ පුතා හිටියෙ ඉන්දියාවෙ පුහුණුවීමක. ඒ කාලෙ දවස් කිහිපයකට පුතා ලංකාවට ආවා. 2018 දෙසැම්බර් ලංකාවට ඇවිත් හිටියා. ජනවාරි 4 වැනිදා ආයෙ ගියා. ඒ කාලෙ පුතා ලංකාවෙ හිටියෙම නැති තරම්. ප්‍රහාරය එල්ල වුණ දවසෙ පුතා එහේ ඉඳලා මට කතා කරල තිබුණා. මම ගෙදර හිටියෙ නෑ. මම නැති නිසා පුංචිට කතා කරලා. කොච්චිකඩේ දේවස්ථානයට මෙහෙම ප්‍රහාරයක් එල්ලවෙලා කියලා. මාව හොයලා. මොකද මමත් කොච්චිකඩේ දේවස්ථානයට යනවා. මම සාමාන්‍යයෙන් ඉරිදා දවස්වලට කොච්චිකඩේ යන්නෙ නෑ. මීසමේ පල්ලියටයි යන්නේ. පුතා ප්‍රහාරය ගැන දැනගත්ත ගමන් මාවයි හොයල තියෙන්නෙ. පුතාලා නිසා තමයි මමත් වැඩිපුර පල්ලියට යන්නෙ. සෙල්වින් පුතාලා ජයසිකුරු මෙහෙයුමේ ඉන්න වෙලාවෙත් මම හිටියෙ පල්ලියේ.

ඒ කියන්නෙ අම්මා කතෝලික ආගමේද?

ඔව්. මම ආගමේ. මගේ මහත්තයා මුස්ලිම්. සුරේෂ් පුතා හැම ආගමකටම ගරු කළා. පුතා අලුතින් වාහනයක් ගත්තාම මුලින්ම ගියේ කොච්චිකඩේ පල්ලියට. හමුදාවේ ඉන්නකොට මුලින්ම අදහන්නේ බුද්ධාගම.

මගෙන් සමහරු අහනවා ඔයාලා මොනවටද දැන් පල්ලි යන්නෙ කියලා. මම එහෙම හිතන්නෙ නෑ. මේ හැමෝම මිනිස්සුනේ. පල්ලියට විතරක් නෙවෙයි පන්සලටත් මම දායිකාවක් විදියට සහභාගී වෙනවා.

පුතාට එල්ල වෙන චෝදනා ගැන මට මොකුත් හිතාගන්නවත් බෑ. මොකද පුතාවත් කවදාවත් හිතුවෙ නෑ එහෙම චෝදනාවක් එයාට එයි කියලා. මගේ පුතා වචනයකින්වත් මනුස්සයෙක්ට කරදරයක් කරන්න හිතන කෙනෙක් නෙවෙයි. එයා ගොඩක් මිනිස්සුන්ව විශ්වාස කරනවා. අපි නම් කවුරුහරි දැක්කාම පොඩ්ඩක් අමුතුයි නේද කියල අහනවනෙ. එහෙම කිව්වාම පුතා බනිනවා. මිනිස්සුන්ට අනවශ්‍ය කතා කියන්න එපාලු. එයා වෙනමම චරිතයක්. අඩු තරමෙ පුතාව අත්අඩංගුවට ගන්න හදනකොටවත් එයා මොකුත් කළේ නෑ. උදේ වැඩට ගිය ගමන්නෙ පුතාව ගත්තේ. පුතා තනතුරේ ඉන්නකොට විමර්ශන කරන්න බැරි නිසා අයින් වෙන්න කියල තිබුණා. ඒ නිසා පුතා, හරි මං අයින් වෙන්නම් කියල අයින්වෙලා ඔක්කොම බඩු භාර දීලා අයියගෙ ගෙදරට ආව.

දෙවියන්ට මං දැන් පුතාව භාර දීලා ඉන්නෙ. හැමදාම මම පාන්දර දෙකට තුනට නැගිටිනවා. නින්ද යන්නෙ නෑ. මම නැගිටලා ඇවිත් යාච්ඥා කරල නිදාගන්නවා. සමහරවෙලාවට මට පුතා ඇවිත් කතා කරනවා ඇහෙනවා. මං දුවගෙන එනවා. එතකොටයි මතක් වෙන්නෙ පුතා නැහැනෙ කියලා.

පුතාලා හතර දෙනාගෙන් වැඩිපුරම අම්මාව තේරුම් ගත් කෙනා සුරේෂ් නේද?

ඔව්. සුරේෂ් පුතා තමයි මාත් එක්ක ඉන්න පුළුවන් හොඳම කෙනා. කාටවත් කරදරයක් නැති සංවර කෙනෙක්. ඒ නිසායි මම පුතාව ළඟම තියාගත්තෙ. සහෝදරයො අතරත් තද බැඳීමක් තිබුණා. මහ රෑ දහයට ආවත් ආප්ප එහෙම ගෙනත් දීලා කන්න කියනවා. මට හරිම ආදරෙයි. මට කෑම ටික පවා ගෙනත් දෙනවා. පුතා හැමතිස්සෙම කළේ රාජකාරිය විතරයි. ඔෆිස් එකේ අය මට කියනවා සර් හරියට වේදනානාශක ඉල්ලනව කියල. තිබුණත් නෑ කියනවලු. වැඩ කරලා කරලා මහන්සි වුණාම හැදෙන ඔළුවෙ කැක්කුමට බෙහෙත් පෙති දෙකක් බීල ඉන්නවා. මට වගේම පුතාටත් මිග්‍රේන් තියෙනවා. පුතාට කෑම බීම ගැන වැඩි කැමැත්තක් නෑ. කෑම නොකා ඉඳලා ඔළුව රිදෙනකොට ඒකට බෙහෙත් බොනවා. රෑට ආවාම මගේ කෑම තමයි කන්න කැමැති. කෝකියෙකුත් හිටියත් ඒ අයගෙ කෑමවලට කැමැති නෑ.

පුතාව අන්තිමට දැක්කෙ කවදද?

පුතාව අරගෙන ගියාට පස්සෙ මම දැක්කෙම නෑ. පුතා හොස්පිට්ල් ඉන්නකොට මම එනවට එයා කැමැති නෑ. එයා බට ගහගෙන ඉන්නවා දකිනකොට අම්මට දැනෙන වේදනාවට එයා කැමැති නෑ. පුතා කැමැති නැති බව දන්න නිසාමයි මමත් යන්න බල කරන්නෙ නැත්තෙ. දැන් මාස හතරක් වෙනවා මගෙ පුතාව දැකලා. හැබැයි කෑම ටිකක් හදල යැව්වා සෙල්වින් පුතා අතේ. සතියට එක කෑමවේලක් අරන් යන්න දුන්නා.

පුතා එදා අත්අඩංගුවට අරගෙන ගෙදර එක්කගෙන ආවනේ. මොකක්ද වෙන්නෙ කිසිම දෙයක් මම දැනගෙන හිටියෙ නෑ. ගෙදර සෝදිසි කළා. වාහනේ පවා ගලවලා බැලුවා. යද්දි මට කියල ගියේ මමී බයවෙන්න එපා. මට මොකුත් වෙන්නෙ නෑ කියලයි. පුතාව අරගෙන යන්න වාහන තුන හතරක් ආවා. පාරවල් වහලයි පුතා අරන් ගිහින් තියෙන්නෙ. එච්චර දෙයක් කරන්න මගෙ පුතා හොරෙක්ද. රටට මෙච්චර සේවයක් කළ කෙනෙක් මේ විදියට අරන් යනවද. දෙව් මෑණියොත් මම වගේ දුක් විඳලා ඇති ජේසුව කුරුසියේ තියලා ඇණ ගහනකොට.

පුතා වෙනුවෙන් අම්මත් කොටුවේ සත්‍යග්‍රහයට සහභාගි වුණා නේද?

පුතා ඇස් දන් දෙනවා, අන්තිම කැමැත්ත ලියනවා කියලා දැක්ක වෙලාවෙ මම කෑගහල ඇඬුවා. මම පුතා බලන්න හොස්පිට්ල් යනවා කිව්වාම සෙල්වින් පුතා යන්න එපා කිව්වා. නෑ මම යනවාමයි කියලයි ගෙදරින් පිටත් වුණේ. ඒ යන මගදි තමයි කොටුවෙන් බැස්සේ. හොස්පිට්ල් යන්න වෙලාව තිබුණ නිසා මමත් කොටුවෙ සත්‍යග්‍රහය තිබුණ තැනට ගිහින් එතන හිටපු පුතාලා එක්ක කතා කළා. මගේ පුතා වෙනුවෙන් කරන දේවල්වලට පින්සිද්ධ වෙනවා කිව්වා. එදා මම කියන දේ අහන්නෙ නැතුව ගියා කියලා සෙල්වින් පුතා මාත් එක්ක සුමානයක් කතා කළේ නෑ. මේ මගේ බඩෙන් වදාපු දරුවා. මම ගිනි ගොඩකට හරි පනිනව මගේ දරුවා වෙනුවෙන්. මට තියෙන වේදනාව කිසිම කෙනෙකුට නෑ.

සුරේෂ් සලේ නිසා දැන් පවුලෙ අයටත් සමාජ මාධ්‍යයෙන් මඩ ප්‍රහාර එල්ල වෙනවා නේද?

මගෙ පුතාලා නම් කියනවා මමීට බැනල තියෙනව කියලා. හැබැයි මම ෆේස්බුක් මොකුත් බලන්නෙ නැති නිසා දන්නෙ නෑ. මාව අඳුරන මිනිස්සු දන්නවා මම කවුද කියලා.

පුතා දැන් කෑම ප්‍රතික්ෂේප කරලා ඉන්නේ ඒ තරමට දඩබ්බරයෙක් නිසාද?

අනේ නෑ. එයා ගොඩක් ඉවසනවා. දැන් කෑම ප්‍රතික්ෂේප කරන්නෙත් පුතාට වුණ අසාධාරණය නිසායි. එයාට එයා වෙනුවෙන් කතා කරන්න බැහැනේ. මෙහෙම කරන්න තරම් එයා හොරෙක් නෙවෙයිනෙ. එයාට එන්න කිව්වා නම් යනවනෙ. මල්ලි ගියාම එයා අහල තිබුණා එයා කුඩුකාරයෙක්ද ත්‍රස්තවාදියෙක්ද කියලා අහලා. කොච්චර රටට සේවයක් කළාද කියලා අහනවලු. එයා දන්නවලු මේවා කරන්නෙ කවුද කියලා. ඒ කවුද කියලා මල්ලිටවත් කියලා නෑ.

පුතා කලින් ඉඳලාම අසනීපෙන්ද හිටියේ?

මිග්‍රේන් නම් තදටම තිබුණා. වෙන කිසිම අසනීපයක් තිබුණෙ නෑ. උදේ වැඩ පටන් ගත්තාම රෑ වෙනකල් හොඳට වැඩ කරලා හිටපු කෙනෙක් පැත්තකට කරලා තිබ්බාම මානසිකව වැටෙනවානෙ. ඒකයි පුතාට දැන්වෙලා තියෙන්නෙ. පත්තරයක් කියවන්න නෑ, පෑනක් පැන්සලක්වත් ළඟ නෑ. කොච්චර ලොකු රාජකාරියක් කළ කෙනෙක්ව අඩි හතරේ කාමරයක ඔහොම තිබ්බාම මානසිකව වැටෙන්නෙ නැද්ද. කවුරුහරි ආවාම උපදෙස් පවා දෙනවා. කවුන්සලින් කළා. ඒ තරම් මනස සැහැල්ලුවෙන් හිටපු කෙනෙක්. හැබැයි ඕනම කෙනෙක් බිත්තිය ළඟටම ගිහින් තද කළොත් ඉන්නෙ නෑනෙ. පුතාත් මම වගේ. මටත් තියෙනවා එහෙම ගතිගුණ.

මේ සිද්ධියෙන් පස්සේ පවුලේ අයට ආරක්ෂාව ගැන ගැටලුවක් තියෙනවාද?

මට දරුවො නම් කියනවා පල්ලියටවත් එළියට යන්න එපා කියලා. හැබැයි මට තවම කිසිම ප්‍රශ්නයක්වෙලා නෑ. හැමෝම මට කියන්නෙ චණ්ඩියා කියලා. මම වැඩිය ගණන් ගන්නෙ නෑ. රොෂාන් පුතාගෙ දුව පස්සෙන් දවසක් කවුදෝ ආවලු. එයාලා තවමත් ඉගෙනගන්න පොඩි දරුවෝ. ඒ නිසා පුතාගෙ නෝනා ආරක්ෂාව ඉල්ලලා තිබුණා.

පාප් වහන්සේට මැදිහත් වෙන්න කියලා අම්මලා ඉල්ලීමක් කළා නේද? ප්‍රතිචාරයක් ලැබුණද?

ඔව් මම ලිපියක් බාර දුන්නා. තවම පිළිතුරක් ලැබුණේ නෑ. මම කතෝලික නිසා මගේ තොරතුරු ඔක්කොම මම දුන්නා. මගේ දරුවාට දෝෂාරෝපණය කරලා හංවඩු ගැහුවෙ මේ අය කියලා මම ලිව්වා. ෆාදර්ස්ලා ගිහින් නඩුවක් දැම්මනේ.

සුරේෂ් සලේ ගැන කරන විමර්ශන ගැන අදහස මොකක්ද?

විමර්ශනයක් කරන්න ඕන නම් නීතියට අනුව කරන්න. ඒකෙ කිසිම වරදක් නෑ. ඒක හොඳයි අපිට විශ්වාසයි පුතා කිසිම දෙයක් නොකළ බව. අපි කියන්නෙ පුතාට හිරිහැරයක් නොකර විමර්ශනයක් කරන්න කියලා. ඇයි හරියට දින වකවානු අරගෙන විමර්ශන කරන්නෙ නැත්තෙ. පුතා ඉන්දියාවෙ හිටිය කාලෙ ගැන එහෙන්ම විස්තර ගන්න පුළුවන්නෙ. ඇයි අනවශ්‍ය විදියට වධ දෙන්නෙ. දරුවා මානසිකව වැටෙනවනෙ. හරියට විමර්ශන කරලා පුතාගේ නිර්දෝෂීභාවය රට පෙන්නන්න. ඒ නිසා අනිවාර්යෙන් විමර්ශන හරියට කරන්න.

කවුරුවත් තමන්ගේ පුතාලා හමුදාවට දෙන්න එපා කියලා ඔබ කිවේ ඇයි.

මම එදා මට දැනුණ ආවේගයට එහෙම කිව්වා. මම එහෙම දුන්න නිසායි මම අද දුක් විඳින්නේ. යුද්ධය නිසාත් කාලයක් මම විඳෙව්වා. දැන් ආයෙමත් විඳවනවා.

- අනීෂා මානගේ

අරුණ පුවත්පත 


සම්බන්ධිත පුවත් | Related News

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.