වෛද්‍යවරු සටන දැඩි කරයි..
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය
රෝහල් පද්ධතියේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම වෙනුවෙන් එළඹි ලිඛිත එකඟතා දිගින් දිගටම උල්ලංඝණය කරන රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රතිපත්තිය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තිව්‍ර කිරීම.
රෝගී ජනතාවට සිදුවන අපහසුතා අවම වන පරිදි සහ රජයට අවශ්‍ය වන බලපෑම එල්ල කිරීමේ අරමුණින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් මේ වන විට දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවක් දියත් කර ඇති අතර ඒ සඳහා හේතු වී ඇත්තේ රෝහල් පද්ධතියේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලබා දුන් ලිඛිත පොරොන්දු කඩ කිරීමත්, මෙම ගැටලු සාකච්ඡාමය ප්‍රවේශයෙන් විසඳීම ප්‍රතික්ශේප කරමින් රජය පාර්ශවයෙන් දක්වන උද්ධච්ච ස්වභාවයත් වේ.
දිවයින පුරා වෛද්‍යවරුන් තම රාජකාරි කාලය තුලදී ඉතා විශාල ගැටලු සහ දුෂ්කරතා ප්‍රමාණයකට මුහුණපාමින් සේවා සපයමින් සිටියි. මානව සම්පත් හිඟය, භෞතික සම්පත් සහ යටිතල පහසුකම් වල උග්‍ර ගැටලු මේ සඳහා සෘජුව බලපා තිබේ. එමෙන්ම වැටුප් වල නොවිසඳුණු ගැටලු, දීමනා සහ පහසුකම් වල තවදුරටත් සිදුවෙමින් යන කප්පාදු මෙම ගැටලු තව තවත් උග්‍ර අතට පත් කර ඇත.
ඉහත ගැටලු විසඳීම සඳහා සාධනීය මැදිහත්වීමක අවශ්‍යතාවය සෞඛ්‍ය අමාත්‍යංශයටත්, දේශපාලන අධිකාරියටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සාක්ෂි පදනම් කරගත් තර්කානුකූල වාර්තා හරහා ඔප්පු කර පෙන්වා තිබේ. ඒ පිළිබඳ සාකච්ඡා කර මෙම ගැටලු විසඳීම සඳහා පියවර ගන්නා බවට 2025 දෙසැම්බර් මාසයේදි සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය ප්‍රජාවම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හා ලිඛිතව එකඟ වී තිබුණි. එමෙන්ම එම එකඟතාවය පාර්ලිමේන්තුවේ ද ප්‍රකාශයට පත් කල අතර හැන්සාඩ් වාර්තාවේ ද අඩංගු වී ඇත.
නමුත් අවාසනාවන්ත ලෙස එම එකඟතා සියල්ල 2026 වසර ආරම්භයේදීම බිඳදැමීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් සිදු වූ අතර මේ පිලිබඳ දැඩි අප්‍රසාදයක් මුලුමහත් වෛද්‍ය ප්‍රජාවේම මේ වන විට ඇති වී තිබේ.
23000 කට අධික සාමාජිකත්වයක් සහිතව මෙරට වෛද්‍යවරුන්ගේ එකම නියෝජිතයා වන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා සහ විධායක සභා තීරණ අනුව මේ වන විට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගණනාවක් දීපව්‍යාප්තව සිදු වෙමින් පවතී.
සෞඛ්‍ය දර්ශක අතින් ශ්‍රී ලංකාව අන්තර්ජාතිකව ඉහළ තලයකට ඔසවා තැබිමෙහිලා මෙරට රෝග නිවාරණ අංශය ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කරමින් පවති. එම කාර්යභාරය තුල තීරණාත්මකම භූමිකාව සිදු කරනුයේ මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ (MOH) නායකත්වයෙන් යුත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පද්ධතියයි.
නමුදු ඔවුන් එදිනෙදා රාජකාරියේ නිරත වීමේදි මුහුණ දෙන ගැටලු කිසිවක් හරියාකාරව විසඳීමට හෝ විසඳීම සඳහා ආරම්භයක් ගැනීමටවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ රජයේ උද්ධච්ච ප්‍රතිපත්තින් නිසා සිදු වී නොමැත.
එම නිසා රෝග නිවාරණ සහ මහජන සෞඛ්‍ය අංශය නියෝජනය කරමින් රට පුරා විහිදී ඇති සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල නියෝජනය කරමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලයට පසුගිය 2026.02.11 වැනි දින රැස් වූ අතර ඔවුන් මේ වන විට මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.
එමෙන්ම පවතින වෘත්තීය ක්‍රියාමාර්ග වඩා ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පද්ධතියේ දායකත්වය ලබා දීමට ද ඒකමතිකව තීරණය කරන ලදී.
එහිදි සාකච්ඡා වූ කරුණු පාදක කරගනිමින් මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සිදුකරගෙන යනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවත් තීව්‍ර කිරීමට විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇත.
ඒ අනුව මේ වන විට සිදු කරගෙන යනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වන,
- රෝහල තුල නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් ලබා ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම.
- රෝහල තුල නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදු කරගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම.
- දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය කදවුරු සහ සායන සඳහා ස්වෙච්ඡාවෙන් සහභාගිවිමෙන් ඉවත් වීම.
- අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව නොමැතිව රෝහල් පද්ධතිය තුල විවෘත කරන නව රෝහල් වාට්ටු සහ ඒකක වලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම අත්හිටුවීම.
- රෝගීන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරැකීමට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් සහ සහායක කාර්යමණ්ඩලය නොමැතිව රෝගීන් පරීක්ෂා කිරීමෙන් ඉවත් වීම.
- සියලු විශේෂඥ වෛද්‍යවරුන් තම ආවරණ රාජකාරි වලින් ඉවත් වීම.
තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමත් ඊට අමතරව 2026.02.18 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි,
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සහ ඍජු අධික්ෂණයෙන් සිදු වන ප්‍රජා සෞඛ්‍ය පිලිබඳ නිල දත්ත සෞඛ්‍ය අමාත්‍යංශයට සහ අදාල කාර්යාල සඳහා ලබා දීමෙන් ඉවත් වීමට තීරණය කරන ලදී.
ඒ අනුව,
දිනපතා
- ශීතකරණයේ ශීත දාමය පවත්වාගෙන යාම සම්බන්ධ වාර්තාව
- ඩෙංගු රෝගීන් වාර්තා කිරීම
සතිපතා
- බෝවන රෝග සම්බන්ධ සතිපතා වාර්තාව (WRCD - Weekly Return of Communicable Diseases)
මාසිකව
- පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ මාසික වාර්තාව සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක මාසික වාර්තාව
- පාසල් සෞඛ්‍ය කටයුතු පිලිබඳ මාසික වාර්තාව
- එන්නත් අතුරු ආබාධ වාර්තාව (AEFI)
- ජල සාම්පල් වාර්තාව
- මුඛ සෞඛ්‍ය සම්බන්ධ මාසික වාර්තාව
- මාසික එන්නත් වාර්තාව
- රසායනික ද්‍රව්‍ය භාවිතය පිලිබඳව මාසික වාර්තාව
- සෞඛ්‍ය අධ්‍යාපනික කටයුතු සම්බන්ධ මාසික වාර්තාව
කාර්තු වශයෙන්
- ත්‍රෛමාසික මාතෘ හා ළමා සායනික වාර්තාව
- ත්‍රෛමාසික පාසල් සෞඛ්‍ය වාර්තාව
- මුඛ සෞඛ්‍ය පිලිබඳව ත්‍රෛමාසික වාර්තාව
ඇතුලු අදාල දත්ත සහ වාර්තා නිල වශයෙන් ලබා දීමෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඉවත් වෙනු ඇත.
ගැටලු විසඳීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම සාකච්ඡාමය ප්‍රවේශයෙන් කටයුතු කිරීම සඳහා නම්‍යශිලි වෙමින් තිබියදිත්, රජය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ගැටලු විසදීම හෝ සාකච්ඡා කිරීම මගහරිමින් උද්ධච්ච ලෙස හැසීරිම හරහා සිදු වනුයේ නිදහස් සෞඛ්‍ය සේවාව තවත් අර්බුදයකට ගමන් කිරීම පමණි.
උද්ධච්ච ප්‍රතිපත්තිය ඉවතලමින් එළඹුනු එකඟතා ක්‍රියාත්මක කරමින් කාලරාමුවක් තුල රෝහල් පද්ධතියේ ගැටලු විසඳීම සඳහා රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය අවශ්‍ය මූලික පියවර ගැනීමෙන් දිගින් දිගටම විතැන් වන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මින් ඉදිරියටත් විවිධ පැතිකඩ ඔස්සේ තවත් තිව්‍ර විය හැකි බව අවධාරණය කරමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..