හදවත නිසලය.. මතකය සසලය.. - නන්දන ගුණතිලක ගැන විමල් තැබූ සංවේදී සටහන..
අභාවප‍්‍රාප්ත හිටපු ඇමති නන්දන ගුණතිලක මහතා සම්බන්ධයෙන් හිටපු ඇමති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් තබන ලද සටහනක් මෙහි දැක්වෙයි.
හදවත නිසලය...
මතකය සසලය...
නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම ගියේය,
මට ඔහු පළමුව මුණගැසුනේ, 1989 මුල් කාලයේ දී වාද්දුවේ පිහිටි ඔවුන්ගේ නිවසේදී ය. එකල ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. ජ.වි.පෙ. ශිෂ්‍ය දේශපාලනයේ ඉදිරි පෙළ ක්‍රියාධරයෙකි.
ඒ වන විට මා ජ.වි.පෙ. භූගත දේශපාලනයේ පූර්ණ කාලීන ක්‍රියාධරයෙකි. නන්දන සහෝදරයාගේ මල්ලි වූ දමිතට එකල මා පන්ති (ඉන්දියානුන් ව්‍යාප්තවාදය සහිත පන්ති 5) සාකච්ඡා සිදු කරමින් සිටිය බව මතක ය. මල්ලි මට කීවේ අයියා ගෙදර පැමිණ ඇති බවයි. මල්ලි තම අයියා ගැන මා වෙත පවසා තිබූ කරුණු අනුව ඔහු දැකීමේ උවමනාවක් මා තුළ ද විය. දමිත සමඟ ඔවුන්ගේ නිවසට යන විට නන්දන සිටියේ නිදාගෙන ය. නිදාගෙන සිටිය ඔහු දෙස බලා එදා මම නික්ම ආවෙමි.
පසුව මට ඔහු මුණගැසුනේ 1990 අගභාගයේ දී විය යුතුය. එවිට ජ.වි.පෙ. නිර්මාතෘ රෝහණ විජේවීරයන් ඇතුළු සමස්ත පක්ෂයම දරුණු රාජ්‍ය මර්ධනයක් හමුවේ බිඳ වට්ටවා අවසන් ය. ඉතිරි වූ අප සුළු පිරිස සිටියේ කුඩා කණ්ඩායම් ලෙස වෙන් වෙන්ව ය. මා සිටියේ කමල් දේශප්‍රිය හෙවත් ‘සෙනෙවි“ සහෝදරයාගේ මූලිකත්වය ගත් කුඩා කණ්ඩායම තුළය. නන්දන සහෝදරයා ද එබඳුම කුඩා කණ්ඩායමක් පවත්වාගෙන යන බව අපට දැන ගැනීමට ලැබුණේ මේ කාලයේ ය. ටික කලකින් කණ්ඩායම් දෙක අතර සබඳතා ගොඩ නැගුණි. වෙන වෙනම වුවත් අපි එක අරමුණක් වෙනුවෙන් ක්‍රියා කළෙමු.
විනාශයට ලක් වූ, විශ්වාසය සෘණ අගයක් දක්වා පහත වැටී තිබුණු, මරණ බිය හා රුදුරු වධ බන්ධන අප පසු පසින් පැමිණි එබඳු මොහොතක යළිත් පක්ෂයට පණ දෙනවායැයි සිතා ක්‍රියා කළ පිරිස ගණනින් ඉතා කුඩා ය. නන්දන ද ඒ අධිෂ්ඨානශිලී සුළු පිරිසේ ඉදිරියෙන්ම ක්‍රියා කළේය.
නන්දන සහෝදරයා සතුව වූයේ ජීවිතයකි. කකුලේ තිබුණේ රබර් සෙරෙප්පු කුට්ටමක් පමණි. බොහෝ විට එක ළඟ දින ගණනාවක් හැඳ සිටියේ එකම ‘ටී ෂර්ට්“ එකකි. කෑම වේල් කිහිපයක් අහිමි වුවද වතුර බඳුනකින් කුස පුරවා ගැනීම ප්‍රමාණවත් යයි සිතූ සුළු පිරිස අතර ඔහු ද විය.
1994 මහ මැතිවරණයට ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ නමින් ඉදිරිපත් වීමට ජ.වි.පෙ. ගත් තීරණය භාවිතාව තුළ සාර්ථක කිරීමට කැප වූ සුළු පිරිස අතර ඔහු ද විය. සෝමවංශ අමරසිංහ සහෝදරයා සිටියේ විදේශ ගතව ය. ඔහු සමග සබඳතා පැවැත්වූ සුළු පිරිස අතර නන්දනද විය.
1994 මහ මැතිවරණයට පෙර සිටම, ජ.වි.පෙ. නිල අයිතිය පිළිබඳ අර්බුදයක් නිර්මාණය වී තිබුණි. එහිදී සෝමවංශ අමරසිංහ සහේදරයා මූලිකව කළ සටන තුළ නන්දන ද වූයේ ය. පසුව නන්දන ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් තනතුරට ද පත් කෙරුණි, ටිල්වින් සිල්වා සිටියේ සිර ගෙදර ය.
ටිල්වින් සිල්වා දඬුවම් ලැබ සිරගෙදරින් නික්ම ආ විට සෝමවංශ සහෝදරයා යෝජනා කළේ ඔහුට ප්‍රධාන ලේකම් තනතුර ලබා දෙන මෙන් ය. කී සැණින් නන්දන එම ඉල්ලීමට අවනත විය.
1991 ජනාධිපතිවරණයට තරඟ වැදීමට නීත්‍යානුකූලව මට නොහැකි විය. ඒ වන විට මම එයට අවශ්‍ය වයස සපුරා නොමැති වීම ඊට හේතුව විය. දේශපාලන මණ්ඩලය ඊළඟ යෝජනාව ආවේ අනුර දිසානායකට ඒ සඳහා ඉදිරිපත් වන මෙන් ය. ඔහු එය දැඩිව ප්‍රතික්ෂේප කළේය. එසේ කිරීමට නිසි හේතුවක ද දේශපාලන මණ්ඩලය හමුවේ ඉදිරිපත් කෙරුණේ ද නැත. එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට බල පෑ හේතුව මම පසුව දැන ගත්තෙමි. නමුත්, එය මෙහි සටහන් නොකළ යුතු යැයි මම සිතමි.
අවසානයේදී තරග වැදීමට ඉල්ලීම ආවේ නන්දන වෙත ය. මුල දී ඔහු ද එය ප්‍රතික්ෂේප කළේ ය. ඔහු එසේ ප්‍රතික්ෂේප කිරීමට අතිශය මානුෂීය හේතු දැක්වීමක් ද සිදු කළේය. නමුත් පාන්දර 1 පමණ වන විට, ඔහු එම යෝජනාවට එකඟත්වය දැක්වූයේ ය. ඒ තම පෞද්ගලික කැමැත්ත හා ජීවිතය පිළිබඳ කරුණු පසෙක තබමින්ය.
මා ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් වන විට ඒ වැඩ කටයුතු සිදු කළේ නන්දන ය. මට එය පැවරෙන විට ඔහු එය සතුටින් බාර දුන්නේ ය. 2005 ජනාධිපතිවරණ ක්‍රියාමාර්ගය හා බැඳුණු බලවත් අභ්‍යන්තර සංවාදය තුළ දී මා සහ ඔහු සිටියේ එකම ස්ථාවරයේ ය. මට වඩා ජ්‍යේෂ්ඨයකු ඔහු ද සිටින පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා බවට මා පත් කරන විට ඔහු එය පිළිගත්තේ විවෘත හදවතින් ය.
ඔහු ජ.වි.පෙ.න් ඉවත් වූයේ 2005 ජනාධිපතිවරණය හා බැඳුණු බෙදීමේ කෙළවර ය. කුඩා ලිපියක් දේශපාලන මණ්ඩලයට එවූ ඔහු එතැන් සිට නිහඬ විය. මා ජ.වි.පෙ.න් පැමිණි පසු ජාතික නිදහස් පෙරමුණ බිහි කිරීමට කැප වූ සුළු පිරිස අතර ඔහු ද ඉදිරියෙන්ම සිටියේ ය. ජා.නි.පෙ පළමු ප්‍රධාන ලේකම්වරයා වූයේ ඔහු ය. එමෙන්ම, එකළ ඔහු සංචාරක අමාත්‍ය ධූරය ද දරන ලද බව සිහි කළ යුතුය.
පසුව අප වෙන් විය. එසේ වුවත් සතුරු මනෝභාවයකින් ක්‍රියා කිරීමක් අප අතර ඇති වූයේ නැත. ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහුව බලන්නට මා ගිය විට ඔහු කීවේ ‘‘මහත්තයෝ අපි අතර කවදාවත් පුද්ගලික කෝන්තර තිබුණෙ නෑ නේද“ කියා ය. ලෙඩ ඇඳේ සිටිය දී ඔහු බැලීමට පැමිණි බොහෝ දෙනකුට ඔහු කීවේ ‘‘විමල් සමග එකතු වී වැඩ කරන“ මෙන් ය.
රාගම වෛද්‍ය පීඨය බේරා ගැනීමේ සටනේ (පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට එරෙහි ශිෂ්‍ය සටනේ) නන්දන පුරෝගාමියෙකි. ජ.වි.පෙ. දේශපාලනය වෙනුවෙන් ඔහු සිය උපාධිය ද නොසලකා හැරියේ ය. ඒ, ‘‘පළමුව මව්බිම - දෙවනුව අධ්‍යාපනය“ යන පාඨයට අනුකූලව ය. අද ජ.වි.පෙ. තුළ සිටින බොහෝ කෙරුමන් උපාධිය සම්පූර්ණ කර ගැනීමෙන් පසු ජ.වි.පෙ. ට එක්වූවන් ය.
පානදුර නගරාධිපති ධූරය ද දරන ලද නන්දන සහෝදරයා ජීවිතයේ අවසන් සමයේ මුදල් අගහිඟ කමින් බොහෝ සේ පීඩා වින්දේ ය. ඇතැම් විට ඔහුට බස් රථයක නැගී ගමනක් යාමට තරම් ප්‍රමාණවත් මුදලක් නොතිබුණි. එහෙත් ඔහු තෘප්තිමත් මිනිසෙකු ලෙස ජීවිතය ගත කළේය. ජ.වි.පෙ.න් එල්ල විය හැකි මරණීය තර්ජනය ගැන නොසලකා හෝ ක්‍රියා කළේය. කාලය නිමා වූ පසු අප දිවි රඟ මඬලින් නික්ම යා යුතුය. මෙබඳු මිනිසකු නික්ම ගිය පසු දැනෙන හිස් තැන සුළු පටු නැත.
නන්දන ගුණතිලක සහෝදරයාණෙනි, අප එක්වී ඇරඹූ ගමනක් විය. පසුව කුමක් වුවත් වඩාත් යහපත් හෙට දිනයක් රටට උරුම කර දීම වෙනුවෙන් ඔබ එදා පෙන් වූ කැපවීම හා ධෛර්ය සුළු පටු නැත.
ඔබට නිවන් සුව ලැබේවා..!!!
විමල් වීරවංශ
2026.01.18
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..