
මේ ආරක්ෂක ගිවිසුම කොටි වලිගයක් අල්ලා ගැනීමක් - උදය ගම්මන්පිල
‘ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමෙන් ලංකාව අඛණ්ඩ භාරතයේ කොටසක් බවට පත්වී කොටි වළිගය අල්ලා ගැනීමට සමාන බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
නිදහස් ලංකාවේ කිසිම රාජ්‍ය නායකයෙකු නොකළ අයුරින් ලංකාව ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමකට එළැඹිලා තිබෙනවා. බණ්ඩාරනායක අගමැතිතුමා, සිරිමාවෝ මැතිණිය, ජේ ආර් ජයවර්ධන ජනපතිතුමා සහ රනිල් වික්‍රමසිංහ ජනපතිතුමාට ලෝක දේශපාලන ප්‍රවණතා පිළිබඳ හොඳ ඉවක් තිබුණා. සිරිමාවෝ අගමැතිතුමිය, මහින්ද රාජපක්ෂ ජනපතිතුමා සහ ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමාට ජාතික ආරක්ෂාව පිළිබඳ හොඳ දැනුමක් තිබුණා. මේ කිසිම රාජ්‍ය නායකයෙකු ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමකට එළැඹුනේ නැත්තේ එය ලංකාව ලෝක බල අරගලයේ එක් පැත්තක් ගැනීමෙන් ලංකාවේ විනාශය සිදුවන බව දකින්න තරම් ඒ නායකයින් බුද්ධිමත් වුණු නිසා. විචක්ෂණ වුණු නිසා. අත්දැකීම් තිබුණු නිසා. ලංකාව නිදහස ලැබීමට පෙර බ්‍රිතාන්‍යයට ලංකාවේ ගුවන් සහ නාවික කඳවුරු පවත්වා ගෙන යෑමට එළැඹුණු ආරක්ෂක ගිවිසුමත් බණ්ඩාරනායක අගමැතිතුමා අහෝසි කර ගත්තා.
වසර 2050 වන විට ලෝකයේ ප්‍රධානතම බලවතුන් වෙන්නේ චීනය සහ ඉන්දියාව. ඒ නිසා චීනයෙන් එන තර්ජනයට මුහුණ දෙන්න බටහිර බලවතුන් ඉන්දියාව වටා එකතු වෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව එකතු වී පිහිටුවා ගත් ද කොඩ් නමැති සංවිධානයත් එවැනි සංවිධානයක්. එදා සෝවියට් දේශය සහ ඇමෙරිකාව අතර බල කඳවුරු දෙකක් තිබුණා වගේ හෙට දවසේ බල කඳවුරු වෙන්නේ ඉන්දියාව සහ චීනය. අපි එදා ඇමෙරිකාව සහ සෝවියට් දේශය කියන බල කඳවුරු දෙකෙන් එකකටවත් එකතු නොවී නොබැඳිව හිටියා වගේම මේ අවස්ථාවේ දීත් ස්වාධීන විය යුතුයි. එවැනි පසුබිමක ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමකට එළැඹීමෙන් පේන්නේ ජාතික ආරක්ෂාව වගේම ලෝක ප්‍රවණතා පිළිබඳ වත්මන් ආණ්ඩුවට මෙලෝ හසරක අවබෝධයක් නැති බවයි.
ලංකාව වඩාත් සුරක්ෂිත වෙන්නෙත් ආර්ථික ප්‍රතිලාභ හිමි වෙන්නෙත් කිසිම බල කඳවුරකට එකතු නොවී ස්වාධීන වීමෙන්. පසුගිය වසර 2,600 පුරා ලංකාවට පැමිණි ආක්‍රමණ 21න් 17ක්ම ආවේ ඉන්දියාවෙන්. ඉන්දියාව බිහි කළ විශිෂ්ටතම දාර්ශනිකයෙක් වෙන කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍ර පොතේ කියනවා “ඔබේ අසල්වැසියා ඔබේ තර්ජනයයි. අසල්වැසියාගේ සතුරා ඔබේ ආරක්ෂකයායි” කියලා. ඒ ඉන්දියානු දර්ශනය මත ගියත් ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමක එළැඹීමට බරපතල වරදක්.
ඉන්දියානු අගමැතිතුමා ලංකාවේ දී කිව්වේ ඉන්දියානු අවශ්‍යතා පිළිබඳ අනුර ජනාධිපතිතුමා සංවේදි වීම සතුටට කරුණක් කියලා. අද ඉන්දියාවේ අවශ්‍යතාවය වෙලා තිබෙන්නේ හින්දු විශ්ව පරිෂාද් මතු කළ සිහිනය වන නොබෙදුනු ඉන්දියාව නැතිනම් අඛණ්ඩ් භාරත් බිහි කිරීමයි. ඒ සංකල්පයට අනුව ලංකාවත් ඉන්දියාවේ කොටසක් විය යුතුයි. මේ අඛණ්ඩ් භාරත් සංකල්පය අද ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ ප්‍රදර්ශනය කරමින් එය ජාතික දැක්මක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. එවැනි පසුබිමක මේ ආරක්ෂක ගිවිසුම කොටි වලිගයක් අල්ලා ගැනීමක් ලෙසටයි අපි දකින්නේ.
පාස්කු ප්‍රහාරය ගැන නලින්ද මෝදිගෙන් ඇහුව්වාද?
පාස්කු ප්‍රහාරය ගැන විපක්ෂයේ දී නිරතුරුවම කතා කළ නලින්ද ජයතිස්ස ඇමතිතුමා ඒ දවස්වල නිතර කියූ කතාවක් තමයි පාස්කු ප්‍රහාරය පිටුපස සිටින්නේ ඉන්දියානු ආණ්ඩුව බව. ඒ විතරක් නොවේ. කටුවාපිටිය පල්ලිය ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියාගේ බිරිඳ සාරා කාටත් හොරා ඉන්දියාවට පැන ගත් බවත් මේ සියල්ල පිටුපස ඉන්දියාව සිටින බවත් ගෝඨාභය ජනාධිපතිතුමාටවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටවත් මෝදි අගමැතිතුමාගෙන් සාරාව අපට ඉල්ලන්න කොන්දක් නෑ කියලා එතුමා චෝදනා කලා.
දෛවයේ සරදමක් වගේ මෝදි අගමැතිතුමා ලංකාවට පැමිණි අවස්ථාවේ පරිවාර ඇමති ලෙස කටයුතු කරමින් මුළු සංචාරය පුරාම මෝදි අගමැතිතුමා ලඟින් සිටියේ නලින්ද ඇමතිතුමා. ඒ නිසා ජනාධිපතිතුමා විසින් එතුමාව පරිවාර ඇමති කලේ “ඔන්න දැන් ගිහින් උඹ පාස්කු ප්‍රහාරය ගැනයි සාරා ගැනයි මෝදිගෙන් අහපන්” කිව්වා වගේ වැඩක්. ගෝඨාභය සහ රනිල් ජනාධිපතිවරුන්ට කොන්දක් නෑ කිව්වාට මාලිමා දේශප්‍රේමින්ට එහෙම වෙන්න බෑනෙ. ඒ නිසා අනිවාර්රයෙන්ම නලින්ද ඇමතිතුමා මෝදි අගමැතිතුමාගෙන් සාරාව අපට ඕනි කියලා ඉල්ලන්න ඇති. පාස්කු ප්‍රහාරය එල්ල කලේ ඇයි කියලා අහන්න ඇති. ඒ නිසා මෝදි අගමැතිතුමාගෙන් සාරාව ඉල්ලුවාම අගමැතිතුමාගේ ප්‍රතිචාරය මොකක්ද කියන එක මීලඟ කැබිනට් මාධ්‍ය හමුවේ දී නලින්ද ඇමතිතුමා කියාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
හොර ගිවිසුම් ගහන මෝදි “ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ” කියලා කලින්ම කිව්වා නම් ජීවිත 83,000ක් බේරේ
“මව්බිම නැතිනම් මරණය” කියලා ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව 1971 දී ජවිපෙ නායකයින්ගේ කීම අහලා අපේ තරුණ ජීවිත 17,000ක් පූජා කලා. ඒ වගේම 1987 දී ඉන්දු – ලංකා ගිවිසුමට විරුද්ධව ජවිපෙ කීමට සටන් කරලා ජීවිත 67,000 බිලි කලා. එහෙම නම් ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව මේ රටේ දේශප්‍රේමින් 83,000ක් ජීවිත පූජා කර තිබෙනවා. ගෝඨාභය ජනාධිපතිතුමා රනිල් ජනාධිපතිතුමා මෝදි අගමැතිවරයා සමග ගිවිසුම් ගහන විට අනුර ජනාධිපතිතුමා කිව්වේ හොර ගිවිසුම් කියලා. හැබැයි එහෙම කිව්ව අනුර ජනාධිපතිතුමා මෝදි අගමැතිතුමා ආවාම අර ව්‍යාප්තවාදි ඉන්දියාව අපි වැළඳ ගන්නේ හදවතේ උණුසුම්ම තැනින් කියලා ගිවිසුම් හොරා කිව්ව කෙනාට විදේශිකයෙකුට ලබා දිය හැකි උසස්ම සම්මානය වෙන “ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ” කියන සම්මානය පිරිනැමුවා. ඉන්දියාව කියන්නේ හදවතේ උණුසුම්ම තැනින් පිලිගත යුතු අපේ හොඳම මිතුරා කියලා කලින්ම කිව්වා නම් අපට දේශප්‍රේමි ජීවිත 83,000ක් බේරා ගන්න තිබුණා. එහෙම නම් මේ ජීවිත 83,000ක් බිලි දීම ගැන සමස්ථ ජාතියෙන්ම සහ දේශප්‍රේමීන්ගෙන් සමාව ගැනීමට ජනාධිපතිවරයා වහාම කටයුතු කළ යුතුයි.
හොර ගිවිසුම් ප්‍රසිද්ධ කරන්න ඉල්ලීමට ගම්මන්පිලට ඇති අයිතිය මෙන්න
2002 දී ගිවිසුමකින් ඉන්දියාවට භාර දුන්නු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99න් 85ක් නැවත අපට අරන් සංවර්ධනය කිරීම ආරම්භ කලේ අපි. අපි ඒකට 2022 දී ගිවිසුමක් අත්සන් කලාම රට ඉන්දියාවට පාවා දෙනවෝ කියලා මාලිමා නායකයින් උද්ඝෝෂණය කලා. අපි මොකද කලේ? ගිවිසුම අත්සන් කරන්න මාස තුනකට කලින් ගිවිසුමේ අන්තර්ගතය ගැන බලශක්ති අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනවල සේවකයින් දැනුම්වත් කලා. වෘත්තිය සමිති දැනුම්වත් කලා. ප්‍රසිද්ධ විවාද දෙකක් කළා. පළමු විවාදය කලේ හිරු රූපවාහිනි නාලිකාවේ දී තෙල් වෘත්තිය සමිති එක්ක. මාලිමාව නියෝජනය කරලා සහභාගි වුණේ හිටපු කතානායක අසෝක රන්වල මැතිතුමා. ඒ වගේම දෙරණ නාලිකාවේ දේශපාලන පක්ෂ සමග විවාදයක් කලා. ඒකට මාලිමාව නියෝජනය කරලා සහභාගි වුණේ මෝදි අගමැතිතුමාගේ පරිවාර ඇමති නලින්ද ජයතිස්ස මැතිතුමා.
අපි ගිවිසුමට විරුද්ධ සෑම සංවිධානයක්ම අමාත්‍යාංශයට ගෙන්නලා ගිවිසුම ගැන දැනුම්වත් කලා. “තෙල් ටැංකි යළි රටට” කියලා පොතක් මුද්‍රණය කරලා අනුර දිසානායක විපක්ෂයේ මන්ත්‍රිතුමා ඇතුළු සෑම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුටම දුන්නා. ඒ විතරක් නොවේ මාධ්‍ය හමුවක් පවත්වලා ගිවිසුමේ අන්තර්ගතය පැහැදිලි කලා. අවසානයේ දී ගිවිසුම අත්සන් කරලා පැය කිහිපයක් ඇතුලත ගිවිසුමේ පිටපතක් අමාත්‍යාංශ වෙබ් අඩවියට එක් කලා.
එහෙම අත්සන් කරපු ගිවිසුමට හොර ගිවිසුම කිව්වා මාලිමා නායකයින් මේ වන විට රටට හොරෙන් හොර ගිවිසුම් හතක් ගහලා. ඉහළම විනිවිද භාවයකින් ගිවිසුම් අත්සන් කළ අය විධියට අත්සන් කළ හොර ගිවිසුම් වහාම ප්‍රසිද්ධ කරන්න කියලා ආණ්ඩුවට බල කරන්න අපට අයිතියක් තිබෙනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
